×

අද UK කොරෝනා මරණ ගණන 87 ක්! – දැනට 422 ක් මිය ගිහින් !

අද (24) දිනයේ එක්සත් රාජධානිය තුළ කෝවිඩ්-19 ආසාදිතයන් 87 දෙනෙකු මරණයට පත් වූයේ, වසංගතයේ ඛේදජනකම දිනය වාර්තා කරමිනි.


මේ අනුව එක්සත් රාජධානියේ සිදුවූ කොරෝනා මරණ ගණන 422 දක්වා ඉහළ යයි.

අද දින එක්සත් රාජධානියෙන් වාර්තා වන මරණ 87 අතරින් 84ක්ම එංගලන්ත ජාතිකයන්ගේ ය. දෙදෙනෙක් ස්කොට්ලන්ත ජාතිකයන් වන අතර, එක් අයෙකු උතුරු අයර්ලන්ත වැසියෙකි.

මේ වන විට එක්සත් රාජධානියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 8,077 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ එය පැවතියේ 6,650 ක් ලෙස ය. ඒ අනුව එය 1,427 දෙනෙකුගේ වැඩි වීමකි.

මේ වන විට 90,436 දෙනෙකු කොරෝනා පරීක්ෂාව සිදුකර ගෙන ඇත.

ඊයේ දිනයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රූපවාහිනිය හරහා ජාතිය අමතමින් අද පටන්‘ස්ටේ ඇට් හෝම්‘ හෙවත් නිවසට වී සිටින ලෙසට සිය ජනතාවට දැනුම් දුන්නේය.

කෙසේ නමුත් පවතින තත්වය තුළ අවස්ථා 4 කදී මෙම ලොක්ඩවුන් වීම තුළ එක්සත් රාජධානි වැසියන්ට නිවසින් පිටතට යාමට අවස්ථාව ලැබේ. එම අවස්ථා 4 වන්නේ,

  1. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම
  2. දිනකට වරක් ව්‍යායාම කිරීම
  3. කලින් නියම කරගෙන වෛද්‍යවරුන් හමුවීම
  4. නිවසේ සිට රැකියාව කළ නොහැකි නම්, අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා

වේ.

මේ අතර, බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් පවසන්නේ ඉදිරි කාලයේදී වසංගතයට මුහුණ දීම සඳහා ජාතික සෞඛ්‍ය සේවාව (NHS)ට ස්වෙච්ඡා සේවකයන් 250,000 ක් දෙනා අවශ්‍ය බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි