×

‘‘ඇයට එහෙම කරන්න බෑ“ – තායි රජු කසය අතට ගනියි

තායිලන්තයේ දේශපාලන භූමිකම්පාව‘ ලෙසින් විචාරකයන් විසින් හඳුන්වන තායි රජ කුමරිය මිලිටරි ජුන්ටාවට එරෙහිව අගමැති සටනට ඉදිරිපත් වීම පිටුපස තවත් කතා තිබේ. ඒ අතරින් ලොකුම කතාව වන්නේ, තායි රජුට, ඇය තම සහෝදරිය බව හිටිහැටියේ මතක් වී තිබීමයි.


තායිලන්ත රජු, උබෝල්රතනා රාජකන්‍යා සිරිවඩ්න බර්නාවදී නමැති සිය සොයුරිය විසින් ගෙන ඇති තීරණය විවේචනය කරන්නේ, ඇය රජ පවුලකට නොහොබිනා දෙයක් කළාය යන ස්ථාවරය මත සිට ය.

රජුගේ බසට අනුව මෙකී සම්ප්‍රදායන් අදාළ වන්නේ රජ පවුලේ සාමාජිකයන් හට ය. නමුත් සැබවින්ම දැන් උබෝල්රතනා රජකුමරියක නොවේ. භූමිබෝල් අදුලියරෙජ් රජුගේ සහ සිරිකිත් රැජිනගේ වැඩිමල් දියණිය වන ඇයට 1970 දශකයේදී විදේශිකයෙකු (ඇමරිකානුවෙකු) සමග විවාපත් වීම නිසා රජ පවුල සමග තිබූ නෑ කම් අතහැරීමට සිදුවිය. ඇය රජ පවුලේ කෙනෙක් බව වජ්රාලංකෝන් රජුට මතක් වන්නේ දැන් ය!

1972 වසරේදී මැසචුසෙට්ස් තාක්ෂණික සිසුවෙකු සමග ප්‍රේමයෙන් වෙළුණු උබෝල්රතනා කුමරියට රජ පවුල අහිමි වූයේ ද තායි රජ පවුලේ දැඩි සම්ප්‍රදායන් නිසා ය. ඇයට ඔහු හා විදේශගත වීමට සිදුවිය. දරුවන් තිදෙනෙකු ලැබීමෙන් පසු ඇය ඔහුගෙන් දික්කසාද වී නැවත තායිලන්තයට පැමිණියාය. එහිදී දෙවැනි ජීවිතයක් ආරම්භ කළ ඇය, ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය සමග නිතර ගැවසුණාය. නිළියක, ගායිකාවක සහ සමාජ සේවිකාවක බවට පත්වූවාය.

දැන් ඇය සටන් වැදිය යුතුව තිබෙන්නේ පස් අවුරුද්දකට පෙර සිදුවූ හමුදා කුමන්ත්‍රණයකට පසුව බලය අල්ලාගත් අති ප්‍රබල හමුදා ජුන්ටාවට එරෙහිව ය. එහිදී ඇය, හිටපු තායි අගමැති සහ ව්‍යාපාරික දැවැන්තයෙකු වන තක්ෂින් ෂිනාවාත්‍රාගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර තිබේ. නමුත් ඇය මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නම් ඇයගේ නාමයෝජනාව රජු විසින් අනුමත කළ යුතුව තිබෙන බවට ද මතයක් තිබේ. ඇගේ සොහොයුරු සහ වත්මන් තායි රජු වන වජ්රාලංකෝන් විසින් දැනටමත් ඇගේ තීරණය විවේචනය කර ඇති නිසා, එය සිදුවේද යන්න ගැන දැන් පවතින්නේ අවිනිශ්චිතතාවයකි.

වජ්රාලංකෝන් රජු, ඇගේ අපේක්ෂකත්වය නිවේදනය කළ අවස්ථාවේ සිට පැය කිහිපයක් ඇතුළත රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් පැවසුවේ මෙසේ ය. ‘‘රාජකීය පවුලේ ඉහළ පෙළේ සාමාජිකයන් කිසියම් ආකාරයකින් හෝ දේශපාලනයට සම්බන්ධ වීම රටේ සම්ප්‍රදායන්, චාරිත්‍රවලට සහ සංස්කෘතියට පටහැණි අතර, මේ නිසා මෙය අතිශය නොගැළපෙන ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ!“

මේ අතර කුමරිය කියමින් සිටින්නේ කුමක්ද? ඇය පවසන්නේ තමන් ක්‍රියාත්මක කරන්නේ පුරවැසියෙකු සතු අයිතිය බවයි.

උබෝල්රතනා කුමරිය තායිලන්තයේ සමාජ ජාලවල ජනප්‍රිය තරුවකි. ඇය මත්ද්‍රව්‍ය ජාවාරම දැඩි සේ හෙළා දකින, ජනතා ප්‍රශ්න නොබියව කතා කරන කුමරියක ලෙස ප්‍රකට ය. නමුත් තායිලන්ත වැසියන් අතර රජ පවුල කෙරෙහි පවතින සම්ප්‍රදායික බැතිමත් බව, රජුගේ ප්‍රකාශයත් සමග ඇයට එරෙහිව ක්‍රියාත්මක වීමට ඉඩ තිබේ. 67 හැවිරිදි, දේශපාලනයට පිවිසෙන්නට උත්සාහ කරන තායි රජ පවුලේ පළමු සාමාජිකාවගේ බලාපොරොත්තු සුන් වී යාමට වැඩි ඉඩක් නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසා ය.

තායිලන්තයේ මීළඟ අගමැතිවරයා වශයෙන් මේ දක්වා කැපී පෙනෙමින් සිටියේ ප්‍රයුත් චාන්-ඔ-චා ය. ඔහු 2014 හමුදා කුමන්ත්‍රණයේ මහ මොළකරු ය. එසේම හමුදා ජුන්ටාවේ ද ප්‍රධානියා ය. තමන් නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා තායිලන්තයේ අගමැතිකම අපේක්ෂා කරන බව ඔහු පවසයි. දිගින් දිගටම හමුදා ජුන්ටාව තායිලන්ත මහ මැතිවරණය ප්‍රමාද කරමින් සිටියේත්, විරුද්ධ පක්ෂය දැඩි මර්දනයකට හසු කරමින් සිටියේත් ඔහු අපේක්ෂකයෙකු ලෙස කළ එළි බසින තෙක්ය.

‘‘මා මගේ සියලු රාජකීය තත්වයන් අතහැර සාමාන්‍ය වැසියෙකු සේ ජීවත් වීම ඇරඹුවා‘‘ යැයි ඇය සිය අපේක්ෂකත්වය නිවේදනය කරමින් ඉන්ස්ටග්‍රෑම් හරහා කියා තිබිණි.

නමුත් අවශ්‍ය නම්, රජුගේ අකමැත්ත, ඇගේ අපේක්ෂකත්වය සුන් කිරීම සඳහා යොදාගැනීමට තායිලන්ත මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් කම තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි