BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ආදරයට ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අදාළම ද? මුලාන් වෘතාන්තය ඉඟිකළ පණිවුඩය

එය ඩිස්නි සමාගමේ හුදෙක් කූඨ වෙළඳ උපක්‍රමයක් ද? නැතහොත් චීන ජනප්‍රවාදය ලිංගික සුළුතර ප්‍රජාව කෙරේ දැරූ සුබවාදී සමාජ ආකල්පයේ පරාවර්තනයක් ද? එසේත් නොමැති නම්, මේ පිළිබඳ කෙස්පැලෙන තර්ක ගෙනෙනා අප වන් සමාජ ක්‍රියාකාරීන් ගේ මනස්ගාතයක් ද?

මුලාන් සත්‍ය කතාවක් මත පදනම් වූවක් ද? මුලාන් පදනම් වී ඇත්තේ පුරාණ චීන ජනප්‍රවාදයේ එක කතාවක් වන “බැලඩ් ඔෆ් මුලාන්” නම් වෘතාන්තයෙනි. චීන ජනප්‍රවාදයට අනුව චීන ඉතිහාසයේ උතුරු හා දකුණු රාජවංශ යුගයේ දී (ක්‍රි.ව. 4 සිට 6 වන සියවස දක්වා) පිරිමියෙකු ලෙස වෙස්වලාගත් කාන්තා රණශූරිනියක් හා බැඳුණු වෘතාන්තයක් මෙයින් කියවේ. තම වියපත් පියාණන් වෙනුවට චීන හමුදාවට බැඳෙන මුලාන් ඉතා නිර්භීත, සටන්කාමී කාන්තාවකි. එය ඈ ලොව පුරා සුවිශේෂී වීරවරියක් බවට පත් කර ඇත.

ඩිස්නි සමාගම විසින් පසුගිය වසරේදී ප්‍රතිනිර්මාණය කොට ප්‍රදර්ශනය කළ මුලාන්ගේ කතාව නව පරම්පරාවේ වැළඳ ගැනීමත් සමඟ, 90 දශකයේ අග භාගයේ ඩිස්නි සමාගම විසින් ම නිකුත් කළ මුලාන් කාටූන පිටපත කොතරම් සුවිශේෂීද යන්න අපි සොයා බලමු.

ෆ්ලොරිඩා හි ඩිස්නි ඇනිමේෂන් චිත්‍රාගාරය විසින් නිෂ්පාදනය කරන ලද පළමු පරිගණක ත්‍රිමානකරණ චිත්‍රපටය මුලාන් ය. මෙම චිත්‍රපටය චීන ජනප්‍රවාදයට ආශා කළ බාල මහළු කා අතරත් එක සේ ජනප්‍රිය විය. එහෙත් මෙම කාටූන චිත්‍රපටය මතභේදයට තුඩුදීමට එක්තරා හේතුවක් වූයේ මුලාන් ගේ අනන්‍යතාවය ලිංගික දිශානතිය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත විවිධත්වයක් දක්වන ප්‍රජාවන් ගේ ජීවන අරගලය පිළිබඳ යම් සමාජ පරාවර්තනයක් නිකුත් කරන්නේ ද යන කතිකාවත නිර්මාණය වීම සමඟිනි.

එහෙත් මෙම සංවාදය 90 දශකයේදී එතරම් ශක්තිමත් තර්කයක් ගෙන ඒමට අසමත් වූයේ, මුලාන් කතාන්දරය හුදෙක් ළමා කාටූනයක් ලෙස විකාශය වීම නිසාය.

කෙසේවෙතත්, පසුකළක එල්ජීබීටී මානව හිමිකම් පිළබඳ සංවාදය ලොව තුළ ශක්තිමත් වීම ආරම්භ වන විට මුලාන් පුරාවෘත්තය සහ ඒ වටා ගෙතුණු සිනමා කෘති යම් අවධානයක් දිනා ගැනීමට සමත් විය. 2020 දී තිරගතවූ මුලාන්ගේ සජීවී ක්‍රියාදාම චිත්‍රපටය හරහා මෙම සංවාදය නවතම මාවතකට ගෙන ගියේ යැයි කිවහොත් වැරදි නොවන බව අපි විශ්වාස කරමු.

යිෆෙයි ලූ, ඩොනී යෙන්, ගොන්ග් ලී, ජේසන් ස්කොට්, ජෙට් ලී, යොසොන් අන්, සී මා ආදී ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රඟ දක්වන 2020 වර්ෂයේ තිරගත වූ මුලාන් වෘතාන්තයේ කෝණයෙන්ම අපි මෙය විශ්ලේෂණය කර බලමු.

මුලාන් තරුණිය හුවා ජුන් නමින් ටන්ග් සෙන්පති ගේ බල ඇණියට බැඳෙයි. එහිදී මුලාන් තමා හුවා සොව් නම් හිටපු යුධ සෙබලා ගේ පුත්‍රයා බවට සෙන්පති ටන්ග් ට හඳුන්වා දෙයි. මේ අන්දමින් සිය අක්ත පත්‍රය ටන්ග් සෙන්පතියා වෙත ලබා දෙන මුලාන් එතැන් පටන් හුවා ජුන් නම් තරුණයකු වශයෙන් යුධ පුහුණුවේ නිරත වෙයි.

බෝරි ඛාන් නම් රෝරන් නිකායේ ත්‍රස්ත කණ්ඩායම මධ්‍යම චීනය ආක්‍රමණය කිරීමට යුධ ප්‍රකාශ කර ඇති මොහොතේ ඊට එරෙහිව මධ්‍යම චීනය ආරක්ෂා කර ගැනීමට සටන් වැදීමට මෙම පුහුණු බලඇණිය ද ඇතුළුව බල ඇණි රාශියක් පෙළ ගැසී සිටී. මධ්‍යම චීනයේ සෑම පවුලකින් ම පැමිණි පිරිමියකු බල ඇණි ගත වී සටන් වැදිය යුතු බවට චීන අධිරාජ්‍යයා ලබා දෙන නියෝගය මත පිරිමින් ගෙන් පමණක් සැදුම් ලත් මෙම බල ඇණි අතර මුලාන් යනු පුරුෂ අනන්‍යතාවයකින් තම ස්ත්‍රීත්වය වසා ගත් එකම කාන්තාවයි.

තමා බැඳෙන බල ඇණියේ තමාගේ සම වයසේ පුහුණු සෙබලුන් රැසක් මුලාන් හෙවත් මෙතැන් පටන් හුවා ජුන් වටා එක්රොක්වෙයි. ලින්ග්, ක්‍රිකට්, යාඕ, චීන්-පෝ, චෙන් හොන්ගුයි මේ අතර වෙති.

චෙන් හොන්ගුයි නම් පුහුණු යුධ සෙබලා හුවා ජුන් කෙරේ විශේෂ අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. මුලදී මෙම අවධානය, ආධුනික පුහුණු යුධ සෙබලන් දෙදෙනෙකු අතර පවතින සාමාන්‍ය සංවාදයක් මෙන් දක්නට ලැබුණද, හුවා ජුන් (හෙවත් මුලාන්) සිය චි (චීන ජනප්‍රවාදයේ එන අධ්‍යාත්මික සටන් කුසලතා බලය) බලය සඟවා ගැනීමට දරන උත්සාහය හමුවේ චෙන් හොන්ගුයි ගේ මෙම කුතුහලය ක්‍රමක්‍රමයෙන් වැඩිවීමක් දක්නට ලැබේ.

හුවා ජුන් තම චි බලය සඟවා ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? එවකට පැවති පුරුෂ මූලික ජන සමාජය තුළ යුධ පිටිය කාන්තාවකට උරුම නොවීමත්, කාන්තාවක් පිරිමියකු හා සම තැන දකිනු ලැබීම නින්දාවක් සේ සලකනු ලැබීමත් මීට හේතුවයි. තම චි බලය මතුවන්නේ හුවා ජුන් ලෙස නොව හුවා මුලාන් නම් ස්ත්‍රිය තුළින් බවට මුලාන් සොඳින් දැන සිටීම නිසා ආරම්භයේ පටන්ම එය සඟවා ගැනීමේ ප්‍රයන්තයක නිරත වනු දක්නට ලැබෙයි.

එය ඈට අරගලයකි. සැබෑ අනන්‍යතාවය සඟවා ගැනීම මුලාන් ට පීඩනයකි. එම පීඩනය නිතැතින්ම සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයකු, හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත විවිධත්වයක් දක්වන පුද්ගලයකුගේ අරගලය අපට මොනවට සිහි කැඳවනු ලබයි. මීටම සරිලන පරිදි මුලාන් වෘතාන්තයේ තේමා ගීතය වන ක්‍රිස්ටිනා ඇගියුලේරා ගයන රිෆ්ලෙක්ෂන් නම් ගීතයේ “Why is my reflection someone I don’t know?” (මාගේ ප්‍රතිබිම්භයෙන් මා දකින තැනැත්තා මා නොහඳුනන පුද්ගලයකු වන්නේ ඇයි?) නම් පද පෙළ ඈගේ අනන්‍යතා අරගලය විදහා පායි.

පුහුණු සෙබලකු තම චි බලය සැඟවීමට උත්සාහ කිරීම තම සේනාංකයේ සහෝදර පුහුණු සෙබලකු ප්‍රශ්ණ කර සිටීම සාමාන්‍ය දෙයක් විය හැකිය. එය බල ඇණියේ සෙන්පති ටන්ග් පවා හුවා ජුන් ගෙන් වරක ප්‍රශ්ණ කර සිටියි. එහෙත්, පිරිමින් ගෙන් පමණක් සමන්විත මෙම බල ඇණියේ දෝරේ ගලා ගිය “පිරිමිකම” සහ “පිරිමි හැසිරීම්” මධ්‍යයේ චෙන් හොන්ගුයි හුවා ජුන් සමඟ පවත්වා ගන්නා මෙම විශේෂ මටසිලිටු සන්නිවේදනය කුමක්ද?

ඒ හුවා ජුන් යනු හුවා මුලාන් නම් කාන්තාව නිසා බවත්, චෙන් හොන්ගුයි ට මුලාන් කෙරේ ප්‍රේමණීය හැඟීම් ඇතිවීම නිසා බවත් ඔබට තර්ක කළ හැකිය. නමුත් මෙම මොහොත වන විටත් මුලාන් යනු හුවා ජුන් නමින් පෙනී සිටින ටන්ග් සෙන්පතිගේ බලඇණියේ පිරිමියෙකු බව අමතක නොකරන්න!

යම් හෙයිකින් සිනමා පටය අවසානයට ආසන්නයේ තම සැබෑ අනන්‍යතාවය හෙළිදරව් නොකර දිගටම හුවා ජුන් නම් පුරුෂ අනන්‍යතාවයෙන් බල ඇණිය තුළ රැඳී සිටීමට මුලාන් තීරණය කළා නම්, චෙන් හොන්ගුයි සහ හුවා ජුන් අතර පවතින රසායනය ඔබ එලෙසම සාධාරිණීකරණය කරනවා ද?

මේ මොහොතේ චෙන් හොන්ගුයි විශේෂ අවධානයක් යොමුකරන්නේ මුලාන් ට නොව හුවා ජුන් නම් තරුණයා කෙරේ ය. හුවා ජුන් සහ චෙන් හොන්ගුයි අතර අප්‍රකාශිත රසායනයක් ක්‍රියාත්මක වන බව සිනමා පටය බලන කුඩා දරුවකුට පවා වැටහේ. අනෙකුත් පිරිමින් සමඟ එක්ව දිය කෙලිමින් නිරුවතින් ස්නානය කිරීමට නොහැකි මුලාන් රාත්‍රියේ සැවොම නින්දට ගිය පසු තනිවම අසල ගංගාවේ ස්නානය කිරීමට පැමිණි මොහොතේ එම ස්ථානයට චෙන් හොන්ගුයි ද පැමිණ නිරුවත් වී ස්නානය කිරීමට පෙළඹීමත්, එම මොහොතේ දෙදෙනා අතර හුවමාරු වන දෙබසත් මෙහි උච්ඡතම අවස්ථාවක් පෙන්වනු ලබයි.

සිනමා පටය අවසානයට ආසන්නයේ හුවා ජුන් අනන්‍යතාවයෙන් මිදී හුවා මුලාන් යනුවෙන් තම සැබෑ අනන්‍යතාවයෙන් මතුවන මුලාන් දකින චෙන් හොන්ගුයි විශ්මයට පත්වීමක් හෝ ඈ අපහසුතාවයට පත්කිරීමට උත්සාහ කිරීමක් සිනමා පටය තුළ දක්නට නොලැබේ. ඒ වෙනුවට චෙන් හොන්ගුයි සහ මුලාන් අතර පැවති අප්‍රකාශිත රසායනය දිගටම ක්‍රියාත්මක වන බවක් පෙනේ.. චෙන් හොන්ගුයි හට මුලාන් පිළිබඳ ප්‍රේමණීය හැඟීම් ඇති බවට සිනමා පටයේ අවසන් දසුන් පෙළින් තහවුරු වන මුත්, චෙන් හොන්ගුයි තම අප්‍රකාශිත රසායනය පළමුවරට ඇතිකර ගන්නේ හුවා මුලාන් නම් තරුණිය සමඟ නොව හුවා ජුන් නම් තරුණයා සමඟයි.

චිත්‍රපටය ප්‍රවේශමෙන් නැරඹුවේ නම් ඔබට ද මෙය තහවුරු වනු ඇත.

මෙමඟින් අපට කියාදෙන පණිවුඩය කුමක්ද? ඒ ප්‍රේමයට, මානුෂීය හැඟීම් වලට, පුද්ගල සබඳතා වලට, එකිනෙකා ගේ සංවේදනයන් හුවමාරු කර ගැනීමට ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සීමාවන් අදාළ නොවන බව නොවේද? ආදරයට ලිංගභේදයක් වැදගත් නොවන බව නොවේද? එපමණක් නොව, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය සම්බන්ධයෙන් ලිංගික සුළුතර ප්‍රජාව දරන සමාජ අරගලය පිළිබඳව ද යම් කියවීමක් මෙම වෘතාන්තය හරහා සිදු නොකරන්නේ ද? පුරුෂ මූලික සමාජ ක්‍රමය තුළ කාන්තාවට හිමිකර දී ඇති ස්ථානය පිළිබඳව අවධානය යොමුකරමින් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාවය පිළිබඳ කියවීමක් මෙම වෘතාන්තය හරහා සිදු නොකරන්නේ ද?

එය ඩිස්නි සමාගමේ හුදෙක් කූඨ වෙළඳ උපක්‍රමයක් ද? නැතහොත් චීන ජනප්‍රවාදය ලිංගික සුළුතර ප්‍රජාව කෙරේ දැරූ සුබවාදී සමාජ ආකල්පයේ පරාවර්තනයක් ද? එසේත් නොමැති නම්, මේ පිළිබඳ කෙස්පැලෙන තර්ක ගෙනෙනා අප වන් සමාජ ක්‍රියාකාරීන් ගේ මනස්ගාතයක් ද?

Bridge to Equality


යුනිසෙෆ් නයිරෝබි දරැවන්ට අත දෙයි

චීන කෝවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය

එවරස්ට් කඳු නගින්නන් අතර කොරෝනා ඔඩුදුවයි

එකම විසඳුම එන්නත ලු! දිවි අහිමි වූ බෝවන රෝග වෙදදුරුට කොරෝනාව කළ සමච්චලය!

නවසීලන්ත බර ඉසිලීමේ ක්‍රීඩක ලෝරල් හබාර්ඩ් – ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලද පළමු සංක්‍රාන්ති ලිංගික මලල ක්‍රීඩකයා

ඇෆ්ගනිස්ථානයට සමාන බංග්ලාදේශයේ තලේබාන් රාජ්‍යයක්

කංගනාගේ ට්විටර් ගිණුම අත් හිටුවයි

මෝදි මහත්තයෝ, කරුණාකරල පැත්තකට වෙලා ඉන්න – අරුන්දතී රෝයි

error: Content is protected !!
error: Content is protected !!