×

අද (26) සූර්යග්‍රහණය විශේෂයි

මේ වන විට ලංකාවේ ඇතැම් නගර ද අත්දකිමින් සිටින, 2019 වර්ෂයේ අවසන් සූර්යග්‍රහණය අද (26)ට යෙදී තිබේ.


මෙය අද උදෑසන 8 ට ආරම්භ වී පස්වරු 1.30 දක්වා පවතින බව නාසා ආයතනය පවසයි.

මෙම සූර්යග්‍රහණයේ එක් විශේෂත්වයක් වන්නේ මෙය, වඩාත්ම හොඳින් දැකබලාගත හැකි වන්නේ දකුණු ආසියාවට වීමයි.

මේ අතරින් ඉන්දියාවේ කන්නූර්, කොචි, ත්‍රීවන්ද්‍රම් (කේරළ), කොයිම්බතූර්, මදුරෙයි, ත්‍රිචි, චෙන්නායි (තමිල්නාඩුව), මන්ගලාරු සහ බෙන්ගලාරු (කර්ණාටක) වැනි නගරවලට පූර්ණ සූර්යග්‍රහණයකට ආසන්න තත්වයක් නිරීක්ෂණය කළ හැකි වනු ඇත.

කෙසේ නමුත් මෙය පූර්ණ සූර්යග්‍රහණයක් නොවන බව ද නාසා ආයතනය පවසයි.

සූර්යග්‍රහණයකදී සිදුවන්නේ කුමක්ද?

ඔබ අප හොඳින් දන්නා පරිදි පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතින අතර, චන්ද්‍රයා භ්‍රමණය වන්නේ පෘථිවිය වටා ය. මෙහි ප්‍රතිඵලයක් ලෙසට පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා එකම සරල රේඛාවකට පැමිණෙන අවස්ථාවක් ද උදා වේ. මෙය පෘථිවියට දැනෙන්නේ සූර්යග්‍රහණයක් හෝ චන්ද්‍රග්‍රහණයක් ලෙස ය.

සූර්යග්‍රහණයකදී සිදුවන්නේ පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණීමයි. (චන්ද්‍රග්‍රහණයකදී නම් සිදුවන්නේ හිරු, සඳු අතරට පොළොව හරස් වීමයි) මෙම සූර්යග්‍රහණයේ ප්‍රතිඵලයක් ලෙසට සූර්යයාගෙන් කොටසක් හෝ චන්ද්‍රයා විසින් ආවරණය කරයි. මෙය විටෙක පෘථිවියට සූර්යයා ගිනි තැටියක් ලෙස නොව ගිනි වළල්ලක් ලෙස පමණක් දිස් වන්නට ද හේතු වේ.

මෙවර සූර්යග්‍රහණයේදී පෘථිවියට දිස්වන සූර්යයාගේ විශාලත්වයට වඩා චන්ද්‍රයාගේ විශාලත්වය අඩු නිසා සුර්යයාගෙන් කොටසක් පෘථිවියට දිස් වේ.

මෙවර පූර්ණ සූර්යග්‍රහණයක් සිදු නොවන්නේ ඒ නිසා ය.

වාර්ෂික සූර්යග්‍රහණය (වම්පස) සහ පූර්ණ සූර්යග්‍රහණය (දකුණු පස)

ආංශික සූර්යග්‍රහණය (වම්පස) සහ පූර්ණ සූර්යග්‍රහණය (දකුණු පස)

වසරකට සූර්යග්‍රහණ කීයක් සිදු වේද?

Timeanddate.com සුප්‍රකට වෙබ් අඩවියට අනුව වසරකට සූර්යග්‍රහණ 2-5 අතර ප්‍රමාණයක් සිදුවිය හැකිය. නමුත් වසරකට සූර්යග්‍රහණ 5 ක් සිදුවීම අතිශය දුර්ලභ තත්වයක් බව නාසා ආයතනය පවසයි. අවසන් වරට එසේ සූර්යග්‍රහණ 5 ක් සිදුව තිබෙන්නේ 1935 වසරේදී ය. නැවතත් මේ සංසිද්ධිය වසර 2206 දී සිදුවීමට නියමිත ය.

අද දින සිදුවන්නේ 2019 වසරේ තුන්වන සූර්යග්‍රහණයයි. වසර 2028 වන තෙක්ම ලෝකය වසරකට සූර්යග්‍රහණ 3 ක් අත්නොදකිනු ඇත. ඒ අනුව වසර 2028 දක්වා, එකම අවුරුද්දක ඇතිවන එකම තුන්වන සූර්යග්‍රහණය ලෙසට ද මෙය වාර්තා පොත්වලට එක් වේ.

Cover Photo: Colleen Pinski-Nasa



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි