×

නීතිය ඉදිරියේ මිනිසෙකු වූ ගඟ – ‘වාන්ගානුයි‘ අද

නීත්‍යානුකූල පුද්ගලයෙකු ලෙස සැලකෙන ලොව ප්‍රථම ගංගාව බවට වැන්ගානුයි ගඟ පත්විය. නවසීලන්තයේ තුන්වන දිගම ගංගාවට දැන් උසාවියේ පෙනී සිටිය හැකි අතර ඒ වෙනුවෙන් කතා කිරීම සඳහා භාරකරුවන් දෙදෙනෙකු ද පත් කර තිබේ.


70 දශකයේ දරුවෙකු ලෙස ජෙරාඩ් ඇල්බට් නවසීලන්තයේ වාන්ගානුයි ගඟ අසබඩ තිබූ මඩ තට්ටු මත සෙල්ලම් කළේය. අසල නගරයේ මළ අපද්‍රව්‍ය ඇතුළු කුණු කන්දල් රැසක් සාගරයට සේන්දු වූයේ මේ මෝය කට හරහා ය.

බාදිය වේලාවට ඔහුට සහ ඔහුගේ මිතුරන්ට ටොයිලට් පේපර්ස් වල දියවූ කැබලි පැහැදිලිව දැකගත හැකි විය. ‘‘ඒ මම ඊයෙ මළපහ කරල පිහදාපු එක..‘‘ යැයි ඔවුහු විහිළුවට කියන්නට පුරුදු වී සිටියෝය.

යටත් විජිත උරුමයක් ලෙස දූෂණයට ලක් වූ ගංගා යුවතිය

1800 ගණන්වල නවසීලන්තයට පැමිණි බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් වැන්ගානුයි ගඟ කාර්මිකරණය කළහ. අපද්‍රව්‍ය මුදා හැරීම සහ ඉඩම් ගොඩ කිරීම නිසා එකතුවන වැලි සහ පස් සමග කලක් යන විට මඩ තට්ටු අතුරුදහන් වන්නට පටන් ගත්තේය. ජෙරාඩ්ගේ මිත්තණියගේ සමයේ තිබූ දණක් එරෙන මඩ තට්ටු වෙනුවට සෙමෙන් බොරළු තලාවක් ඉතිරි විය.

නොතේරෙන කුඩා දරුවන් වශයෙන් ඇල්බට් වැනි අය ගඟ ගැන කරදර නොවුණත් මේ පිරිහෙන ගඟ විසල් ගැටළුවක සේයාවක් විය. ඒ, ගඟ සහ මාඕරි ගෝත්‍රය සමඟ ඇති නෑකම රැකගැනීම සඳහා 1870 දශකය දක්වා දිවෙන සටනකි.

වසර 2017 දී එම සටන අවසන් විය.

Credit: Julia Hollingsworth, CNN

නීත්‍යානුකූල පුද්ගලයෙකු ලෙස සැලකෙන ලොව ප්‍රථම ගංගාව බවට වැන්ගානුයි ගඟ පත්විය. නවසීලන්තයේ තුන්වන දිගම ගංගාවට දැන් උසාවියේ පෙනී සිටිය හැකි අතර ඒ වෙනුවෙන් කතා කිරීම සඳහා භාරකරුවන් දෙදෙනෙකු ද පත් කර තිබේ.

මේ පියවර වෙනත් රටවල් විසින් ද මහත් සේ ප්‍රශංසා කෙරිණි. ආදිවාසී උරුමයන් රැක ගැනීමට ගත් පියවරක් ලෙසට ද මෙය පරිසරවේදීන්ගේ ප්‍රශංසාවට බඳුන් විය.

අධ්‍යාත්මික සුව කරන්නෙක්

අවුරුදු සිය ගණනක් තිස්සේ මාඕරි ගෝත්‍රිකයන් ජීවත් වූයේ වැන්ගානුයි ගඟ අසබඩ පිහිටි ජනාවාසවල ය. ඒ ගඟට ඔවුන් කීවේ “ලොකු වරාය” කියා ය.

කිලෝමීටර් 290 (සැතපුම් 180) ක් දිග ජල මාර්ගය ඔවුන්ගේ ජීවිතවලට කේන්ද්‍රීය විය. ඔවුන් මසුන් ඇල්ලූ හා ජීවත් වූ ස්ථානය එයයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා එහි ජලය භාවිතා කරන ලදී. ඔවුහු ගංගාව මුතුන් මිත්තෙකු ලෙස සැලකූහ – එය “ඔවුන්ගේ ආහාර ප්‍රභවය, ඔවුන්ගේ තනි අධිවේගී මාර්ගය සහ ඔවුන්ගේ අධ්‍යාත්මික උපදේශකයා” විය.

ඉන් අනතුරුව 1800 ගණන් වලදී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදියෝ වැන්ගනුයි ඇතුළු නවසීලන්තය පුරා පදිංචි වීමට පටන් ගත්හ.

එය නොසන්සුන් හා බොහෝ විට ප්‍රචණ්ඩකාරී කාලයකි. දැන් අසාධාරණ ගනුදෙනු ලෙස පෙනෙන දේවලින් විශාල ඉඩම් ප්‍රමාණයක් ඔවුන් විසින් මිල දී ගෙන ඇත – 1840 දී බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක් අක්කර 40,000 ක් (හෙක්ටයාර් 16,200), මැන්හැටන් මෙන් තුන් ගුණයක් තරම් විශාල භූමි ප්‍රමාණයක් මිල දී ගත්තේය – පවුම් 700 ක් වටිනා භාණ්ඩ වෙනුවට, කස්තුරි, කුඩ සහ සංගීත භාණ්ඩ ද මේ මිලදී ගැනීමට ඇතුළත් විය. උත්සන්න වන බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ අධිකාරියට අභියෝග කළ මාඕරි ගෝත්‍රිකයන්ට අයිති සෙසු ඉඩම් ද ප්‍රචණ්ඩකාරී ලෙස රාජසන්තක කරන ලදී.

භූමිය අත්පත් කර ගන්නා විට, ආධුනිකයෝ ගොඩබිම සහ මුහුද සම්බන්ධයෙන් නව නීති පැනවූහ. ඉංග්‍රීසි නීතියට අනුව ගඟ එක් වස්තුවක් ලෙස දැකිය නොහැකි විය. එය නීත්‍යානුකූලව වෙනම කොටස් – ජලය සහ ගංගා ඉවුරු සහ ජලයට ඉහළින් ඇති වායු අවකාශය යනුවෙන් බෙදී තිබූ අතර ඒ සියල්ල වෙන වෙනම විවිධ නීති මගින් පාලනය විය. නිදසුනක් වශයෙන්, ගඟේ යාත්‍රා කළ හැකි කොටස් නීත්‍යානුකූලව වෙන් කළ නොහැකි කොටස්වලින් ද වෙන් කෙරිණි.

1880 දශකයේ දැකගත හැකි වූ මාඕරි ප්‍රජා මධ්‍යස්ථානයක් Photograph taken by the studio of William James Harding.

Māori pa යනුවෙන් හැඳින්වූ කොටු කළ මාඕරි ගම්මානයක්. මෙය පිහිටා තිබුණේ වැනගානුයි ගඟ අසබඩ ය. 1902 වර්ෂය.

“මම ගඟ ය, ගඟ මම ය.”

ආරම්භයේ සිටම එය ගැටලුවක් විය. මාඕරි ගෝත්‍රිකයන්ට නම්, ගංගාව තනි හා වෙන් කළ නොහැකි වස්තුවක් මිස අයිති කර ගත හැකි දෙයක් නොවේ. ගඟේ සම්පත් භාවිතා කළ හැකි වුවද, ප්‍රතිලාභ ලැබීමට අයිතිය ඇත්තේ ප්‍රජාවට දායක වූ පුද්ගලයින්ට පමණි. ප්‍රාදේශීය මාඕරි ගෝත්‍රිකයන්ට මේ ගඟ ගැන හිතෝපදේශයක් පවා තිබුණේ එය සාරාංශ ගත කරමිනි.: “මම ගඟ ය, ගඟ මම ය.”

නමුත් යුරෝපීයයන් – හෝ නවසීලන්තයේදී ඔවුන්ට කියූ පරිදි ‘පකේහාවරුන්‘ – ප්‍රදේශය වැඩි වශයෙන් පාලනය කරන්නට ගත් විට ඔවුන් සිදු කළේ වැඩි වැඩියෙන් ගඟ විනාශ කර දැමීමයි. ඔවුහු වාෂ්ප යන්ත්‍රයක් ක්‍රියාත්මක කර ගඟේ බොරළු රැගෙන මසුන් ඇල්ලීම සඳහා ගංගාවලට මුදා හැරියහ. නව සංවර්ධනයන් සිදුකිරීම සඳහා මාඕරි ජනාවාස ගඟෙන් පසුපසට තල්ලු කරන ලදී.

මාඕරි විශ්වාසය යටතේ, සෑම දෙයකටම මෞරි ගුණයක් තිබේ. mauri යන්නෙන් ඔවුන් අදහස් කළේ ජීව බලය සහ පෞරුෂය යි. ගඟේ ජලයේ ගුණාත්මකභාවය පිරිහී ගිය විට, එසේ වන්නේ ගඟේ මෞරි වලට ගරු නොකෙරෙන නිසා වන අතර, එය ගඟ මත යැපෙන ප්‍රදේශවාසීන්ගේ මෞරි හෙවත් ජීව ගුණයට සෘජුව බලපායි.

ගඟ වෙනුවෙන් පැවරුණේ නවසීලන්තයේ දීර්ඝතම නඩුව යි

වැන්ගානුයි හි පදිංචිකරුවන් සිටින තාක් කල්, දේශීය මාඕරි ගෝත්‍රිකයන් සටන් කළේ ගඟ පිළිබඳ තමන්ගේම මතයක් වෙනුවෙනි.

1870 දී මාඕරි ගෝත්‍රිකයෝ යටත් විජිත රජයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලා සිටියහ. ඊළඟ දශක කිහිපය තුළ නවසීලන්තයේ අගනුවර වන වෙලින්ටන්හි රජයට නොකඩවා පෙත්සම් ඉදිරිපත් කරන ලදී. 1920 සහ 1930 ගණන් වන විට ඇල්බට්ගේ මිත්තණිය සහ ඇගේ සහෝදර සහෝදරියෝ නීතිමය නඩුව සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම ලබා දුන්හ.

‘‘අපේ ජනතාව කිසිම විදිහකින් පෝසත් අය නෙවෙයි.‘‘ ඇල්බට් කියයි. ‘‘නමුත් අයිතිවාසිකම් රැක ගැනීම ඉතාම වැදගත් වුණා..‘‘

වාන්ගානුයි ගඟ – 1872 වසරේදී අතිකාර්මීකරණයට ලක් වී

1910 වසරේදී ගඟ මත දුම් බෝට්ටු සේවයක්

නවසීලන්තය පුරා, මාඕරි ගෝත්‍රිකයන් – හෝ අයිවි ගෝත්‍රිකයෝ නවසීලන්ත රජය සමඟ මේ හා සමාන සටන් වල යෙදී සිටියහ. 1840 දී බොහෝ අයිවි ප්‍රධානීහු බ්‍රිතාන්‍ය රැජින සමඟ ‘වයිටැංගි‘ ගිවිසුම නමින් ගිවිසුමක් අත්සන් කර තිබූ අතර එය ඔවුන්ගේ ඉඩමේ මාඕරි අයිතිය හඳුනාගෙන මාඕරිට බ්‍රිතාන්‍ය යටත්වැසියන්ගේ ආරක්ෂාව ලබා දුන්නේය. බොහෝ අය සිතුවේ බ්‍රිතාන්‍ය කිරීටය නොහොත් මහ රැජින ඇගේ කේවල් කිරීමේ අවසානය තහවුරු කර නොමැති බවයි.

1975 දී රජය විසින් අයිවි දුක්ගැනවිලි විභාග කිරීම සඳහා ‘වේටැංගි විනිශ්චය සභාව‘ පිහිටුවන ලද අතර, වසර 10 කට පසුව, එය 1840 දක්වා දිවෙන දුක්ගැනවිලි වලට ඉඩ දුන්නේය.

1990 ගණන්වල වේටැන්ගි විනිශ්චය සභාව වන්ගානුයි වෙත පැමිණෙන විට, එහි ජනතාව දැනටමත් අවුරුදු 100 කට වැඩි කාලයක් තිස්සේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටියහ. වසර ගණනාවක දියුණුව නිසා ඔවුන්ගේ ගංගාව ඊටත් වඩා නරක අතට හැරී ඇත: මාළු ක්ෂය වී ඇත – සමහර විශේෂයන් මුළුමනින්ම නැති වී ගොස් ඇත – ගඟ තවදුරටත් ප්‍රධාන ආහාර ප්‍රභවය නොවීය. ගංගා ගොවිපළ වලින් අපජලය බැහැර කිරීම හා පිටවීම නිසා ජලය දූෂණය වී තිබූ අතර දේශීය මාඕරි ගෝත්‍රිකයන්ට දිගින් දිගටම සිය උරුමය අහිමි වෙමින් පැවතුණේය.

“අපේ මිනිස්සු තෙහෙට්ටු වුණා. ඔවුන්ට දිගින් දිගටම මේ වෙනුවෙන් ප්‍රතිඵලයක් නැතිව සටන් කිරීම ලැජ්ජාවක් ඇති කළා.‘‘
කෙසේවෙතත්, ඇල්බට්ගේ මිත්තණිය ඇතුළු සෑම වයස් කාණ්ඩයකම අයවැන්ගනුයි හි විනිශ්චය සභාවේදී කතා කළහ. කියූ සෑම දෙයක්ම නිල වාර්තාවල සටහන් වී නැත – සමහර සාක්ෂිකරුවන් ඉංග්‍රීසි කතා නොකළ අතර පටිගත කිරීමේ හෝ පරිවර්තන සේවා ඒ කාලයේ අංග සම්පූර්ණ ලෙස නොපැවති බව ද ඇල්බට් පැවසීය.

බොහෝ දෙනෙක් ගඟේ වැදගත්කම ගැන කතා කළහ.

“මට ඒ ගැන විකල්පයක් තිබුණේ නැහැ. මට එය තෝරා ගැනීමට අයිතියක් නැහැ. ගඟට අයත් වීම මගේ ජීවන මාර්ගයයි”

– මාටියු මාරිකුරා වේටැන්ගි විනිශ්චය සභාව ඉදිරියේදී.

1995 දී මාඕරි ගෝත්‍රිකයන් වැන්ගානුයි වෙනුවෙන් උද්‍යානයක වාඩි වී දින 79 කට පසු එම විරෝධතාවය සාමකාමීව අවසන් වූ විට කළකිරීම මැනවින් ප්‍රදර්ශනය විය. වාඩි වී සිටියදී විරෝධතාකරුවන් විසින් වැන්ගානුයි හි පදිංචිව සිටි අයර්ලන්ත ජාතික දේශපාලනඥ ජෝන් බැලන්ස්ගේ පිළිරුවක හිස ගසා දමා, නොවිසඳුණු භෞමික ගැටලුව සම්බන්ධයෙන් කෝපය ප්‍රකාශ කළහ. අදටත් එම පිළිමය අතුරුදහන් වී ඇත – නගරයේ මූටෝවා උද්‍යානයේ ඉතිරිව ඇත්තේ ඔහුගේ නම සහිත කණුවක් පමණි.

1999 දී විනිශ්චය සභාව නිගමනය කළේ වන්ගානුයි මාඕරි ගෝත්‍රිකයන්ට නිධානයක් හෝ ‘ටොංගා‘ එකක් බවයි. නමුත් නවසීලන්තයේ දීර්ඝම නඩු විභාගය පිළිබඳ සාකච්ඡා ඇණ හිට ඇති අතර, වැන්ගානුයි ගඟ සම්බන්ධයෙන් මාඕරි ගෝත්‍රිකයන්ට තවමත් නීතිමය වශයෙන් අයිතිවාසිකමක් ලැබී තිබුණේ නැත.

සුද්දාගේ නීති එපා කියයි

2008 වසර වන විට ඇල්බට්ගේ මාමා තීරණය කළේ ‘පකේහා නීති‘ හෙවත් යටත්විජිතවාදී නීති මේ ගැටළුව විසඳන්නට අවශ්‍ය නැති බවයි. ඒ අනුව ජනාවාසකරණය අලුත් මට්ටමකින් ඇරඹුණේය. ඒ, ඔවුන්ගේම නීති රාමුවක් තුළ ය. එය මාඕරි ගෝත්‍රිකයන්ට මේ ගඟ කුමක් අරුත් ගන්වන්නේ ද යන්න පිළිබඳ සැබෑ කැඩපතක් විය.

ඔවුන්ගේ කල් බැලීම යහපත් විය. 2008 වසරේදී නවසීලන්තයේ මධ්‍ය-දක්ෂිණාංශික ජාතික පක්ෂය මැතිවරණයකින් ජය ලබාගත්තේය. ඒ අනුව ගිවිසුම් සබදතා සඳහා අමාත්‍ය ලෙස අලුත පත් වූ ක්‍රිස් ෆිනාලිසන්, බලයේ සිටි රජය වසර 9 ක් තිස්සේ අසමත් වූ දෙයක් කරන්නට සිතුවේය.

මාඕරි නායකයන් 1840 පෙබරවාරි 6 වැනිදා ඓතිහාසික වේටින්ගායි ගිවිසුම අත්සන් කරමින්. Photo by Historia/Shutterstock.

නීතීඥයෙකු වූ ෆින්ලේසන් ගංගාව සම්බන්ධයෙන් අලුත් නෛතික අර්ථ නිරූපණයක් ගෙන ඒම මේ සියල්ලට පහසු විසඳුමක් බව කල්පනා කළේය. ‘‘නෛතික පුද්ගලභාවය‘‘ සංකල්පය ගැන ඔහු දැන සිටියේය. එයින් අදහස් වන්නේ නීතිය ඉදිරියේ පුද්ගලයෙකු වශයෙන් සැලකිය හැකි වීමයි. ‘‘මේ නීතියේ කිසිවක් විශේෂිතව රැඩිකල් හෝ පෙර නොවූ විරූ දෙයක් නෙවෙයි. ඉඩම පිළිබඳ යුරෝකේන්ද්‍රීය චින්තන ධාරාව අමුතුයි, අසාමාන්‍යයි‘‘ ඔහු කීවේය.

‘‘වඩාත්ම විකාරසහගත දේ වන්නේ කුමක්ද? ගඟක් මුහුදට යාවෙන තැන දක්වාම එය තනි ඒකලිත වස්තුවක් සේ සැලකීමයි. ඒ කියන්නේ අපි ගඟ බෙදන්නට යනවාද?“ ඔහු ප්‍රශ්න කළේය.

2017 වසරේදී නීත්‍යානුකූලව පුද්ගලයෙක් බවට ලොව ප්‍රථම ගංගාව – වැන්ගානුයි ගඟ පත්වෙන විට, එය යතාර්ථයක් බවට පත් කිරීම සඳහා සටන් කළ බොහෝ මිනිසුන් ජීවතුන් අතර සිටියේ නැත.

එවැනි එක් ප්‍රධාන නායකයෙකු වන ටයිටි තිහු 1988 දී මිය යන විට වයස අවුරුදු 100 ක් පමණ විය – ඔහුගේ පරම්පරාවේ බොහෝ මාඕරි ගෝත්‍රිකයන්ට මෙන් ඔහුට ද උප්පැන්න සහතිකයක් නොතිබුණි. ඔහු මිය යන විට වසර 50 ක් තිස්සේ ගඟ වෙනුවෙන් අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු වලට සම්බන්ධ වී සිටියේය.

ඇල්බට්ගේ මාමා වන ආචී ටයාරෝවා 2010 දී මිය ගියේය. ශ්‍රීමත් ආචී, මාඕරි ගෝත්‍රිකයන් වෙනුවෙන් කළ සේවාව සඳහා වසරකට පෙර නයිට් පදවියක් භාර ගෙන තිබිණි.

ගඟ වෙනුවන් සටන් කළ බොහෝ මිනිසුන් එහි ප්‍රතිඵලය දැකීමට ජීවත් වූයේ නැත. නමුත් ඔවුන් සටන් කර ඇත්තේ අනාගත පරම්පරාවන් වෙනුවෙනි. ඒ සටන අද ජයගෙන ඇත.

2017 නීතිය යටතේ, තේ ආවා ටුපුවා ” නොහොත් වෙන්ගානුයි ගඟ කඳුකරයේ සිට මුහුද දක්වා වූ, එහි සියලු භෞතික හා පාරභෞතික අංගයන්ගෙන් සමන්විත වන, වෙන් කළ නොහැකි හා ජීවත්වන සමස්තයක්” ලෙස පිළිගැනීමට ලක්විය. ගඟ වෙනුවෙන් කතා කිරීම සඳහා ප්‍රාදේශීය මාඕරි ගෝත්‍රිකයන් විසින් භාරකරුවන් දෙදෙනෙකු පත් කරන ලදී.

‘‘නෛතික පුද්ගලයෙකු‘‘ (legal person) බවට  පත්වූ පසුව ගඟ අද

වැන්ගානුයි ගඟ නීතිමය පුද්ගලභාවය ලබාගෙන වසර 3කට පසුව අද ද ඇල්බට් වෙත එන විද්‍යුත් ලිපි ගණන අති විශාල ය. ඔහු දැන් ප්‍රාදේශීය මාඕරි ගෝත්‍රිකයන්ගේ පසු ජනාවාස පාලන ආයතනය වන එන්ගා ටන්ගාටා ටියාකි ඕ වැන්ගනුයිගේ සභාපතිවරයා ය.

ඉන්දියාවේ මහා ගංගා දෙකකුත් වැන්ගානුයි අඩි පාරේ යයි

2017 මාර්තු 27 වැනිදා, ඉන්දියාව ගඟකට නෛතික පුද්ගලභාවය ලබාදුන් ලෝකයේ දෙවැනි රට බවට පත් විය. සැබවින්ම ගංගා දෙකක්.. එකක් නම් මිනිස් සහ සත්ව අපද්‍රව්‍ය වලින් නිරන්තර දූෂණයකට ලක් වෙමින් තිබූ යමුනා ගංගාවයි. අනෙක නම් ගැංගීස් හෙවත් ‘ගංගා‘ නදියයි. මේ ගංගා යමුනා නදී ‘ජීවමාන පුද්ගලයන්‘ “living entities” බව ද ඉන්දීය අධිකරණ ප්‍රකාශයට පත් කළේය.

බංග්ලාදේශය සියලු ගංගාවන්ට නීතිමය හිමිකම් ලබාදෙයි

මේ අතර 2020 වසරේදී බංග්ලාදේශය රටේ සියලු ගංගාවන්ට නීතිමය පුද්ගලභාවය ලබාදෙමින් ඔවුන්ට නෛතික අයිතිවාසිකම් පුද කළේය. බංග්ලාදේශයේ පාරිසරික අයිතිවාසිකම් ක්‍රියාකාරීහු සිය සම්මන්ත්‍රණවලදී කථා පැවැත්වීම සඳහා ඇල්බට්ව ද කැඳවූහ. මේ අතර පරිසර ක්‍රියාකාරිකයන්ට අවශ්‍ය වී තිබෙන්නේ ගඟට එය දූෂණය කරන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරිය හැකි ද යන්න සනාථ කර ගන්නට ය.

නමුත් ඒ ගැන ඇල්බට් දරන්නේ වෙනස් මතයකි. ‘‘අපි අවුරුදු 150 ක් සටන් කරලා නෛතික පුද්ගලභාවය හරහා ගංගාව රැක ගත්තා. ගඟකට නෛතික පුද්ගලභාවය ලැබීම කියන්නේ ‘පරමාදර්ශයන් විතැන් වීමක් (paradigm shift). අපි ගංගා දූෂණය නිසා දඬුවම් වින්දා. අපි නැවත වරක් දඬුවම් වෙතට යා යුතුද?‘‘ ඔහු අසන්නේය.

නමුත් ගංගා දූෂකයන් මේ නිසා දෙවරක් සිතා නතර වන බව ද ඔහු පෙන්වා දෙන්නේය. වැන්ගානුයි ගංගාව වෙත නෛතික පුද්ගලභාවය ලබාදීම, මාඕරි ආදිවාසීන්ගේ වටිනාකම්වලට ලබාදුන් නීතිමය පිළිගැනීමක් ද වේ.

‘‘මෙය සමාජ සම්මුතියක්.. දේශපාලන සම්මුතියක්.. ඒ වගේම නෛතික නිමැවුමක්..‘‘ යැයි ඔහු වැඩිදුරටත් පවසයි.

Credit: Julia Hollingsworth, CNN

 

( CNN ඇසුරෙනි)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි