×

ඇන්ටාක්ටිකාවෙන් ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි! – සෙල්සියස් අංශක 20.75 ක්!

ඇන්ටාර්ටිකාවෙන් ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වන ෆැරන්හයිඩ් අංශක 69.35 ක් හෙවත් සෙල්සියස් අංශක 20.75 ක් පෙබරවාරි 9 වැනි දින වාර්තා විය.


මේ, මිහිමත ශීතලම ස්ථානය ලෙස නම් දරා සිටි ඇන්ටාක්ටිකා හිම ලෝකය මේ සා උණුසුම් වූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවයි.

මෙයට දින කිහිපයකට පෙර ඇන්ටාක්ටිකාවෙන් තවත් තාප වාර්තාවක් ලැබුණේ ෆැරන්හයිඩ් අංශක 64.9 ක් වාර්තා වී දින කිහිපයකට පසුව ය.

මෙම තත්වය මේ හිම ලෝකයේ උණුසුම මෑත කාලයේදී සෙල්සියස් අංශක 20 කින් වැඩි වී ඇති බව පැහැදිලි කර දෙයි.

සමස්තයක් ලෙස සැලකුවහොත් මේ වන විට ඇන්ටාක්ටිකාවේ උණුසුම ගතවූ වසර 50 තුළ ෆැරන්හයිඩ් අංශක 5.4 කින් හෙවත් සෙල්සියස් අංශක 3 කින් ඉහළ ගොස් තිබේ.

ඒ බව හෙළි කර සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධිත ලෝක දේශගුණික සංවිධානය (World Meteorological Organization) විසිනි.

ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් පහළ දමා නොගතහොත් මානවයාට අති දැවැන්ත ‘දේශගුණික හදිසි තත්වයන්‘ (climate emergency)ට මුහුණ දීමට සිදුවන බව මේ වන විට ලොව පිළිගත් සත්‍යයකි. එයට අනුව ලෝකයේ බොහෝ රාජ්‍යයන් අංශක 3 අඩු කර ගැනීමේ ඉලක්කය තබාගෙන සිටියදී ලෝකයේ ශීතලම ස්ථානය මෙසේ අංශක 3 කින් උණුසුම් වී තිබීම දෛවෝපගත සිදුවීමකි.

මෙය අතිශය බරපතළ තත්වයක් වන්නේ, ඇන්ටාක්ටිකාවේ උණුසුම් වීම මගින් හිම කඳු සහ ග්ලැසියර දිය වීම දරුණු අන්දමින් තීව්‍ර වන නිසා ය.

ආර්ජන්ටිනාවේ මාරම්බියෝ පර්යේෂණ කඳවුර ආශ්‍රිතව කඳවුරු ලාගෙන සිටින පර්යේෂකයන් විසින් කරන ලද මේ හෙළිදරව්ව වෙත මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමු ව ඇත.

තවද මේ වන විට හෙළි වී තිබෙන්නේ ඇන්ටාක්ටිකාව ලෝකයේ වේගයෙන්ම රත් වන ස්ථානය බවට පත්ව ඇති බවයි.

මූලාශ්‍රය – Live Science

Image : Shutter Stock



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි