×

හින්දු අධිරාජ්‍යයක සිහින දකින්නන් විසින් කාශ්මීරය ගිල ගැනීම

වෙනදා මැතිවරණ වේදිකාව තුළ ජනතාවගේ පහසුකම් දුප්පත්කම පිළිබදව කථා කළ මෝදි 2019 මැතිවරණ වේදිකාව තුළ කථා කලේ ත්‍රස්තවාදය සහ දේශ සීමා පිළිබදවය.


කාශ්මීරය යනු දකුණු ආසියාවට උරුම වූ සුන්දරතම භූමියකි . නමුත් මේ  මොහොත වන විට සියළු සන්නිවේදන පහසුකම් අඩාල කළ මිනිසුන් නැති… හමුදාව සහ ආරක්ෂක භටයින්ගෙන් පිරුණු සීතල මුත් ගිණි ගන්නා භූමියක් බවට පත් වී ඇත.

මෙවැනි සිදුවීම් අදක ඊයේක පමණක් නොව ඉතිහාසයේ අවස්ථා ගණනකදී කාශ්මීර වැසියන්ට අත්විදින්නට සිදු වූ ඉරණමේ  කොටස්ය. 

ඉන්දියාව පසුගියදා කාශ්මීරයේ නිදහස වෙනුවෙන් කවුරුන් හෝ සිදු කළ සියළු සටන් නිෂ්ප්‍රභා කරමින් කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ පාලන බලතල ලබා දුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 370 වගනිතිය අහෝසි කරන්නට තීරණය කරන ලදී.

370 වගන්තිය.

1947 වසරේදී පාකිස්ථානය වෙනම රාජ්‍යයක් ලෙස බිහිවන විට කාශ්මීරය ඉන්දියාව සහ පාකිස්ථානය අතර අයිතිකරුවෙකුවකු නැති රාජ්‍යයක් බවට පත් විය.ඒ පාකිස්ථානය වෙනම රාජ්‍යයක් ලෙස බිහිවන අවධියේ කාශ්මීරය එවකට කුමාර රාජ්‍ය ලෙස සැළකුණ වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස ගොඩ නැගී තිබීම හේතුවෙනි. 

කෙසේ වෙතත් දිගින් දිගටම කාශ්මීරය තමන් සතු කර ගැනීමේ අපේක්ෂාව ඉන්දියාව  සතුව තිබූ අතර බහුතරයක් මුස්ලිම් ජනතාව වෙසෙන කාශ්මීරයේ වැඩි ජනතා කැමැත්ත වූයේ තමන් අයත් විය යුත්තේ පාකිස්ථානයට බවයි. ඔවුහු ඒ සදහා සටන් කළහ. අසාඩ් කාශ්මීර හමුදාව බිහිවන්නේ එතැන් පටන්ය.

එතැන් පටන් කාශ්මීරය ඉන්දියාව සහ පාකිස්ථානය අතර පමණක් නොව මුළු මහත් දකුණු ආසියානු කලාපයටම අර්බුදයක් බවට පත් විය.  වසර ගණනාවකදී පාකිස්ථානය සහ ඉන්දියාව අතර මේ සම්බන්ධව සම්මුතීන් සහ ගිවිසුම් ඇති විය. 1949 වසරේ කරච්චි ගිවිසුම, 66 වසරේ ටෂ්කන් සම්මුතිය, 1972 වසරේ සිම්ලා ගිවිසුම 199 වසරේ ලාහෝර් ගිවිසුම මේ සියලු ගිවිසුම් කාශ්මීරය තවදුරටත් අර්බුදයක් නොවීම සදහා ඇති කර ගත් ගිවිසුම් වුවද  අද වන විට ඒ සියළු ගිවිසුම් හුදු සිදුවීම් බවට පමණක් පත්ව ඇත්තේය . ඒ මේ මොහොත වන විට ඉන්දීය රජය විසින් කාශ්මීර ජනතාවගේ සියළු අයිතීන් උදුරා ගනිමින් සිටින හේතුවෙනි.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන කොටස යටතේ ජම්මු හා කාශ්මීරයේ භූමියට තාවකාලිකව විශේෂ බලතල සහිතව ස්වයංපාලන අයිතිය ලබා දෙන ලදී. ඒ යටතේ කාශ්මීරයට තමන්ගේම ව්‍යවස්ථාවකට අනුව කටුයුතු කිරීමේ බලතල මෙන්ම ආරක්ෂක , විදේශ කටයුතු සහ සන්නිවේදන කටයුතු ඉන්දීය රජය යටතේ ක්‍රියාත්මක විය.

කාශ්මීරයේ විවිධ ප්‍රදේශ පාකිස්ථානයේ පාලනයට මෙන්ම ඉන්දියාවේ පාලනයටද නතු වූ අතර ඉන්දීය පාලිත කාශ්මීරය හා ඉන්දියාව අතර පැවතුණ සම්බන්ධය අර්ථ නිරූපණය කර තිබුණේ මෙම වගන්තිය මගිනි.  මෙම වගන්තිය මගින් සන්ධීය ආණ්ඩුවක් සහිත ඉන්දියාව තුළ අනෙකුත් ප්‍රාන්තයන්ට නැති ස්විශේෂී බලතල කිහිපයක් කාශ්මීරයට ලබා දී තිබුණි. මෙම වගන්තිය අහෝසි කිරීමත් සමග මෙතෙක් කාශ්මීරයට තිබූ වෙනම ධජයක් වෙනම ව්‍යවස්ථාවක්  යටතේ වෙනම ඉන්දියානු නීති වලට යටත් නොවූ ස්ව නීති පටිපාටියක් අනුගමනය කළ හැකි වූ කාශ්මීරයේ තත්ත්වය හාත්පසින්ම වෙනස් විය. ඒ අනුව  මෙතැන් සිට කාශ්මීරයට වෙනම ස්වාධීන ධජයක් භාවිත කළ නොහැකි වෙයි. එමෙන්ම ඉදිරියට එය ඉන්දියාවේම පාලන ප්‍රදේශයක් මිස වෙනම පූර්ණ බලතල සහිත ප්‍රාන්තයක් නොවනු ඇත. එමෙන්ම ඉදිරියේදී ඉන්දීය ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නට කාශ්මීරයට සිදු වනු ඇත. 35 ඒ වගන්තිය මගින් දක්වා තිබූ පරිදි කාශ්මීරයෙන් පිටත පුද්ගලයන්ට කාශ්මීරයේ ඉඩකඩම් ලබා ගැනීමට හැකියාවක් නොතිබූ අතර එම වගන්තියද මින් පසු අහෝසි වී යනු ඇත ඒත් සමග මින් පසු කාශ්මීරයේ ඉඩ කඩම් මිලදී ගැනීමට හැකිවනු ඇත‍

වෙනම් පාලන ප්‍රදේශයක් ලෙස ලබා දී තිබූ සියලු බලතල ඉවත්කිරීමෙන් නොනැවතී ඉන්දියාව මේ වන විට කාශ්මීර ජනතාවගේ සියලු සන්නිවේදන පහසුකම්ද අඩාල කර ඇත.
මේ සදහා අවශ්‍ය යෝජනාව ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අමිත් ෂා විසිනි. ඒ විරුද්ධ පක්ෂයේ දැඩි විරෝධතාව මධ්‍යයේය. මෙහි ඇති බරපතලම ඛේදවාචකය වන්නේ මේ සම්බන්ධව තීරණය ජනපති අත්සනින් පසු ක්‍රියාත්මක වනු ඇති අතර ඊට පෙර තීරණය සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ කිසිදු ඡන්දයක් හෝ විවාදයක් නොපැවත්වීමයි.

ඉන්දීය රජයේ මෙම ක්‍රියාකලාපය සාධාරණ එකක්ද.

එය කිසි සේත් සාධාරණ නොවන්නේය. ඉන්දියාව යනු ප්‍රාන්ත රාජ්‍යයන් විසිනවයක් හා මධ්‍යම රජයට අයත් පාලන ප්‍රදේශ හතක් අඩංගු සන්ධීය ජනරජයකි. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ තවදුරටත් දිස්ත්‍රික්ක වලට ද ඒවා තවදුරටත් කුඩා පාලන කොට්ඨාස වලට ද බෙදා වෙන් කෙරේ.

ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඕනෑම ප්‍රාන්තයක පාලන ප්‍රදේශයක් සම්බන්ධයෙන් භාවිතා කළ හැකි ස්වාධීන බලතල සමූහාණ්ඩුව හා ප්‍රාන්තය අතර බෙදා දෙනු ලබයි. “73 වන වගන්තියේ පුළුල් ලෙස ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුවට නීති සෑදීමට ඇති බලතල අනුව ජනරජයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ය. 162 වන වගන්තිය විසින් ද එපරිද්දෙන්ම ප්‍රාන්තයක ව්‍යවස්ථාදායකයට නීති සෑදීමට ඇති බලතල අනුව ප්‍රාන්තයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ප්‍රකාශ කෙරෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තත්ත්වය රමනයියා නඩුව හැසිරවීමේ දී පුනර්වාචනය කර ඇත්තේ පුළුල් ව කථා කෙරෙන ජනරජයේ හෝ ප්‍රාන්තයේ විධායක බලතල එහි අදාළ ව්‍යවස්ථාදායක බලතල සමග සමවිස්තෘත හා සමාන්තික බව ය.” 

නමුත් කාශ්මීරයට ඊට එහා ගිය ඇතැම් බලතල ලබා දී තිබුණේ තවමත් එහි පාලනය සම්බන්ධව ඉන්දියාවට ස්වාධීනව කටයුතු කිරීමේ බලතල නොතිබූ හෙයිනි. පිටස්තර ඉන්දීය පාලන ප්‍රදේශ වල වැසියන්ට කාශ්මීරයෙන් ඉඩ කඩම් ලබා ගත නොහැකි වූයේ ඒ අනුවයි. නමුත් හිටි හැටියේ මෙසේ ඉන්දීය රජය එකී සියලු බලතල හා ස්වයං පාලන අයිතිය කාශ්මීර වැසියන්ට අහිමි කිරීම සැබවින්ම අති අසාධාරණ එකකි. රජයේ මෙම  අහංකාර සහ දඩබ්බර තීරණයත් සමග මින් පසු කාශ්මීරයට අනෙකුත් ප්‍රාන්ත සතුවන බල තල හෝ බුක්ති විදීමේ හැකියාව අහෝසි වන්නේය.

කෙසේ හෝ වේවා මෙකී සුවිශේෂී බලතල 370 වගන්තිය යටතේ ලබා දී තිබුණද විශේෂිත බලතල වූ සන්නිවේදන කටයුතු ආරක්ෂක කටයුතු ආදිය සම්බන්ධ බලතල මධ්‍යම රජය විසින් පාලනය කිරීම තුළ කාශ්මීරයට අද වන තෙක් පැවති ස්වයංපාලන බලතල හෝ නිසි පරිදි භුක්ති විදීවෙම් හැකියාව නොපැවතුණි.

මේ වන විට කාශ්මීරය වසා ඉන්දීය හමුදා භටයින් පිරී සිටී. අහිංසක කාශ්මීර වැසියන් සියල්ලකම පාහේ පවතින්නේ තමන්ගේ හෙට දවස කෙසේ වේවිදැයි යන බියක් සහ සැකයකි. 

කාශ්මීරයේ මෙතෙක් ප්‍රධානීන් වූ මෙහෙබූබා මෆ්ටි සහ ඕමාර් අබ්දුල්ලා මේ වන විට නිවාස අඩස්සියේ තැබීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. සැබවින්ම කුමක් සිදුවන්නේදැයි යන්න වටහා ගත නොහැකි කාශ්මීර වැසියන් අතරේ  තමන් වෙත සිදුවන මෙම අසාධාරණය සම්බන්ධව සිය විරෝධතාව දැක්වීමට පැමිණ සිටින්නන්ද දැකිය හැකිවේ.

ඉන්දීය රජයට මෙවැනි තීරණයක් ගැනීමට ඇති වුවමනාව 

ඉන්දියාව මේ වන විට පාලනය කරනු ලබන්නේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයයි. රාහුල් ගාන්ධිගේ කොංග්‍රස්පක්ෂය පරදවා මෝධිට මෙවර ඉතිහාසයේ කවරදාකවත් නොමැති ආකාරයේ ජයග්‍රහණයක් හිමිවිය. ලොව ලොකුම ප්‍රජාතාන්ත්‍රවාදී මැතිවරණයෙන් මෝදි එසේ ජය ගැනීමට ප්‍රභලතම හේතුව වන්නේ ඔහු නියෝජනය කළ භාරතීය ජනතා පක්ෂය විසින් සීමාව ඉක්මවා හින්දු ආගම සහ ඉන්දීය ජාතිකත්වය උලුප්පා ජනතාව ආගමික උන්මාදයෙන්  මුස පත් කරන්නට මෝදිගේ පක්ෂයට හැකි වූ හෙයිනි. භාරතීය ජනතා පක්ෂය විසින් හින්දු නොවන අනෙකුත් ආගම් සහ ජාතීන් වෙත කරමින් සිටින බලපෑම සෑම මොහොතකම ඉන්දියාවේ තැනින් තැන මේ වන විටද ඔඩු දුවමින් පවතින්නේය. හින්දුන්ට අයිති රට ඉන්දියාව සේ සලකමින් ‍මෝදිගේ පක්ෂය ගෙන යන අත්තනෝමතික වැඩ පිළිවළෙහි උච්චතම අවස්ථාවක් ලෙස කාශ්මීරය ට සිදු කරන කෙනෙහෙලිකම් හැදින්විය හැකි වන්නේය.

