×

‘‘ඇමරිකාවේ කොරෝනා මරණ ගණන 100,000 න් නවත්වා ගන්න පුළුවන් නම් ඒක ‘වෙරි ගුඩ් ජොබ්!‘‘ – ට්‍රම්ප්

ධවල මන්දිරයේ රෝස් ගාඩ්න් හිදී මාධ්‍ය අමතමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් සිය අමනෝඥ ස්වභාවය සහ තැනට ගැළපෙන පරිදි කතා කිරීමට ඇති නොහැකියාව අවලස්සන ලෙස ප්‍රදර්ශනය කළේය.


මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ ‘සිය පරිපාලනය ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂයකට සීමා කරගන්නට හැකි වුවහොත් එය “a very good job” යනුවෙනි.

මෙය, මීට දින කිහිපයකට පෙර ඔහු විසින් අතිශය බලාපොරොත්තු සහගත ලෙස පැවසූ පරිදි ඇමරිකානු ආර්ථිකය පාස්කුව වන විට යථා තත්වයට පත් වෙතැයි පැවසූ අනාවැකියට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයකි. මෙයට දින කිහිපයකට පෙර ඔහු සිටි ‘සර්වශුභවාදී තත්වය‘ට වඩා හාත්පසින් වෙනස් තත්වයකි.

ඒ නිසාම ‘ලක්ෂයකින් බේරගත්තොත් ඇති‘ යන අර්ථය සහිතව ඔහු පළ කළ අදහස රාජ්‍ය නායකයෙකුගේ වගකීම් විරහිත ප්‍රකාශයක් ලෙස සැලකිය හැකිය.

‘‘Be nice!‘‘

මේ අතර සුපුරුදු පරිදි මාධ්‍යයට බැණ වදින්නටත් මාධ්‍යය පහත් කර කතා කරන්නටත් ඔහු අමතක කළේ නැත.

ට්‍රම්ප් විසින් පෙර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ විමසීමේදී ඔහු Yamiche Alcindor නමැති PBS NewsHour හි සේවය කරන කළු ජාතික මාධ්‍යවේදිනියට බාධා කරමින් ඇය කලින් ටයිම්ස් පුවත්පත සඳහා සේවය කර දැන් වෙනත් මාධ්‍යයකට සේවය කරන්නේ ඇගේ ස්වභාවය නිසා බව පවසමින්, ‘බී නයිස්‘ වන ලෙස ද අවවාදයක් දුන්නේය.

“Why don’t you act in a little more positive? … It’s always get ya, get ya, get ya. You know what? That’s why nobody trusts the media anymore.”

ඇය මේ තත්වයට මුහුණ පාන අවස්ථාවේදී ට්‍රම්ප්ගේ ආධාරකරුවෙකු පැමිණ ඇගේ අත තිබූ මයික්‍රෙෆෝනය උදුරා ගැනීමට තැත් කළ ආකාරය පහත ඡායාරූපයෙන් දැක්වේ.

“Look, let me tell you something, be nice. Don’t be threatening. Be nice.”

ට්‍රම්ප්ගේ ‘ලස්සන ටයිම්ලයින්‘ එකත් වරදියි!

මෙයට පෙර ට්‍රම්ප් පාස්කුව වන විට ආර්ථිකය යථා තත්වයට පත් වීම ගැන ද කියා තිබුණේ “beautiful timeline”යැයි පවසමිනි.

මේ වන විට ට්‍රම්ප් විසින් ෆෙඩරල් ආණ්ඩුව හරහා දින 15 ක සමාජ දුරස්ථ කාල පරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කරතිබේ. එය අද දිනයෙන් (සඳුදා) අවසන් වීමට නියමිත ය.

නමුත් මේ වන විට ඇමරිකාව මුහුණ පා ඇති තත්වය අනුව මෙය අප්‍රේල් 30 දක්වාම දීර්ඝ වනු ඇතැයි සැලකේ.

ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් පැවසුවේ සියල්ල යථා තත්වයට පත්වීමට ජූනි 1 වැනිදාවත් වනු ඇති බවයි. සමාජ දුරස්ථභාවය පිළිබඳ රීති නොපැනවී නම් මෙම ලක්ෂයක මරණ ගණන 220,000 දක්වා ඉහළ යාමට හැකියාව තිබූ බැවින් එය ‘ගුඩ් ජොබ්‘ එකක් ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා විසින් සලකනු ලබයි.

මුහුණු වැසුම් රෝහල් කාර්ය මණ්ඩල විසින් හොරකම් කරනවාලු!

තවත් මතභේදාත්මක මාධ්‍ය සාකච්ඡාවකදී ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවසුවේ මුහුණු වැසුම් (මාස්ක්) හිඟය යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

ඇමරිකාව විසින් මේ වසංගතය පාලනය කිරීම සඳහා අනුමත කර තිබෙන්නේ N95 මුහුණු වැසුම් ය. ඒවා හිඟවීමට හේතුවක් ලෙස ඔහු ඉදිරිපත් කළේ ‘රෝහල් කාර්ය මණ්ඩලයේ අය විසින් ඒවා හොරකම් කරනවා විය හැකි බව‘ යි. ‘‘මං දන්නෙ නෑ.. නිව්යෝක් වැසියන්ට මම මේ කියන්නෙ… පොඩ්ඩක් හොයල බලන්න‘‘ යැයි ද ඔහු කීවේය.

ගෝලීය වසංගතයක් විසින් රටක් වෙළාගනිමින් තිබියදී රාජ්‍ය නායකයා කොයි තරම් කට පරිස්සම් කරගත යුතුද, වාචාල ලෙස නොදෙඩිය යුතුද යන්න ගැන ඉදිරියේදී ට්‍රම්ප් තමන්ගෙන්ම පාඩමක් ඉගෙන ගන්නවා ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි