එහෙත් මේ ලෝකයේ බොහෝ වෙස්වළාගැනීම් හෝ සැඟවීම්වල අවසානයක් තිබේ. බිවේකානන්ද බිස්වාල්ට ද එයම සිදුවිය.
ඉන්දියාවේ නැගෙනහිර ඔරිස්සා ප්‍රාන්තයේදී ස්ත්‍රී දූෂණයක් කළ බවට සැක කෙරෙන ඔහු අවසානයේ අත්අඩංගුවට ගන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිය නිවසේ සිටියදී ය. පොලිස් භටයන් දැක පළා යන්නට තැත් කළත් පසුව ඔහු යටත් වී මෙසේ කීවේය. ‘‘මාව මෙතැනින් අරගෙන යන්න.. මම හැම දේම කියන්නම්..‘‘
1999 ජනවාරි 9 වැනිදා රාත්‍රියේදී 29 හැවිරිදි තරුණියක බිහිසුණු ලෙස දූෂණය කෙරිණි. ඒ සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන නඩු අසා ජීවිතාන්තය තෙක් සිර දඬුවම් නියම වූහ. එයින් එක් අයෙකු පසුගිය වසරේදී සිරගෙදරදීම මිය ගියේය. ඔවුන් දෙදෙනාම කී එක් ප්‍රධාන දෙයක් වූයේ තමන් සමග බිස්වාස් ද සිටි බව ය.
මේ ස්ත්‍රී දූෂණ සිදුවීමට ලක් ව තිබුණේ සිය මාධ්‍ය වේදී මිතුරියක සහ රියැදුරු සමග මෝටර් රියකින් ගමන් කරමින් සිටි තරුණියකි. හදිසියේම ඔවුන්ගේ මග හරස් කරමින් තිදෙනෙක් පාර හරහා සිටගත් අතර, ඔවුන් කාරය වට කර තමන් කියන තැනට එය පදවාගෙන යන ලෙසට අණ කර තිබේ. අනතුරුව තරුණිය පැය 4කට අධික කාලයක් බිහිසුණු ලෙස දූෂණයට ලක් කෙරිණි. ඇගේ මිතුරිය සහ රියැදුරුට තර්ජනය කෙරුණු අතර, ඔවුන්ගේ මුදල් ඇතුළු වටිනා බඩු භාණ්ඩ පැහැරගනු ලැබිණි.
මෙම අපරාධය සුපුරුදු පරිදි පුවත් ශීර්ෂ පාඨ ඉන්දියාව පුරා මැව්වේය. තවද ඔඩිස්සා මහ ඇමති ජේබී පට්නායික් ඇතුළු ප්‍රකට පුද්ගලයන් කිහිප දෙනෙකුට ද එහිදී මෙයට සම්බන්ධ බවට අපවාද නැගිණි. මිය ගිය තරුණියගේ මාධ්‍ය වේදී මිතුරිය, සිදුවීමෙන් මාස එකහමාරකට පසුව පොලිසියේ ‘ස්ත්‍රී දූෂණයට තැත් කිරීම‘ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීමට යන විට එයට බාධා කර තිබුණේ පෙර කී මහඇමතිවරයා විසිනි. මේ සියල්ල දේශපාලන කුමන්ත්‍රණයක් බව කී නමුත් අවසානයේදී මහඇමතිවරයාට මෙම සිද්ධියෙන් මාසයකට පසුව ඉල්ලා අස්වීමට ද සිදුවිය.
ඉන්දියාවේ විමර්ශන බියුරෝව (CBI) ට ස්ත්‍රී දූෂණ සිද්ධිය භාර කෙරිණි. නමුත් අධිකරණ වාර්තාවලට අනුව ‘වින්දිත කාන්තාව දූෂණය කළ සහ ඇයට වධ දුන් මහමොළය‘ වූ බිස්වාස්, සලකුණක්වත් නොතබා අතුරුදන් ව ගියේය.
මෙයට මාස කිහිපයකට පෙර ඔඩිස්සා ප්‍රාන්තයට අලුත් පොලිස් කොමසාරිස්වරයෙකු පත් වී ආවේය. ඔහුගේ නම සුධාන්ෂු සාරංගි ය. මුළු ජනපදයම අපකීර්තියට පත් කළ ස්ත්‍රී දූෂණ සිද්ධියක එක් සැකකරුවෙකු අතුරුදන්ව සිටින බව දැනගත් ඔහු, “Operation Silent Viper” නමැති කේත නාමය සහිතව ක්‍රියාන්විතයක් ඇරඹුවේය. වයිපර් යනු උග්‍ර විෂැති සර්පයෙකි. උන් ඉතා නිහඬ ය. දෂ්ට කරන තෙක් කිසිවෙක් නොදනිති. කිසිදු හඬක් නොනගමින් ගොදුර ආක්‍රමණය කිරීමට අමතරව වයිපර්ගේ විශේෂම ලක්ෂණය වන්නේ අවට පරිසරයේ පැහැයට අනුව හමේ පාට වෙනස් කර ගැනීමයි. එනිසා එය ගැළපෙනම නම විය.
මාස 3 ක් තිස්සේ තොරතුරු රැස් කරගැනීමෙන් පසුව 2021 පෙබරවාරි 21 වැනිදා සවස ඔහුගේ නිවස වටලෑම සිදුවිය.
සැකකරු බිස්වාල්ගේ බිරිඳ හෝ පුතා රැකියාවක් කළ අය හෝ ස්ථාවර ආදායමක් තිබූ අය නොවේ. නමුත් පොලිසිය ඒ වන විටත් සොයාගෙන තිබුණේ පූනේ නුවර සිට ජලන්ධාර් ස්වායින් නමැති රහසිගත පුද්ගලයෙකු විසින් සෑම මාසයකම ඔවුන්ට සැප පහසු ලෙස ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් එවා ඇති බවයි. ගතවූ වසර 22 තුළම සිය සැමියා නිවසට රහසින්වත් නොපැමිණි බව කීවේ ඔහුගේ බිරිඳ ය. පූනේ නුවර සිට මුදල් එව්වේ කවුදැයි හෙළි කිරීමට ද ඒ සමගම ඇය අසමත් වූවාය. ඒ වෙනුවට ඇය කීවේ ‘ගැන්ග් රේප් එකට එයා අහුවුණාට පස්සෙ අපිව දාල ගියා‘‘ යනුවෙනි.
‘‘ඉන්දියාව ලොකු රටක්‘‘ යැයි පොලිස් කොමසාරිස් සරංගි කියයි. ‘‘ඔහු රැකියාවක් හොයාගෙන බැංකු ගිණුමක් ආරම්භ කරලා, ඒ විතරක් නෙවෙයි, බදු ගෙවන පුරවැසියෙක් විදිහටත් කටයුතු කරලා, ජාතික හැදුනුම්පතකුත් හදාගෙන තිබුණා..‘‘
2007 වසරේ පටන් ඔහු පූනේ දිස්ත්‍රික්කයේ ඉන්දියාවේ අතිධනවතුන් වාසය කරන ‘ආම්බි නිම්නයේ‘ බැරැක්කවල රැකියාවක් කර තිබිණි. එය ඔහුගේ ගමෙහි සිට හැතැක්ම 1080 ක් ඈතින් පිහිටි තැනකි. ආම්බි වැලි හි ඔහු වැනි සේවකයන් 14,000 ක් සිටි අතර, සැකයකින් තොරවම අනන්‍යතාවය සැඟවීමට ඔහු සමත් ව සිටියේය. ඔහුගේ හැඳුනුම්පතෙහි සැකකරු ව නම් කර තිබුණේ ජලන්දර් ස්වායින් යනුවෙනි. ඔහුගේ පියා වන පුරානන්ද බිස්වාල්ගේ නම පී. ස්වායින් යනුවෙන් දමා තිබිණි. නමුත් ඔහුගේ ගමේ නම නිවැරදිව සටහන් වී තිබිණි. පොලිසිය පහසුවෙන්ම සොයාගත්තේ ජලන්දාර් ස්වායින් යනුවෙන් කෙනෙකු ඒ ගමේ නැති බවයි.
අවසානයේ වසර 22 කට පසුව සමාජය ඉදිරියට පැමිණ තිබුණේ වයස 50 ක, තරමක් රෝගී තත්වයකින් පෙළුණු අයෙකි.
පාපොච්චාරණය ප්‍රතික්ෂේප කරන ඔහු මේ වන විට අධිකරණ කටයුතු සඳහා යොමු කර තිබේ. විසඳා ගත යුතු ප්‍රශ්න රැසකි. ඔහු පළා ගියේ කෙසේද? 2007 වසරට පෙර ජීවත් වුණේ කෙසේද? කොහේද? මේ තරම් කාලයක් සැකයට ලක් නොවී සිටියේ කෙසේද? කිසිවෙක් ඔහුට උදව් කළාද?
වින්දිත කාන්තාව විසින් සැකකරුව හඳුනා ගැනීම අත්‍යාවශ්‍යෙයන්ම කළ යුතු දෙයකි. එය ඉතා කම්පන සහගත අවස්ථාවක් වනු ඇත.
අර්ධද්වීපයක් වන ඉතා ලොකු රටක පවා, අවුරුදු 22 ක් නීතියේ ඇසට වැලි ගැසූ සැකකරු ව සොයාගැනීමට නීතිගරුක පොලිස් නිලධාරියෙකුට ගත වූයේ මාස 3 ක් පමණි. නමුත් ලංකාව නමැති වර්ග සැතපුම් හැටපන්දහසක පුංචි දූපතක නිදැල්ලේ සැඟවී සිටින අපරාධකරුවන් අල්ලා ගැනීම කොතරම් අසීරු වී තිබේද? පොලිසිය නීතීඥවරුන් පවා පැමිණිය යුතු තැනක් නොවේ යැයි සිතන, වධහිංසාව සඳහා කුප්‍රකට ලංකාවේ පොලිසියට සරංගි වැනි පොලිස් කොමසාරිස්ලාගෙන් ඉගෙන ගත හැකි පාඩම් අපමණ ය.