මන්ද කාශ්මීරය යනු ඉස්ලාම් ජනතාව වැඩි ප්‍රමාණයක් සිටන ප්‍රදේශයකි. ඉන්දියාව යනු පාකිස්ථානයටත් වඩා වැඩි මුස්ලිම් ප්‍රජාවක් සිටින රජ්‍යයය වුවත් කාශ්මීරය සම්බන්ධව ඔවුන්ට කළ හැකි දෙයක් නැත. 


ඉන්දියාව තුළ භාරතීය ජනතා පක්ෂය හින්දුත්වවාදය ප්‍රචාරණය කරන බවට භාරතීය ජනතා පක්ෂය වෙත නැගෙන චෝදනාව හුදු චෝදනාවක්ම පමණක් නොවේ . පසුගිය දිනක ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළ පරිදි බටහිර බෙංගාල මහඇමතිනී මම්තා බැනර්ජි චෝදනා කර සිටියේ. භාරතීය ජනතා පක්ෂය විසින් තලෙයිබාන් ක්‍රමයට හින්දුත්වවාදය ව්‍යාප්ත කරමින් සිටින බව‘ ඇය එහිදී පැවසීය.


පසුගිය සැප්තැම්බරයේ එහි සභාපති එම පක්ෂයේ සභාපති අමිත් ෂා ඉරිදා පැවසූවේ භාරතීය ජනතා පක්ෂය තවත් වසර 50ක් රට පාලනය කරන බවයි. කාශ්මීරය සතු විශේෂ බලතල ඊට අහිමි කළ යුතු බවට පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුවට යෝජනා කරනු ලබන්නේද අමිත් ෂා විසිනි. ඔහු මෝදිගේ රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාය. 

හින්දු ආගමට රට තුළ වැඩි ඉඩක් ලබා දෙන්නට හැකිතාක් දත කන ඔහු පිළිබදව පසුගිය දා අසන්නට ලැබුණ පුවත් කිහිපයකි. සමාජ මාධ්‍ය විවේචනය කරන අතරතුරේ වට්ස් ඇප් ගෘප් 1800ක් නිර්මාණය කර සිය මැතිවරණ ප්‍රචාරණය කිරගෙන ගිය අයෙක් ලෙස ඔහු චෝදනා ලද්දේය . බහු ආගමික හා බහු ජාතික රටක් තුළ භාරතීය ජනතා පක්ෂය විසින් ඒ සියල්ලකගේම අයිතීන් නැති කරමින් ඒ සියල්ලක්ම පසෙක ලා හින්දුත්ව වාදය ඉන්දියාව තුළ ප්‍රචලිත කරන්නට දත කමින් සිටින බව මේ සියල්ලෙන්ම පැහැදිලිය.

මෝදි සහ ට්‍රම්ප්ගේ සිහින සමානද 
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ධූරයට පක් වන්නට පෙර සිටම සුදු අධිරාජ්‍යවාදය වැපිරීමෙහි ලා කැපී පෙනුන චරිතයක් විය. ඔහු එළිපිටම කියා සිටියේ ඇමරිකාවේ අයිති වාසිකම පවතින්නේ සුද්දන්ට බවයි. දිගින් දිගටම සුදු අධිරාජ්‍යයක් වෙනුවෙන් තීරණ ගනිමින් සිටින සහ ක්‍රියාකරමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ට එරෙහිව පසුගියදා බැරක් ඔබාමා පවසා සිටියේ ජාතිවාදී එසේත් නැත්නම් තමන්ගේ නොවන අඅනෙක් සියල්ලන්ම වෙනස් ලෙස දකිමින් ප්‍රකාශ නිකුත් කරන සියළු නායකයන් ඇමරිකානුවන් විසින් ප්‍රතික්ෂේප කළ යුතු බවයි. ඔබාමා එසේ පැවසුවද ට්‍රම්ප්ගේ පැත්තට සහය වන සුදු අධිරාජ්‍ය්‍යක් ගැන සිහින දකිමින් මෙක්සිකෝවේ සංක්‍රමණිකයන්ට වෛර කරන්නන් දිගින් දිගටම ට්‍රම්ප් වෙනුවෙන් සහය පල කරනු ඇත. ඇමරිකාවේ තත්ත්වය එසේ වෙමින් පැවතියදී පසුගියද එංගලන්තයට උදා වූයේද එවැනිම ඉරණමකි. එංගලන්තය ගැන තීරණ ගැනීමේ අයිතියද පසුගියදා තවත් ට්‍රම්ප් කෙනෙකු වෙත ලබා දීමට එංගලන්ත වැසියන් කටයුතු කළෝය ඒ බොරිස් ජොන්සන්ය. ඔහුටද ඇත්තේ ට්‍රම්ප්ට තිබෙන අදහස්ම බව දෙදෙනාගේම ප්‍රකාශ වලින් සහ ක්‍රියාකාරකම් වලින් පැහැදිලිය.
යුරෝපය සහ ඇමරිකාව තුළ  සුදු අධිරාජ්‍යවෙනුවෙන් දේශපාලනය කරන දේශපාලන නායකයින් සේම ඉන්දියාවේ මෝදිද ඔහුගේ බීජේපී හෙවත් භාරතීය ජනතා පක්ෂයද කටයුතු කරමන් සිටින බව සැබෑවකි. එහිදී ඔවුන් සියල්ලෝම  සුළු ජාතිකයින් හෝ තමන්ගේ නොවන අන් අයව දකින්නේ සිය සතුරන් හේ ප්‍රතිවාදීන් ලෙසය. කුමන හෝ ආකාරයෙන් ඔවුන්ව යටපත් කර දැමීමට හැකි සෑම උපක්‍රමයක්ම ඔවුහු දරති. අමිත් ෂාගේ යෝජනාවෙන් විවාදයක් හෝ නොමැතිව කාශ්මීරයට ලබා දී තිබූ බලතල අහිමි වී යන්නේ එහි එක් ස්වරූපයක් ලෙසිනි.  

මෙවර මැතිවරණයේදී මෝදිගේ කථා වෙනදා කතාවලට වඩා වෙනස් මගත් ගත්තේය. හොදින් අවධානය යොමු කළ අයෙක්නම්  මැතිවරණ ජයග්‍රහණයෙන් පසු භාරතීය ජනතා පක්ෂය ඉදුරාම කාශ්මීරය සම්බන්දව මෙවැනිතීරණයක් ගනු ඇති බව පැහැදිලිව වැටහේ. වෙනදා මැතිවරණ වේදිකාව තුළ ජනතාවගේ පහසුකම් දුප්පත්කම පිළිබදව කථා කළ මෝදි 2019 මැතිවරණ වේදිකාව තුළ කථා කලේ ත්‍රස්තවාදය සහ දේශ සීමා පිළිබදවය. 

ජාතිය හා ආගම ඉදිරියට ආ විට ඕනෑම රටක ජනතාවට තමන් සිටින්නේ බඩ ගින්නේදැයි හෝ තමන් සිටින්නේ මරණය අභිමුවදැයි යන්න තමන්ටම නොතේරේ එවිට උන් අබිං කෑ උන් සේ ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්නන් හට තමන් වෙනුවෙන්න තීරණ ගැනීම සදහා අයිතිය ලබා දෙන්නේය. මෝදිගේ රජය මෙවර වැඩි ඡන්දයකින් පත් වන්නේත් ට්‍රම්ප් සහ බොරිස් ජොන්සන්ට රටේ නායකයින් වන්නට හැකි වීමේත් ආසන්නතම හේතූව වන්නේ මෙයමය.  ශ්‍රි ලංකාවේ මෙතෙක්  මැතිවරණ වල ගාමක බලවේග බවට විවිධ ආගමික නායකයින් හා ආගමික කණ්ඩායම් පත්වන්නේද පමණක් නොව මහින්ද රාජපක්ෂ වැනි ජනාධිපතිවරුන් ජාතිය බේරා ගැනීමේ වීරයන් බවට පත්වී  ජනතාව අන්දවමින් සිටින්නේ බහුතරයක් ලාංකිකයන්ගේ ජාතිවාදී සිහින වලට පිංසිදු වන්නටය. 

වෙනම පාලන ප්‍රදේශයක් ලෙස පාකිස්ථානය ඉන්දියාවෙන් වෙන්වන්නටත් පෙර පැවති කාශ්මීරය මේ වන විට ඉන්දීය ග්‍රහණයට හසුවී හමාරය. එහි අනාගතය තීරණය වනු ඇත්තේ තවත් වසර ගණනාවක් ඉදිරියට ඉන්දියාව පාලනය කරන්නට සූදානමින් සිටින ඉන්දියාව හිංදූන්ගේ රට යැයි උදම් අනන භාරතීය ජනතා පක්ෂයේ තීරණය මතය. එතෙක් පකාශ්මීරයද ලෝකයේ ජාති හා ආගම් වාදී දේශපලනය හේතුවෙන් පීඩි විදිමින් සිටින තවත් එක් සුළුතරයක් ලෙස කාශ්මීර වැසියන් පීඩා විදිනු ඇත. 





#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි