×

ගංගානම් නදිය රසායනික සළු පොරවා ගත් හැටි කියන ‘ගංගා මා‘ ඡායාරූප ග්‍රන්ථය

මුලින් සියල්ල දිස්වන්නේ සාමාන්‍ය ලෙස ය. හින්දු බැතිමතුන් අරුණෝදය නැගෙත්ම, භාරතයේ වඩාත්ම ශුද්ධ වූ ගංගාව ‘ගැංගීස්‘ හෙවත් ගංගානම් නදියේ ඉවුරු වෙත පිය නගන්නේ එහි ගිලී දෝවනය වන්නට ය.


නමුත් ඒ නදිය දෙස සැලකිල්ලෙන් බලන විට භීතියෙන් ඇස් විශාල වීම වළක්වා ගත හැකිද?

ඉතාලි ජාතික ඡායාරූප ශිල්පියෙකු වන ගියුලෝ ඩි ස්ටෘකෝ (Giulio Di Sturco) වසර 10 ක් තිස්සේ සිදුකළ ඡායාරූපමය ව්‍යාපෘතියක අවසානය සනිටුහන් වන්නේ ගංගානම් නදිය, විෂ වායු දූෂණයේ ප්‍රතිඵලයක් ලෙස රසායනික සළු පොරවා ගැනීමත් සමග ය.

එම රසායනික සළු, බැලූ බැල්මට දිස්වන්නේ රන්වන් දුහුවිල්ලක් ලෙස ය. සුන්දරත්වය සහ සන්ත්‍රාසය අතර ඇති මේ ප්‍රතිවිරෝධය, ‘ගංගා මා‘ නමැති ඔහු විසින් එළිදක්වා ඇති කෘතියෙන් මනාවට පෙන්නුම් කරයි.

ගංගානම් නදිය දිගේ මේ දස වසර තුළ ගමන් කළ ඔහු, එම නදිය මෙන්ම ගංගා ද්‍රෝණිය ද සෙමෙන් වෙනස් වන අයුරු සිය කාච ඇසට හසු කර ගත්තේය.

එවන් ඡායාරූපයකට අනුව මේ ගං ඉවුර බැලූ බැල්මට දිස්වන්නේ අයිස්බර්ගයක් ලෙස ය. නමුත් එය එසේ නොවේ. එය වැසී තිබෙන්නේ රසායනික අපද්‍රව්‍ය වලිනි. ඒවා පොළොව සමග ප්‍රතික්‍රියා කිරීමේ ප්‍රතිඵලයයි, මේ. යමුනා නදිය, ගංගානම් ගඟේ ප්‍රධාන අතුගංගාවයි. විශාල රසායනික කම්හල් සංඛ්‍යාවක අපද්‍රව්‍ය යමුනා නදියට මුසු වන අතර, ඒවා අවසානයේ නතර වන්නේ ගංගානම් නදියේ මෙවැනි කඳුළු තොටුපොළවල ය. පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොල්කොටාවට නුදුරු හම් කර්මාන්තශාලාවලින් පිටවන අපද්‍රව්‍යවලින් ගංගා ද්‍රෝණිය අපවිත්‍ර වී ඇති අයුරු ය.

සැතපුම් 1500 ක් දුරට, එනම් ඉන්දියාව සහ බංග්ලාදේශය හරහා හිමාලය කඳුවැටියේ සිට බෙංගාල බොක්ක දක්වා ගලා යන ගංගා නම් නදිය ආශ්‍රිතව ලබාගත් ඡායාරූප 70 ක් මේ ඉතාලි ඡායාරූප ශිල්පියා විසින් සිය ග්‍රන්ථයට යොදා ගෙන තිබේ.

‘‘දේශගුණික විපර්යාස, පරිසර දූෂණය, කාර්මීකරණය හා සාගර ජල මට්ටම ඉහළ යාම වැනි ගැටළු සඳහා ගංගානම් නදිය කදිම රූපකයක් (metaphor) බව ද ඔහු පවසයි. ‘‘ගැංගීස් නදිය (ගංගානම් නදිය) අවට සිදු නොවන දෙයක් නැහැ..“

මෝදිගේ ‘පිරිසිදු ගංගා‘ ව්‍යාපෘතිය කෝ?

දිනකට තවමත් ගංගානම් නදියට ලීටර බිලියන ගණනක් වසුරු සහ කාර්මික අපවහන ජලය බැහැර කරයි.

එයිමර් මාටින් සමග මේ ඉතාලි ජාතික ඡායාරූප ශිල්පියාගේ අනර්ඝ පොතට පෙරවදන ලියා ඇත්තේ සුප්‍රකට පරිසර ක්‍රියාකාරිනී වන්දනා ශිවා විසිනි. ඇය එහිදී ඉන්දියාවේ සංවර්ධන හා නාගරික මොඩලයට බෙහෙවින්ම දෝෂාරෝපණය කරයි.

‘‘අද තිබෙන සියලු ප්‍රශ්න ඇති වී තිබෙන්නේ අසාර්ථක බටහිර සංවර්ධන මොඩලය ඒ ආකාරයෙන්ම යොදාගැනීමට උත්සාහ කිරීම නිසයි..‘‘ යැයි ද වන්දනා ශිවා පවසයි.

වන්දනා ශිවා පවසන්නේ ශුද්ධ වූ ගංගා මාතාවට එරෙහිව ඉන්දියාව විසින් යුද්ධයක් ප්‍රකාශයට පත් කර ඇති බවකි.

‘‘පින්තූරවලින් කිසිවක් වෙනස් කරන්න පුළුවන් වේය කියා මා සිතන්නේ නැහැ..‘‘ ගියුලියෝ පවසයි. ‘නමුත් ඒ දේවල් එක් රැස් කිරීම හොඳ දෙයක්..‘‘
ගංගානම් නදියේ පාරිසරික විනාශය කාච ඇසට හසු කර ගත් මේ ඡායාරූප ශිල්පියා, සිය කාර්යය විස්තර කරන්නේ A ‘new aesthetic of pollution’ හෙවත් ‘පරිසර දූෂණයේ නව සෞන්දර්යයක්‘ ලෙස ය.
Ganga Ma,” Gost Books ප්‍රකාශනයකි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි