×

කඳුළු ගෑස් මැද ග්‍රීසියේ ලෙස්බෝස් දූපතේ සරණාගතයන්ට ජර්මනියෙන් කොල එළියක්

පසුගිය බදාදා ග්‍රීසියේ ලෙස්බෝස් දූපතේ සංක්‍රමණික සරණාගතයන් රැඳී සිටි කඳවුරෙ ගිනිබත් වීමෙන් අනතුරුව මේ වන විට උද්ඝෝෂණ හටගෙන තිබෙන්නේ ඔවුන්ට ස්ථිර නවාතැන් සපයා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.


මෙම දූපතේ පිහිටා ඇති මොයිරා කඳවුරේ සංක්‍රමණියන් සහ සරණාගතයෝ 13,000 කට ආසන්න සංඛ්‍යාවක් රැඳී සිටිති.

කඳවුර ගිනිබත් වීමෙන් පසුව මේ වන විට ඔවුන් රැඳී සිටින්නේ කාරා ටේප් නමැති තාවකාලික කඳවුරක ය.

ඒ වෙනුවට ස්ථිර නවාතැන් ඉල්ලා සිටිමින් උද්ඝෝෂණය කිරීමට පටන් ගැනීමත් සමග කැරළිකාර තත්වයක් හටගත් අතර, සංක්‍රමණිකයන් මෙල්ල කිරීම සඳහා කඳුළු ගෑස් යොදාගැනීමට සිදුවිය.

නව කඳවුරට ඇතුළත් කරගෙන තිබෙන්නේ 200 දෙනෙක් පමණක් බවට සඳහන් වේ. සෙසු අය විවිධ සෞඛ්‍ය පරීක්ෂාවන් සඳහා පෙළ ගස්වා තිබේ.

මේ අනුව බොහෝ සරණාගත පවුල් රාත්‍රිය ගත කරන්නේ මහා මාර්ගයේ හෝ එළිමහන් පිට්ටනිවල ය.

නීතිවිරෝධී ලෙස යුරෝපයට යාමේ සිහිනයෙන් පරාජය වූ මේ පිරිස් පසුගියදා ‘‘යුරෝපයක් නෑ.. මේ අපාය.. ‘‘ යනුවෙන් හඬ නැගූ බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

ජර්මනියෙන් කොල එළියක්

ග්‍රීසියේ සංක්‍රමණික අමාත්‍යවරයා මෙම ජනතාවගේ තාවකාලික සුබසිද්ධිය පිළිබඳ කතා කරමින් සිටියදී, ඔවුන්ගේ යුරෝපා සිහිනය පිළිබඳව මෙවරත් යම් මැදිහත් වීමක් සිදුකර තිබෙන්නේ ඇන්ජෙලා මර්කෙල් ප්‍රමුඛ ජර්මනියයි.

ජර්මනිය පසුගිය සිකුරාදා නිවේදනය කළේ බාලවයස්කරුවන් 400 දෙනෙකු භාරගැනීමට යුරෝපා රටවල් 10ක් කැමැත්ත පළ කර ඇති බවයි.

‘‘මොයිරා කඳවුරේ ගින්න, යුරෝපය තුළ සිදුකළ යුතු වෙනස්කම් ගැන තියුණු සිහිකැඳවීමක්‘ යැයි ජර්මනියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය හෝර්ස්ට් ෂීහෝෆර් පවසයි.

මේ අතර රාජ්‍ය නොවන සංවිධාන සහ පුණ්‍ය භාර ගණනාවක් ජර්මානු රජයට ලිපියක් මගින් දැනුම් දී තිබෙන්නේ බාල වයස්කරුවන් පමණක් නොව පවුල් පිළිබඳව ද බොහෝ දේ කළ හැකිව තිබෙන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි