ඊශ්‍රායලය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතනියාහු ද, බහරේන් සහ එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරුන් ද මෙයට එක් වී සිටියහ.
‘‘මැද පෙරදිගට සාමය උදා වෙන්නට නියමිතයි‘‘ යැයි එහිදී ගිවිසුම සඳහා සත්කාරකත්වය දරමින් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ට්‍රම්ප් මෙම සාම ගිවිසුමට අත්සන් කිරීමට සහාය ලබාදුන්නේ එහි කපුකම කිරීම මගිනි. මෙහිදී ඔහුගේ බෑණා සහ ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු වන ජරෙඩ් කුෂ්නර්ගේ බලපෑම ද ඉවහල් විය. ඇතැම් විචාරකයෝ මෙය හුදෙක් සාම ගිවිසුමක් පමණක් නොව ව්‍යාපාරික ගිවිසුමක් ලෙස ද දකිති. කෙසේ වුවත්, මෙම ගිවිසුමට එළඹීමත් සමග ඊශ්‍රායලය, බටහිර ඉවුර සම්බන්ධයෙන් දක්වන ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය හකුළා ගනු ඇත.
2020 ඇමරිකානු ජනාධිපතිවරණයට දින 48 ක් තබා ට්‍රම්ප් විසින් සිදුකළ මෙම කලාපීය මැදිහත්වීම, ඡන්ද ගුණ්ඩුවක් ලෙස පටු ලෙස නොසැලකිය යුතු බවත්, සාධනීය ලෙස දැකිය යුතු බවත් විචාරකයන්ගේ මතයයි.
මෙම ගිවිසුම, ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය තුළ අතිශය වැදගත් සන්ධිස්ථානයකි.
මෙම ගිවිසුම නම්කර තිබෙන්නේ Abraham Accords යනුවෙනි. එහි අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ විස්තර හෙළිදරව් වී නැතත්, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් සහ බහරේනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍ය තත්වයට හැරවීම මෙහි අරමුණයි.
සම්මුතිය පිළිබඳ කතාබහ ආරම්භ වීමත් සමග ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කළේ දෙරට අතර සාමාන්‍ය වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට තමන් තීරණය කළ බව ය.
මේ දක්වා ඊශ්‍රායලය සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගියේ අරාබි රාජ්‍යයන් 2 ක් සමග පමණි. එනම්, ජෝර්දානය සහ ඊජිප්තුව සමග පමණි.
ධවල මන්දිරයේදී මෙම ගිවිසුම අත්සන් කෙරුණේ, මෙයට වසර 25කට පෙර එවකට ජනපති බිල් ක්ලින්ටන්, ඊශ්‍රායල් අගමැති යිට්සැක් රාබින් සහ පලස්තීන නායක යසර් අර්ෆත් විසින් පලස්තීන සාම ගිවිසුම අත්සන් කළ ස්ථානයේදීම වීම විශේෂත්වයකි.