කිර්ගිස්ථාන ජනාධිපති සූරෙනේබායි ජීන්බෙකොව් මේ සමගම සාමය සුරැකීම සඳහා අගනුවර වීදිවලට හමුදාව ද කැඳවා තිබේ.
හදිසි තත්වයට ඇඳිරි නීතිය ද ඇතුළත් ය.
ඔක්තෝබර් 9 වැනිදා පටන් ඔක්තෝබර් 21 වැනිදා දක්වාම මෙම තත්වය බලපැවැත්වීමට නියමිත ය.
පසුගිය ඉරිදා පැවති කිර්ගිස්ථාන මහමැතිවරණය සමග විපක්ෂ ආධාරකරුවන් විසින් රජයේ ගොඩනැගිලි අත්පත් කර ගනිමින් දැඩි කලහකාරී තත්වයක් ඇති කිරීම මෙයට හේතු ලෙස දක්වා ඇත.
උද්ඝෝෂණවලට සහභාගි වූ එක් අයෙක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබේ.
මහමැතිවරණයෙන් පසුව නව කැබිනට්ටුව දිවුරුම් දීමත් සමග ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බව කලින් දැනුම් දී තිබිණි.
නමුත් ජීන්බෙකොව් ජනාධිපතිවරයා දැනට සිටින කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස් වන ලෙස බල කර සිටි අතර, මහමැතිවරණයේ ප්‍රතිඵල නිෂ්ප්‍රභා කරන ලෙස මැතිවරණ කොමිසමට ද බලපෑම් කර තිබේ.
කිර්ගිස්ථාන අගමැතිවරයා ද ඊයේ දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට භාර දුන්නේය.
රට පුරා කලහකාරී තත්වය උත්සන්න වූයේ ඉන් පසුව ය.
නමුත් නව තත්වය තුළ ජනාධිපතිවරයා රට තුළ සාමය ඇති කිරීමට යැයි කියා තවදුරටත් ධුරයේ රැඳී සිටීමට සූදානමක් ඇති අතර, විරෝධතාකරුවන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම පරස්පර තත්වයක් බවයි.
ඉරිදා පැවති මහමැතිවරණයේදී ආණ්ඩු පක්ෂය විසින් ඡන්දය මිලට ගත් බවට ද චෝදනා තිබේ.
ඒකාධිපති ජනපති ජීන්බෙකොව්
අතීතයේ සෝවියට් සංගමයේ කොටසක්ව පැවති කිර්ගිස්ථානය සම්බන්ධයෙන් රුසියාව ද සිටින්නේ දැඩි අවධානයකිනි. දේශසීමා ආරක්ෂා කිරීම සඳහා රුසියාව හමුදා භටයන් යෙදවූයේ රට පුරාම ඇතිවී තිබෙන කලහකාරී තත්වය තුළ දේශසීමා අරගල ද හටගත් හෙයිනි.
ජනපති ජීන්බෙකොව් වෙනුවට පත් කරන්නේ කුමන තැනැත්තා ද හෝ කුමන පක්ෂය ද යන්න පවා තවම පැහැදිලි නැත.
මේ අතර වාරාවසාන වූ කිර්ගිස්ථාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පවසන්නේ බලය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවයි.
අන්තර්වාර අගමැති ධුරය සඳහා අපේක්ෂයන් තුන් දෙනෙක් යෝජනා වී සිටියත් ඔවුන් කිසිවෙක් ද ඒ සඳහා කැඳවා නැත. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සමග පවසා තිබුණේ ‘ජීවිත බය‘ හේතුවෙන් තමන් මේ පිළිබඳ ජනපතිවරයා සමග සාකච්ඡා නොකරන බවයි.
මීට පෙර 2005 සහ 2010 වසරවලදී ද ඒකාධිපති ජනපතිවරුන් මහජන විරෝධතා හේතුවෙන් ධුරයෙන් ඉවත් වූ රටක් ලෙස කර්ගිස්ථානය ඉතිහාසගත ව ඇත. නමුත් ජීන්බෙකොව් ඒ ඉරණම භාරගත් තුන් වැනියා වීමට යන්නේදැයි තවම පැහැදිලි නැත.