×

ඩොනල්ඩ් ට්‍රම්ප් අතිශය ප්‍රීතියෙන්…. – මෝඩයාගේ දවසේ විශේෂාංගය

අද අප්‍රේල් 1 වැනිදා නොහොත් මෝඩයාගේ දිනයේ මේ ලෝකයේ සතුටෙන්ම සිටින තැනැත්තා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත් විය.


මතු දැක්වෙන්නේ එහි නිධාන කතාවයි.

ලෝකයේ නොනිදන නගරය කියා කියන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරයට ය. නමුත් මේ වන විට එය පවතින්නේ පණ අදින තත්වයක ය. කොරෝනා හේතුවෙන් ඇමරිකානුවන් ගෙවී යන පැය 24 ක කාලය තුළ පමණක් 653 දෙනෙකු මිය ගොස් තිබෙන්නේ සමස්ත මරණ ගණන 4561 දක්වා ඉහළ දමමිනි. මේ අතර ට්‍රම්ප් තුමා පවසන්නේ මරණ ගණන 240,000 කින් බේරාගන්නට හැකි වේ නම් එය ගුඩ් ජොබ් එකක් වනු ඇති බව ය.

අද වනවිට ලෝකය අත්දකිමින් සිටින්නේ සෞඛ්‍ය සේවය රාජ්‍යයෙන් විතැන්කිරීමේ මහත්ඵල මහානිශංසයයි. කෝපරේට් ලෝකයේදී ඩොලරය යනු ලාභයයි. දැඩි සත්කාර ඒකකයට දැමිය යුතු ඇඳන් ගණන තීරණය කරන්නේ ද ඔවුන් ය.

කොහොමටත් ඇමරිකාව යනු, ලෝකයේ ලොකුම ආයුධ වෙළෙන්දා වන නිසා ඇමරිකාව යනු ‘කනත්තේ ලොකුම සල්ලිකාරයා‘ ය. පණ අදිමින් සිටින එංගලන්තයේ දැන් සිටින්නේ ද ට්‍රම්ප්තුමාගේ පරම මිත්‍රයෙකි. අගමැති බොරිස් ජොන්සන් ට්‍රම්ප්තුමාගේ ප්‍රාණ සමාන ය. එංගලන්තයේ මිලියන 60 ක් ජීවත් වෙති. නමුත් NHS හෙවත් ජාතික සෞඛ්‍ය සේවයට තිබෙන්නේ ශ්වසන ආධාරක යන්ත්‍ර 8000 ක් පමණි. ජනගහනයට සමානුපාතිකව කොපමණ වෛද්‍ය සැපයුම් තිබිය යුතුදැයි ඇමරිකාවේ නම් තීරණය කරන්නේ දැවැන්ත වෙළඳ සමාගම් ය. කෝපරේට් ලෝකයේ වෛද්‍යවරුන් යනු බහුජාතික ඖෂධ සමාගම්වල උගත් රෙප්ලා ය. ඒ කෝපරේට් ලෝකයේ අගනගරය නිව්යෝක් නුවර ය. ඉතින් NHS එක කාර්යක්ෂම කිරීම සඳහාත් ඵලදායීතාවය වැඩි කිරීම සඳහාත් එය බහුජාතික සමාගමකට විකිණිය යුතුයැයි ට්‍රම්ප්තුමා බොරිස් ජොන්සන් හට යෝජනා කළේ මීට මාස කිහිපයකට කලින් ය. ඔහු එයට මුදල් පවා ලැහැස්ති කරගෙන සිටියේය. බොරිස් ජොන්සන්ගෙත් නරක කාලයක්…! අපරාදේ….!!

ඇමසන් හිමිකරු ජෙෆ් බෙසොෆ් කොරෝනා අවදානම උත්සන්න වන්නට කලින් දවසේ බිලියන 3.5 ක කොටස් විකුණා දැම්මේය. ඒක නම් ‘මාර බිස්නස් මොළයක්‘ යැයි හැමෝම කීහ. නමුත් ඔහු සැබවින්ම දිනුම්ද? ඔහු කොරෝනා අවදානම තුරන් වූ පසු පිනුම් ගසන්නට සිතාගෙන සිටින්නේ මිනිසුන් නැති ලෝකයකද?

දැන් මේ කතාවේ පූර්වාපර සන්ධි ගළපමු. මෝඩයාගේ දවසේ ඇමරිකානු විද්‍යාඥයන් විසින් විශේෂ සොයාගැනීමක් සිදුකර තිබේ. එනම්, ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසයට ප්‍රතිරෝධී බව ය. ඒ නිසා ඔහුට කොරෝනා වැළඳෙන්නේ නැත. එනිසාම, තවදුරටත් මාස්ක් දමන්නේ නැතිවම ධවල මන්දිරයේ සිට මාස්ක් හොරකම් කරන රෝහල් කාර්ය මණ්ඩල යනාදිය ගැන හිතලු කතා රස කර කර කියන්නට ඔහුට පුළුවන් ය. ‍සැබෑ ලෙසම මිය යා හැක්කේ ජීවත් වන අයට පමණි. මරණයේ වේදනාව දැනෙන්නේ ද ජීවත් වන අයට පමණි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මේ කාණ්ඩ දෙකටම අයිති නැත.

විද්‍යාඥයන් විසින් ට්‍රම්ප්තුමාට මේ පුවත සැළ කළ පසු ඒ ගැන පැහැදිලි කිරීමක් ද කර තිබේ. එහිදී ඔවුන් දෙවන වරටත් පැහැදිලිවම කියා තිබෙන්නේ ඔහුට මේ වෛරස් රෝගය වැළඳීමට කිසිම හේතුවක් නැති බව ය. මන්ද යත් මෙය වැළඳෙන්නේ මිනිසුන්ට පමණ ය. එවිට…,

‘‘ඊස් ඉට් ඔන්ලි ෆෝ හියුමන් බීන්ස්? ඔහ් දෙන් ඉට්ස් ඕ.කේ..‘‘ යැයි ද ට්‍රම්ප් තුමා කියා තිබේ.

ඉතින් මෙය මෝඩයාගේ දවසේ ලියූ විශේෂාංගයක් වුණත් එහි සර්වකාලීන බවකුත් තිබෙන බව ඔබට තේරුම් යනවා ඇත!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි