ඔවුන් ‘ද ගාඩියන්ස්‘ හෙවත් ‘රැකවලුන්‘ යනුවෙන් ටයිම් සඟරාව විසින් හඳුන්වයි.
එසේම ටයිම් සඟරාව විසින්, 2018 වසරේදී මරා දමන ලද හෝ සිරගත කරන ලද මෙම මාධ්‍යවේදීන් වෙනුවෙන් එකිනෙකට වෙනස් කවර 4 ක් ද මෙවර නිකුත් කර තිබේ. මෙය දුර්ලභ සිදුවීමකි.
තුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදී අමානුෂික අන්දමින් ඝාතනය කළ ජමාල් ඛෂෝගි, කැපිටල් ගැසට් පුවත්පතේ කාර්ය මණ්ඩලය යන රොහින්ග්‍යා සංහාරය වාර්තා කර සිරබත් කමින් සිටින මියැන්මාර මාධ්‍යවේදීන්ගේ භාර්යාවන් මේ අතර වෙති.
ටයිම් සඟරාව පවසන්නේ ‘දැවැන්ත සත්‍යය හෙළිදරව් කිරීම පිණිස දැවැන්ත අවදානමක් ගනිමින් කතා කිරීම සහ හඬගා කතා කිරීම වෙනුවෙන් මේ ගෞරවය ඔවුන්ට පිරිනමන බවයි.
පහත දැක්වෙන්නේ 2018 වසරේ – වසරේ මිනිසුන් බවට පත් වූ එම කණ්ඩායම පිළිබඳ කෙටි සටහනකි.
සෞදි අරාබි නායකත්වය දැඩි සේ විවේචනය කළ ලෝ ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ ජමාල් ඛෂෝගි 2018 ඔක්තෝබරයේදී සෞදි කොන්සල් කාර්යාලයට ඇතුල් වීමෙන් පසු අතුරුදහන් විය. ඔහුව ගොඩනැගිල්ල තුළදී මරා දැමූ බව සෞදිය පසුව පිළිගත්තේය. එම මරණය සෞදි කුමරු මොහොම්මද් බින් සල්මන්ගේ නියෝග පරිදි සිදු කෙරුණු බව විශ්වාස කරයි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු සහ, ඇමරිකාවේ ස්වයං පිටුවහල් ජීවිතයක් ගත කළ ජමාල් ඛෂෝගි ගේ මරණය සම්බන්ධයෙන් තවම යුක්තිය ඉටු වී නැත.
2018 ජූලි 28 වැනිදා ඇමරිකාවේ මේරිලන්ඩ් හි ඇනාපොලිස් හි පිහිටා තිබු කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලය වෙත ඇවිදගෙන ගිය නාඳුනන තුවක්කුකුරුවෙක් එහි කර්තෘ මණ්ඩලයේ 5 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළේය.
එම පුද්ගලයා, 2012 වසරේ එම පුවත්පත මගින් හෙළි කළ වාර්තාවක් මත පුවත්පතට අපහාස නඩු දැමූ, නමුත් එම නඩුවෙන් පැරදුණු අයෙකු බව පසුව හෙළි විය.
සිය කාර්යාලයේ හටගත් එම භීෂණය සහ කම්පනකාරී සිදුවීම නොතකා, කැපිටල් ගැසට් කාර්ය මණ්ඩලය, පසුදිනයේද පුවත්පත මුද්‍රණය කිරීමට සමත් වූහ. එහි සිය සගයන්ගේ මරණයන් සඳහා සිදුකළ ශෝකය පළ කිරීම් ද අන්තර්ගත විය. ඔවුන් කර්තෘ සටහන පිටුව හිස්ව තැබුවේ, තමන්ට මේ පිළිබඳ කිසිවක් කියාගත නොහැකි බවට සටහනක් තබමිනි.
CNN පුවත්සේවයේ අතීතයේ සේවය කළ මාධ්‍යවේදිනී මරියා රෙස්සා විසින් 2012 වසරේදී Rappler වෙබ් අඩවිය ආරම්භ කළාය. එය ගවේෂණාත්මක මාධ්‍යකරණය සම්බන්ධයෙන් අති මහත් ජනප්‍රියත්වයක් සහ කීර්තියක් ලොව පුරා දිනාගත්තේය.
එම වෙබ් අඩවිය හරහා පිලිපීනයේ ඒකාධිපති නායක රොඩ්රිගෝ ඩුටර්ටි (Rodrigo Duterte) විවෘතව විවේචනය කෙරුණේ ඔහු විසින් කරන ප්‍රසිද්ධ ප්‍රකාශවල විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න කරමිනි. විශේෂයෙන්ම ඔහු විසින් දියත් කර තිබෙන මතට එරෙහි යුද්ධය ඇගේ දැඩි විවේචනයට හසු විය. ඩුටර්ටි විසින් ෆේස්බුක් හරහා බොට්ස් හා ව්‍යාජ ගිණුම් මගින් සිදුකරන මෙහෙයුම් ගැන ද 2016 වසරේදී ඩුටර්ටි බලයට පත්වීමෙන් පසු ඇය විශේෂ වාර්තාවක් පළ කළාය. රැප්ලර් වෙබ් අඩවිය ගැන මහත් කලබලයට හා කෝපයට පත් වූ ඩුටර්ටි, ඇයට ජනාධිපති කාර්යාලවලට ඇතුල් වීම තහනම් කළේය.
2018 වසර මුලදී මරිසා රෙස්සාගේ මාධ්‍ය අවසරපත තහනම් කළේ පිලිපීනයේ මාධ්‍ය නිදහස පිළිබඳ ලොව පුරා විවාදයක් ඇති කරමිනි.
2018 නොවැම්බරයේ මරියා රෙස්සා සහ ඇගේ රැප්ලර් ප්රවෘත්ති වෙබ් අඩවිය බදු පැහැර හැරීම ගැන චෝදනා ලැබුවේය. එය ‘තර්ජය සහ බිය ගැන්වීම, හිරිහැර සිදුකිරීමේ පැහැදිලි ක්‍රමයක්‘ බව මරියා රෙස්සා පවසයි.
රොයිටර්ස් පුවත් සේවය සඳහා මියැන්මාරයේ මාධ්‍යකරණයේ නිරත වූ මියැන්මාර පුරවැසියන් දෙදෙනෙකු වන වා ලොන් සහ ක්යාව් සෝ ඌ හට, 2018 සැප්තැම්බරයේදී රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කළ බව කියමින් වසර 7 ක සිර දඬුවම් නියම කෙරිණි.
2017 දෙසැම්බරයේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලබාදුන් රහස් ලේඛන ළඟ තබාගෙන සිටියදී ය. මෙය පොලිසිය විසින් ඇටවූ උගුලක් බව ඔවුහු කියා සිටියහ.
මෙම නඩුව මියැන්මාරයේ මාධ්‍ය නිදහස පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ලෙස අන්තර්ජාතිකව පිළිගැනේ.
මියැන්මාරය විසින් මේ නඩුව මෙහෙයවූ ආකාරය හේතුවෙන්, කලක් ‘බුරුමයේ ප්රජාතන්ත්රවාදී නායිකාව‘ යනුවෙන් හැඳින්වූ අවුන් සාන් සුකී තවදුරටත් දැවැන්ත ලෙස අන්තර්ජාතික අපකීර්තියකට පත්වූවාය. ඇය පවසා තිබුණේ රටේ ප්රකාශනයේ නිදහස සහ මාධ්‍ය වේදීන් දෙදෙනාගේ චෝදනා අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි!
2017 වසරේ දී ටයිම් සඟරාව විසින් වසරේ මිනිසා ගෞරවය පිරිනමා තිබුණේ ‘නිහැඬියාව බිඳින්නෝ‘ – “the Silence Breakers” යන මාතෘකාවෙන් යුතුව ලිංගික අඩන්තේට්ටම් හා හිරිහැරවලට එරෙහිව සිය හඬ අවදි කළ ගැහැණුන් හා පිරිමින් වෙත ය.
ජාත්‍යන්තර ටයිම් සඟරාව ‘වසරේ මිනිසා – “Man of the Year” නම් කිරීම සිදුකරන්නේ 1927 වසරේ සිට ය. ‘ලෝකයේ යහපත හෝ අයහපත වෙනුවෙන් සිදුවීම් ජනනය කළ “ යන වර්ගීකරණය මෙහිදී යොදා ගැනේ.
ටයිම් වසරේ මිනිසා වශයෙන් එහි ඉතිහාසය පුරා වැඩි වශයෙන් නම් කර තිබෙන්නේ තනි පුද්ගලයන් ය. නමුත් එය අනිවාර්ය සාධකයක් නොවේ. 1950 වසරේදී තනි මිනිසෙකු නම් කිරීමේ සම්ප්රදාය අනිවාර්ය නොවන බව ටයිම් සඟරාව පැවසුවේය.
පහත දැක්වෙන්නේ තනි පුද්ගලයෙකු/තනි මිනිසෙකු ටයිම් සඟරාව විසින් ‘වසරේ මිනිසා‘ ලෙස තෝරා නොගත් අවස්ථාවන්ට උදාහරණ කිහිපයකි.
1950 – ‘ඇමරිකානු සටන්කරුවා – “The American fighting-man”
1956 – හංගේරියානු වැසියෝ
2014 – ‘එබෝලා වසංගතයට එරෙහිව සටන් වදින්නන්‘ – , “Ebola fighters”
2011 -‘උද්ඝෝෂකයා‘ -“The Protester” – අරාබි ලෝකය පුරා හටගත් අරාබි වසන්තයට පණ පෙවූ පුරවැසියෝ
මේ අතර, 2006 වසරේ දී ටයිම් ‘වසරේ මිනිසා‘ බවට පත්වූ කෙනා අති විශේෂ ය. එවර වසරේ මිනිසා ලෙස නම් කර තිබුණේ ‘ඔබ‘ – “You” ය. පරිශීලකයන් විසින්ම නිර්මාණය කරනු ලබන අන්තර්ජාල අන්තර්ගතය මෙසේ එම වසරේදී ගෞරවයට පාත්‍ර කෙරිණි.