ඔහු, එදා පටන් දේශගුණික ක්‍රියාකාරකම් සහ මූල්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ලෙස පත්වනු ඇත.
බ්‍රිතාන්‍ය , කැනේඩියානු සහ අයර්ලන්ත පුරවැසිභාවයන් සමග ‘ත්‍රිත්ව පුරවැසි‘ මහබැංකු ප්‍රධානියෙකු වුවද ඔහු, ලංකාවේ සමහර ද්විත්ව පුරවැසි මහබැංකු ප්‍රධානීන් තරමටවත් ආර්ථිකය හිරිවට්ටන දේ කළේ නැත. ඔහු බ්‍රෙක්සිට් කඩා වැටීම තුළ බ්‍රිතාන්‍ය ආර්ථිකයට උපරිම සුරක්ෂණය ලබාදීම පිණිස අනාගතය සඳහා වැඩ කළේය.
ලෝකයේ නියම ලිබරල් පියවරු මේ ය.
BBC Radio 4 Today interview වැඩසටහන සමග එක්ව සිය අනාගත සැලසුම් පිළිබඳ ඔහු දැක්වූ අදහස්, මූල්‍ය ප්‍රධානියෙකු ලෙස, ලෝකයේ පාරිසරික සටන ඉදිරියට ගෙන යා යුත්තේ කෙසේද යන්න ගැන කදිම කමටහනකි.
මිහිතලය උණුසුම් වීමේ සීමාව සෙල්සියස් අංශක 4 කින් අඩු කර ගැනීමේ සිහිනය අපට දුර වැඩි යැයි එහිදී ඔහු කියයි. සෙල්සියස් අංශක 4 කින් මිහිතලය උණුසුම් වීම යනු, ලොව පුරා ජනතාව මිලියන 760ක් විපතේ හෙළමින් සාගර ජල මට්ටම මීටර 9 කින් ඉහළ යාමකි.
‘‘කළ යුත්තේ කුමක්ද කියා සිතමින් අපි තවත් දශකයක් ගත කරාවි. අංශක 1.5 ක ඉලක්කය අපි හැකිතාක් ඉක්මනින් ළඟා කර ගත යුතුයි.‘‘ යැයි ඔහු කියයි.
මේ වැඩසටහනේදී ඔහු නිතර භාවිතා කරන යෙදුමක් වන්නේ climate crisis හෙවත් දේශගුණික අර්බුදයයි. දේශගුණික අර්බුදය හමුවේ ලෝකය අවදි නොවන්නේ නම්, බොහෝ සමාගම්වල වත්කම්, කිසිදු වටිනාකමකින් තොර වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
‘‘සෑම සමාගමකින්ම, සෑම මූල්‍ය ආයතනයකින්ම, සෑම දේපළ කළමනාකරුවෙකුගෙන්ම, සෑම විශ්‍රාම අරමුදලකින්ම අපි ඇසිය යුතු ප්රශ්නය වන්නේ ඔබේ සැලසුම කුමක්ද? යන්නයි.‘
ඔහු එහිදී තරයේ අවධාරණය කරන්නේ ගල් අඟුරු සතුරා ගැන ය. ගල් අඟුරු දහනය වහාම ක්‍රියාත්මක වන පරිදි 80%කින් සහ, වැඩිදියුණු කළ ඛණිජ තෙල් සංචිත දහනය 50%ක් නතර කර නොගන්නේ නම් අනාගත මානවයා නොව, මේ පරම්පරාවේම මානවයා සිය ජීවිත කාලය තුළම අති මහත් උවදුරුවලට මුහුණ පානු ඇත.
‘‘වහාම, මේ දැන්ම ගල් අඟුරු කර්මාන්තය සඳහා තවදුරටත් ආයෝජනය කිරීම නතර කළ යුතුයි..“
එංගලන්ත මහබැංකු ප්‍රධානියා මෙසේ ආමන්ත්‍රණය කරන්නේ ගල්අඟුරු කෑල්ලක් අතින් ගෙන පාර්ලිමේන්තුවට උදාරම් ලීලාවෙන් පැමිණි ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් වැනි නායකයන් සහ ව්‍යාපාරිකයන් සිටින ලෝකයකට ය. (ඔස්ට්‍රේලියානු අගමැතිගේ ගල් අඟුරු ලැදියාව ගැන වෙනම ලිපියක් බලාපොරොත්තු වන්න)
දේශගුණික විපර්යාසය ඔහු විසින් හඳුන්වන්නේ ‘දිගන්තයේ/සිතිජයේ ඛේදවාචකය – “tragedy of the horizon” යනුවෙනි. දේශගුණික විපර්යාසවලින් ලෝකය බේරාගන්නේද, නැතිනම් තමන්ගේ ගේ දොරකඩටම ගං වතුර එනතෙක් සිටින්නේදැයි ආයෝජකයන්ට සහ දේශපාලකයන්ට දැන් ඉතිරිව තිබෙන්නේ වසර 2 ත් 10 ත් අතර ප්‍රමාණයක් පමණි. දැන් අප සිටින්නේ සිතිජය අද්දර ය. එතැනින් ඔබ්බට තිබෙන්නේ මිරිඟුවයි.
මහබැංකු ප්‍රධානියා වශයෙන් මාර්ක් කානේ, ව්‍යාපාර සඳහා ආතති පරීක්ෂණයක් නියම කර තිබේ. එමගින් දේශගුණික විපර්යාසයෙන් වැඩිපුරම බලපෑමට ලක්වන ක්ෂේත්‍ර සහ ආයතන/සමාගම් හඳුනා ගැනේ.
ප්රශ්නය වන්නේ මූල්‍ය ආයතන මේ අවදානම වටහා ගන්නේ කොතරම් වේගයකින්ද යන්නයි.
මෑතකදී ආක්ටික් මුහුදේ ඛණිජ තෙල් කැණීම සඳහා ගෝල්ඩ්මන් සැක්ස් -Goldman Sachs බැංකුව අනාගත ආයෝජන සැපයීම ප්‍රතික්ෂේප කළේය. ලෝකයේ කිසිදු තැනක නව තාප ගල් අඟුරු පතල් හෝ බලාගාර සඳහා තමන් ආයෝජනය නොකරන බව ද ඔවුන් පවසා තිබේ. ඒ වෙනුවට කාලගුණයට සම්බන්ධිත catastrophe bonds යනුවෙන් නව බැඳුම්කර විශේෂයක් ඔවුන් විසින් හඳුන්වා දී ඇති අතර, ඒවා විකිණීම මගින් දේශගුණික බලපෑම් කළමනාකරණයට උදව් කිරීමට ඔවුන් තීරණය කර තිබේ.
රක්ෂණ ලෝකයේ දැවැන්තයෙක් වන AXA විසින් සියලු ගල් අඟුරු සමාගම් රක්ෂණය කිරීම නවතා දමා ඇත. යුරෝපා සංගමය තුළ දැනට සිදුවන සියලු ගල් අඟුරු කර්මාන්ත ආයෝජන සහ රක්ෂණද ඔවුන් විසින් වසර 2030 වන විට නතර කර දමනු ඇත.
නමුත් ලෝකයේ බොහෝ මූල්‍ය සමාගම් සහ බැංකු, තවම ඒ ගැන සිතාවත් නැත.
2019 ඔක්තෝබරයේදී පර්යේෂණයකින් හෙළි වූ ආකාරයට එක්සත් රාජධෘනිය තුළ වෙසෙන වනජීවී විශේෂවලින් 2/5 ක් (41%) ගතවූ වසර 50 තුළ වඳ වී යාමට ලක්ව ඇත. තවත් 13%ක් වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබේ. වැඩිකල් නොගොස්ම දේශගුණික විපර්යාස සහ දේශගුණික හදිසි තත්වයන් හමුවේ හෝමෝ සේපියන්ස් නාමය ද වඳ වී යාමේ තර්ජනයට ලක්ව රක්ත දත්ත පොතට ඇතුළත් වීමට නියමිත ය.
මේ ගෙවී යන්නේ 21 වන සියවසේ දෙවැනි දශකයේ අවසාන දින කිහිපයයි. අවම වශයෙන් අප දැන්වත් අවදි විය යුතුය. මාර්ක් කානේ වැනි මූල්‍ය ප්‍රධානීන් ලැබෙන තෙක් බලා සිටීමට පවා අපට දැන් කාලයක් නැත.
Cover Photo: Reuters