×

ආර්තවය වෙනුවෙන් වූ අලුත්ම ‘Bloody brilliant‘ ඉමොජිය

ඒ ඉමොජිය ආර්තවයේදී ගැහැණු සිරුරෙන් ගලායන රුධිර ධාරාව සංකේතවත් කරන ලේ බිංදුවකි.


‘‘Bloody brilliant: new emoji to symbolize menstruation welcomed‘‘ එසේ සඳහන් කරන්නේ මේ පුවත වාර්තා කරන ගාඩියන් වෙබ් අඩවියයි. එය සිංහලයට පරිවර්තනය කිරීම අපහසු නමුත්, ‘බ්ලඩි බ්‍රිලියන්ට්‘යන්න එහි ශීර්ෂපාඨයේ කොටසක් බවට පත්කර තිබීම විසින්ම මේ ‘ලේ වැකුණු‘ස්වභාවික සංසිද්ධිය සම්බන්ධයෙන් අති විශිෂ්ට ඉංග්‍රීසි ශීර්ෂපාඨයක් නිර්මාණය කර ඇති බව නම් කිව යුතුම ය.

ඉතින් මේ ඉමොජිය ක්‍රිම්සන් පාට ය. සරල සිංහලෙන් කියන්නේ නම් ‘කුණු ලේ‘ පාට ය. ආර්තවයේදී ගර්භාෂයේ පිටත පටකය වන එපිමෙට්‍රියම බිඳ වැටීම නිසා ඉවත් වන මැරුණු සෛල අඩංගු දහසක් රුධිර බිංදු සඳහා මීට වඩා කදිම සංකේතීය තෝරාගැනීමක් තිබිය හැකිද…?

විටෙක ගැහැණුන් පවා අසංවේදී මේ මාතෘකාව ගැන සංවේදී වෙමින් මේ අපූරු ඉමොජිය නිර්මාණය කරන්නට පෙරමුණ ගන්නේ එක්සත් රාජධානියේ ප්ලෑන් ඉන්ටනැෂනල් (Plan International UK) ආයතනයයි. ඉදිරියේදී අන්තර්ජාලය පුරා, ආර්තවය පිළිබඳ ධනාත්මක පණිවුඩයක් දැක්වෙන වැකියක් සමග මේ ඉමොජිය සංසරණය වනු ඇත. ආර්තවය නමැති ජීව විද්‍යාත්මක සංසිද්ධිය ගැන ඒ ඔස්සේ නැවත සංවාද කෙරෙනු ඇත.

මේ ඉමොජියෙන් ලබාදෙන ප්‍රධාන පණිවුඩයක් තිබේ. එය නම්, ආර්තවය විළිවැදෙන එනම්, ලැජ්ජාසහගත මාතෘකාවක් නොවිය යුතු බවයි.

අසංවේදී ලෝකයක සංවේදී සටනක්

ප්ලෑන් ඉන්ටනැෂනල් ආයතනය මේ ඉමොජිය නිර්මාණය කරන්නේ 2017 වසරේ පටන් සිදුකරන පර්යේෂණයක සහ පරිශ්‍රමයන් ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ය. 2017 වසරේදී ඔවුන් විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිදරව් වූයේ එක්සත් රාජධානියේ වයස අවුරුදු 14 සහ 21 අතර ගැහැණු දරුවන් සහ කාන්තාවන්ගෙන් 48%ක්ම සිය ආර්තවය හේතුවෙන් විවිධ ලැජ්ජාවන්ට/අපහසුතාවන්ට ලක් වන බව ය. ‘‘ආර්තවය ලැජ්ජාසහගත මාතෘකාවක් බවට පවතින මතය අවසන් කිරීම මගින් ඒ ගැන කතා කිරීම ආරම්භ කළ යුතුයි‘ යැයි ප්ලෑන් ඉන්ටනැෂනල් ආයතනය පවසයි. පසුකාලීනව BBC පුවත් සේවය, ආර්තවය දිනවලදී එංගලන්තයේ ගැහැණු දරුවන්ට පාවිච්චි කිරීමට තිබෙන විකල්ප පිළිබඳ පර්යේෂණයක් කළේය. එහිදී හෙළිවූයේ ටොයිලට් පේපර්ස්, මේස් යනාදිය පවා දුප්පත් නාගරික දැරියන් පාවිච්චි කරමින් සිටින බව ය! එංගලන්තයේ තත්වය එය වන විට ලංකාව වැනි රටවල පරණ කඩමලු රෙදි කැබැල්ලකින් හෝ සෞඛ්‍යයට අහිතකර බාල වර්ගයේ වාණිජ සනීපාරක්ෂක තුවායකින් යටිකය ආවරණය කරගන්නා දැරියන් අනන්ත ය.

ප්ලෑන් ඉන්ටනැෂනල් ආයතනය ඉන්පසු ඉමෝජය වෙනුවෙන් හොඳම සංකේතය තෝරාගැනීම සඳහා මත විමසුමක් ද පැවැත්වූහ. යෝජනා 5 ක් අවසානයේදී සමාජය තුළින් ඉදිරිපත්ව තිබිණි. ඒවා අතර සනීපාරක්ෂක තුවාය, මාසික දින දසුන, සිනාසෙන රුධිර බිංදු සහ ගර්භාෂය විය. තරගයෙන් දිනුවේ ‘පීරියඩ් පෑන්ට්ස්‘ නමින් බටහිර රටවල හඳුන්වන, ආර්තවය දින සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති යටඇඳුම් වර්ගයකි. නමුත් අන්තර්ජාලයේ ඉමොජි සම්බන්ධයෙන් තීරණ ගන්නා අධිකාරිය වන යුනිකෝඩ් කොන්සෝටියම (Unicode Consortium) එම තෝරාගැනීම හේතු නොදක්වාම ප්‍රතික්ෂේප කළේය! බාගවිට, ආර්තවය ඔවුන්ට ද විළිවැදෙන මාතෘකාවක්ව පවතින්නට ඇත.

එනිසා ආර්තවය ගැන ඉමොජියක් නිර්මාණය කිරීමේ ප්ලෑන් ඉන්ටනැෂනල් මෙහෙයුම උපක්‍රමික ලෙස වෙනත් අතකට හරවන්නට පවා සිදුවිය. අවසානයේ ඔවුන් මේ රුධිර බිංදුව සඳහා අනුමැතිය ලබාගන්නේ එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) රුධිර සහ පටක/අවයව බද්ධකිරීමේ ඒකකය සමග සම්බන්ධ වෙමිනි. ඒ අනුව මේ රුධිර බිංදුවම, ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රචාරණ කටයුතුවලදී රුධිර පාරවිලයනයේ වැදගත්කම පෙන්වන සංකේතය බවට පත්වනු ඇත.

විළිවැදෙන-කිළිවැදෙන මාතෘකාව

තවමත් ආසියාතික රටවල ආර්තවය යනු විළි වැදෙන මාතෘකාවකි. විළිය සමග කිළිය ද ඈඳෙයි. ආර්තවය වැළඳුණු විට ගැහැණුන් අපිරිසිදු සත්ව කොට්ඨාසයක් බවට පළ වන ප්‍රාථමික මිත්‍යා මත තවමත් සමාජය පුරා සංසරණය වේ. මංගල රාත්‍රියේ ඇතිරිල්ල මත උත්තරීතර ලේ පැල්ලමක් සොයන, සහ රුධිර බිංදුව මත ගැහැණු මනුෂ්‍යයාගේ අනාගත දිවිය නිහීන ලෙස තීරණය කරන ගතානුගතික සමාජයක තවමත් අප ජීවත් වනවා මිස, ආර්තවය හේතුවෙන් ගැහැණු දරුවන්ගෙන් 60%ක් එම දින කිහිපය තුළ පාසල් නොයෑම හෝ, සනීපාරක්ෂක ආර්තවයක් සඳහා පරිසර හිතකාමී විසඳුම් සුබල නොවීම, කෘත්‍රිම සනීපාරක්ෂක තුවා නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළු, කෘත්‍රිම සනීපාරක්ෂක තුවා හේතුවෙන් අවසානයේ මිහිතලය මත කුණු කඳු ගොඩගැසීම වැනි ප්‍රමුඛ කාරණා ගැන ඒ හැටි සංවාදයක් තවම නැත. ගැහැණුන්ගේ කිල්ල ගැන කතා කරන උනන්දුවෙන් ආර්තවය හා සබැඳි සමාජ තහංචි හෝ සමාජ ගැටළු ගැන කතා කෙරෙන්නේ නැත.

අප ජීවත් වන්නේ ආර්තවය ‘ගැහැණු මාතෘකාවක්‘ යැයි තවමත් සිතන ලෝකයක ය. ආර්තවය හෝ ඒ හා සබැඳි මාතෘකා ගැන කතාකිරීමට නම් ආර්තවහරණයට ලක් නොවූ ගැහැණියක වීම අනිවාර්ය සුදුසුකමක් ය යන නරුමවාදී මතය සංසරණය වූ සමාජ ජාලයක් තුළ ය.

ආර්තව දුගී බව (period poverty) සහ ආර්තව බලය (period power)

සබරිමාලාවට තවමත් ගැහැණුන්ට තහනම් ය. හේතුව ගැහැණුන්ට ආර්තවය වැළඳෙන නිසා ය. ආර්තවය යනු ස්වභාවික සංසිද්ධියක් බවත්, මාතෘත්වය උතුම් යැයි නමට හෝ කියන ලෝකයක් තුළ ආර්තවය පහත් වන්නේ කෙසේදැයි සංවාදයක් තවමත් නැත. මාතෘ දෙවඟන පිදූ ඉන්දියාව අද වන විට ස්ත්‍රී දූෂණවලින් අංක එකට පැමිණ තිබීමේ සමාජ ව්‍යවසනය සහ/හෝ සංසිද්ධිය ගැන විද්‍යාත්මක කථිකාවක් තවම නැත. මේ අතර ගැහැණුන්ට ආර්තවය වැළඳෙන නිසා තහංචි දමා තිබෙන මේ ලෝකයේ එකම පූජ්‍යස්ථානය ද සබරිමාලාව පමණක් නොවේ. ලංකාවේ ද එබඳු පූජනීය යැයි කියන ස්ථාන සහ දේවාල එමට තිබේ. පූජ්‍යස්ථාන ගැහැණුන්ගේ කිල්ල නිසා අපිරිසිදු වන බවට පවතින සමාජ ආකල්පය කෙස් කළඹ තුළ සඟවා හේමමාලිය විසින් දළදාව රැගෙන ආ අතීතය දක්වාම දිව යයි. මේ අතරවාරයේ දියුණු ලෝකය ආර්තව දුගී බව (period poverty) දුරලා ආර්තව බලය (period power) ගැන කතා කරන විට අප සිටින්නේ කොතැනද? කිළිටි දෙයක් නම් මව් පදවිය සනාථ කරන සොබාදහමේ නීතිය වන ආර්තවය නොරිස්සුම් සහගත – කිළිටි දෙයක් නම්, මව් පදවිය උත්තරීතර යැයි අප කියන්නේ කෙසේද?

ආකල්ප වෙනස් විය යුතුය. ඉමොජියක් යනු අන්තර්ජාලයේ සංකේතීය භාවිතයක් බවත්, එය කුඩා එකක් බවත් ඔබ කියනු ඇත. නමුත් අන්තර්ජාල ආණ්ඩුකරණය, භෞතික ආණ්ඩුකරණයට වඩා ප්‍රබල වෙමින් පවතින නවීන ලෝකය තුළ, මසැස විවර කර බලන්නේ නම් ඉමොජියකට පවා විශාල බලයක් ඇති බව පෙනෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි