×

ඇඳිරිනීතිය අතරතුර අඹු දරුවන් සොයා යද්දී – අනේ ඔහු මැරී වැටුණේය…!

මේ ලොක්ඩවුන් වීම එදා වේල සරිකරගන්නන්ට, සංක්‍රමණික කම්කරුවන්ට සහ ආර්ථික ශක්තියක් නොමැති වූවන්ට අතිශයින් වේදනාබර ය. දුක්බර ය. මේ මොහොතේ ඉන්දියාවේ වේවා ලංකාවේ වේවා යථාර්ථය එයයි.


ඉන්දියාව මේ වන විට ගෙවා දමන්නේ දින 21 ක ලොක්ඩවුන් කාලපරිච්ඡේදයයි. මධ්‍ය ප්‍ර දේශ් හි විසූ 40 හැවිරිදි ඩිලිවරි සේවකයෙක් එදා වේල සරිකර ගත නොහැකි තැන සිය අඹු දරුවන් අතරේ මියෙන්නට පතා මහ මගට බසින්නේ ඒ අනුව ය. නවදිල්ලියේ සිට මධ්‍ය ප්‍ර දේශ් බලා යාමට ඔහුට බස් හෝ දුම්රිය නොමැත. ඒ නිසා පෙරේදා දිනයේ, එනම් සෙනසුරාදා දිනයේ ඔහු පයින්ම ගමන් ඇරඹුවේය. නමුත් ඔහු නතර වූයේ පැතූ ගමනාන්තයෙන් නොවේ.

ඔහුගේ නම රන්වීර් සිං ය. යන්තම් අග්‍රාවට එන තෙක් ඔහු පයින් බඩගාගෙන ආවේය. එය පිහිටා තිබෙන්නේ දිල්ලියේ සිට කිලෝමීටර 3 ක දුරකිනි. මෙතැන් සිට ගෙවල් ඇති මොරිනා (මධ්‍ය ප්‍ර දේශ්) හි ඇති දුර තවත් කිලෝමීටර 45 ක් පමණි.

තිදරු පියෙකු වූ ඔහු, තුන් අවුරුද්දක් නව දිල්ලියේ රැකියාව කරමින් සිය පවුල පෝෂණය කරමින් සිටියේය.

අවසානයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වන්නේ ඔහුට හදිසි හෘදයාබාධයක් වැළඳී ඇති බවයි. අධික ලෙස ඇවිදීම නිසා මෙය හටගන්නට ඇත.

ඔහු අසනීප තත්වයකට හදිසියේ ගොදුරු වන විට අග්‍රාහි වෙළඳසැල් හිමියෙක් ඔහුට තේ සහ කෑමට යමක් දී තිබුණත්, ඒ වන විටත් ඇති වී තිබූ පපුවේ වේදනාවෙන් ඔහුට නිදහසක් ලැබුණේ නැත. අවසානයේ ඔහු ද නොපැතූ පරිදි ඔහු, ඔහුගෙන් නිදහස් විය.

ලංකාවේ මෙන්ම ය. ඉන්දියාවේ ද මේ මරණය සිදුවූ ඊයේ දිනයේත් මෝදි ආණ්ඩුව නැවත නැවතත් කියා සිටියේ සියලු සංක්‍රමණික සේවකයන්ට සහ ලොක්ඩවුන් වීම මැද කොටු වී සිටින දුප්පතුන්ට සියලු අත්‍යාවශ්‍ය සේවා සපයන බව ය. ඒ නිසා හැම කෙනෙක්ම ඉන්නා තැන්වලම සිට ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බව ය. නමුත් මේ මොහොත වන විටත් රන්වීර් සිං වැනි සංක්‍රමණිකයන් 21 දෙනෙක් අවම වශයෙන් ඉන්දියාවේදී මේ ඉරණමටම ලක්ව මිය ගොස් තිබේ.

ලංකාවේ රන්වීර් සිංලා කී දෙනෙක් ඉදිරියේදී ඉරණම් ගමන් යාමට නියමිත දැයි අපි නොදන්නෙමු. කොළවලින් සහන සැලසීම පහසු ය. නමුත් ජනපතිවරයා කී ‘සහන මල්ල‘ තෙවරම්පෙරුමගේ ක්‍රමයට ලබාගන්නට පවා ජංගම සේවා විධිමත් ලෙස ක්‍රියාත්මක වන්නේ නැත. ඇඳිරි නීතිය ඉවත් කරන පැය ගණනට, කඩසාප්පුවල පුස් කමින් තිබූ ආහාර පෙට්ටි පවා අවසන් වන බව නම් පෙනේ. මස් මාළු නිවෙස්වලට ගෙන්වා ගන්නේ නම් අවම වශයෙන් කිලෝ 2 ක්වත් එකවර ඇණවුම් කළ යුතුය. එළවළු වර්ග 3-4 ක් සහිත පාර්සලයක් රු. 700 ඉක්මවයි. ඒ අතරේ, පුද්ගලික අංශයේ ස්ථිර වැටුප් නොලබන සේවකයන්ගේ ද ආර්ථිකය ගැන කියන්නට දෙයක් නැත. නිරෝධායනය විය යුතු බවටත් රට ලොක් ඩවුන් කළ යුතු බවටත් කිසිම තර්කයක් නැති නමුත්, මිනිසුන් ඉන්නා තැන්වලම කුසගින්නේ මියෙන්නට ඇති අවදානම ගැනත් ආසියාවේ ආණ්ඩු මීට වඩා අවධානයෙන් සිතිය යුතුය. මන්ද යත්, මේ වසංගතය අවසන් වූ පසු, පාලකයන් නැවතත් ඡන්දය යදිමින් ජනතාවගේ දෙපා මුලට පැමිණීමට නියමිත නිසා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි