BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ප්‍රථම පෙම

අපේ ආත්මය මත ලකුණක් ඉතිරි නොකර කිසිදු මිතුරු දමකට හෝ ප්‍රේමයක ට දෛවයේ මග හරස් කළ නොහැක. -ප්‍රංශුවා මව්රියැක්

හිරු එළිය විසින් ඇගේ කියඹුවැල් සිපගත් අයුරු මට මතක තිබේ. ඈ හිස හැරවූවාය. එවිට මම ඇගේ වුවනත දුටිමි. ඈ තවත් මදක් හිස හැරවුවා ය. එවිට අපේ නෙත් මුණ ගැසිණි. අපි එකිනෙකා දෙස මොහොතක් බලා සිටියෙමු. අප සිටි පන්ති කාමරය කර්කශ බව මට හැඟිණි. සුන්දරත්වය ඇයගේ ය. සුන්දර ම දෙය ඇය ය.

ඒ මොහොතේ ප්‍රථම ප්‍රේමයේ ඇඩ්ලිනරීන් ධාරාව මගේ නහර වැල් විනිවිද යමින් ගලා යන්නට පටන් ගත්තේ ය. එය මියෙන තුරු ම නොමියෙන අහිංසක වේදනාවකි.

ඇගේ නම රේෂල් විය. දැන් අනුරාගයකින් තොරව සිහිපත් කළ හැකි අපේ කථාන්දරය මේ කාලයේ හැටියට අවලංගු එකකැයි ද මට සැක සිතෙයි. ඒත් ඒ ගැන කවුරු දනිත් ද?

සිදුවූ සියලු දේ සලකා බලන විට අහිංසක කම යනු අමනෝඥ කමකැයි ද සිතිය හැකිය. එය කුමක් වුණත් පාසල් සමයේ මේරූ පේ්්‍රමය සමග මම උසස් පාසලට ඇතුළත් වීමි. ඇගේ අල්ප දසුනක් හෝ පැතුවෙමි. සන්ධ්‍යාවේ සෙවණැලි තුළ සැඟවී මලානික ශීත සෘතු ආලෝකයේ නැහැවෙමින් ඇගේ ජනෙල් පියනේ වැදුණු අවාසනාවන්ත ගිම්හාන කෘමියෙකු වීමි. ඒ සිහිමුළා වූ ක්ලාන්ත ගතිය විරාගික වූ නමුත් හදිසිකාර හා ඇබ්බැහිවනසුලු විය. දැන්, එළිනොවන සිහිනයක් සේ දිස්වන ඒ ආලය ගැන කීමේදී මගේ කටහඬ අද ද බිඳී යයි. එය මට දුකක් බව දැනුණු මුත් ඒ දුකින් මිදීමේ උවමනාවක් මා වෙත කිසිසේත් ම නොවීය. එය විඳවිය යුතු ම ආලයකි.

තුරු පෙළින් සුසැදි ප්‍රවේශ මග දිගේ යන අතර හෝ පාසලේ සිට එන අතර මට ඇගේ දසුන නෙත ගැටේ. එවිට මම අප්‍රාණික වෙමි. ඈ ඒ සෑම විටෙක ම තැන්පත් ව සිටියාය. යටත් පිරිසෙයින් එසේ පෙන්වූවාය. මද වශයෙන් පුදුම වූ බවක් ද ඇගේ වුවනතෙහි විය. නිවසේ දී තනි වූ විට මට තවත් මානසික ප්‍රහාරයක ට ලක්වීමට සිදුවිය. මගේ කතෝලික චකිතය සහ ඇගේ සධාර්මික යුදෙව් ශික්ෂණය අනුව ඈ ව සිතින් සිප ගැනීම පවා සිහිනයක් ම පමණක් යැයි මට සිතිණි. වයසින් වැඩී නව යොවුන් විය හා තරුණ විය ට පිළිපන් පසුව ද මේ චකිතය එසේම විය. මට මා අන් කවරදාටත් වඩා අප්‍රිය වන්නට විය.

නමුත් රේෂල් පිළිබඳ මසිතෙහි වූ ආලය මරා දමන්නට මේ කිසිදු සිතිවිල්ලක ට හැකි නොවීය. උසස් පාසලෙන් පසු ඇය වෛද්‍ය පීඨය ට ඇතුළත් වූවාය. මම හමුදාව ට බැඳුණෙමි. දෙවන ලෝක යුද්ධය ඇරඹී තිබූ අතර ජපනුන් විසින් පර්ල් වරාය ට බෝම්බ හෙළීමෙන් පසු පළමු ක්‍රියාන්විත භට ඛන්ඩය සමග මම එතෙර ගියෙමි. පසුව වර්ෂ ගණන් බව ට පත්වූ මේ වේදනාබර දින හා මාසයන් හිදී අපි එකිනෙකා සමග පෙම් හසුන් හුවමාරු කර ගතිමු. එකල ජීවිතයේ එක ම සැනසිල්ල එය විය.

වරක් ඇය මට ඇගේ අලුත් ම ඡායාරූපයක් එවා තිබිණි. එහි වූයේ පිහිනුම් ඇඳුමකින් සැරසී සිටි මගේ මායාවී දෙව්දුවගේ රුවයි. මම ෆැන්ටසියන්ගේ ගිලුණෙමි. අපේ විවාහයේ මධු සමය ගැන සිහින මැව්වෙමි. ඊළඟ ලිපියෙන්ම අපේ විවාහය පිළිබඳ අසා යැව්වෙමි. නමුත් ඒ හා ම ඇගේ පිළිතුරු ලිපිවල පෞද්ගලික භාවය වේගයෙන් අඩුවී ඒවා සාමාන්‍ය ලිපි බව ට පත්විය.

යුද්ධයේ අවසන් සමයේදී නැවතත් ඇමරිකා එක්සත් ජනපදය වෙත මා එවනු ලැබීය. සිය රට පැමිණි පසු මා කළ ප්‍රථම දෙය, රැෂෙල් ව හමුවීම ට යාමයි. මේ වන විට ඇගෙන් මට ලිපි ලැබීම බෙහෙවින් අක්‍රමවත් ව තිබුණෙන් මා එය කළ යුතු ම විය. නමුත් රැෂෙල් වෙනුවට දොරකඩ පෙනී සිටියේ ඇගේ මව ය. මගේ රේෂල් තවදුරටත් එනිවසෙහි නොවූවාය. විශ්ව විද්‍යාලයේදී හමුවූ වෛද්‍ය සිසුවා සමග ඇය විවාහ වී සිටියාය. “මම හිතුවෙ පුතා ට හැම දේම කියල ලියුමක් යවල ඇති කියලයි..” රේෂල් ගේ මව කාරුණික හඬින් කීවාය.

අවසානයේ ඇගේ “දයාබර ජෝන්’ ලිපිය මට ලැබුණේ මා යුධ සේවයෙන් ඉවත්වීම ට සූදානමින් සිටි අවසන් දින කිහිපයේදී ය. ඇය මහත්මා ලීලාවෙන් සහ සානුකම්පිත ලෙස මාගෙන් සමාව අයැද සිටියාය. ප්‍රයෝගික ව ප්‍රශ්න රැසක ට අත වනන අපේ විවාහය නොකළයුත්තක් යැයි ඒක පාර්ශවික ව තීරණය කිරීම ගැනද සමාව අයැද සිටියාය. ජීවිතය දෙස ආපසු හැරී බලන විට මා සිතන්නේ ඇය කළ පරිදි ම මාගේ සිත් ගත් වෙනත් තරුණියක හා විවාහ වී මා ද ඉක්මනින් ජීවිතය වෙත පියැනැගූ බවයි.

නමුත් මෑතකදී මට අනපේක්ෂිත ලෙස ඇය ව මුණ ගැසිණි. හතළිස් වසරකට පසු… ඇගේ සැමියා මියගොස් සිටි අතර අප දෙදෙනාගේ ම සුහද මිතුරෙකු ලවා ඈ මා ගැන තොරතුරු සොයාබලා තිබිණි. කැලිෆෝනියාවේ වසන දියණියක හා ජීවත්වීම ට යමින් සිටියදී ඈ මා අබියස පෙනී සිටියාය. මට ඈ දැකීමෙන් අරුම පුදුම කුතුහලයක් මෙන්ම තිගැස්මක් ද ඇති විය. ඇගේ දසුන මට සැබවින් ම කම්පනයක් විය. මේ සුදු කෙස් ඇති වියපත් ගැහැනිය මගේ සිහිනයේ කුමාරිකාව වූ බව මා කෙසේ අදහම් ද..? ඒ ඡායාරූපයේ සිටි සුන්දර කිඳුරිය ද මේ…?

අපි එකිනෙකා වෙත ගෞරවය පාමින් සුහද මිතුරන් සේ කතා බස් කළෙමු. අපි දෙදෙනාට ම මුනුබුරු මිනිබිරියන් සිටින බැව් කතා බහේදී හෙළිවිය. හිටිවන ම ඈ සිය අත්බෑගය තුළින් කුඩා කොළ කැබැල්ලක් පිටතට ගත්තාය. “ඔයාට මේක මතකද?” යැයි ඇසුවාය. එය මා ඇය ට පාසල් වියේදී ලියූ කවි දෙපදයකි. ඒ දෙස බලාගත් වනම සිටියදී ඇය සීරුවෙන් එය අත්බෑගය තුළ රුවාගත්තේ හරියට මා එය ඉරා දැමිය හැකි යැයි අවදානමක් හැඟී ගිය කලෙක මෙනි. යුද්ධ කාලය පුරාම මා ළඟ සුරැකිව තිබූ ඇගේ දිය කිඳුරු ඡායාරූපය ගැන මම එවිට කීවෙමි.

“ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.. එහෙම නේද..?” ඇය ඇසුවා ය. “ඔව්.. ඔයාගෙ යුදෙව් වැරැද්දයි, මගෙ අයිරිෂ් හෘදසාක්ෂියයි එක්ක කිසි දෙයක් කරගන්න බැරිවුණා..”යැයි ගණනකට නොගෙන කී මම මහ හඬින් සිනාසුණෙමි. ඇය ද සිනාසුණාය. අප ට සැහැල්ලුවක් දැනිණි.
මා ඇය ව ටැක්සියක් වෙත ඇරලීමට පෙර ඇය මා වෙත නැඹුරු ව මෙසේ කීවාය. “මට ඔයා ට මේක කියන්නම ඕනෙ. එදා වගේ ම අදත් මට එක වගේ ආදරය කළා ට ඔයාට ගොඩක් ස්තූතියි” ඇය මා සිපගත්තාය. ඉන්පසු යන්නට ගියාය.

මම සෙන්ට්‍රල් පාක් හි දැවමුවා බංකුවක් මත පාෂාණිභූත වී වාඩි වී සිටියෙමි. ඇගේ හාද්ද ලද මගේ දෙතොල පිළිස්සෙමින් තිබේ. අලු පැහැති හිස කේ ඇති මහල්ලා වටා හිරු රැස් වැදුණු ගහ කොළ භ්‍රමණය වෙයි. මට ක්ලාන්ත ගතියක් දැනෙයි. මම මා නොවන යම්කිසි අයෙකු බවට පත්වෙමින් හිඳිමි.

මගේ ප්‍රේමය අවසානයේ සම්පූර්ණ විණිද? මට ප්‍රීතියෙන් ගයා නටන්නට සිතෙයි. නමුත් ඉක්මනින් ම මම යථා තත්වයට පත්වීමි. මොහොතකට පසුව “සුපුරුදු මම” නැවතත් නිවස වෙත පිය නගමින් සිටියෙමි.

-ජෝන් වෝලටර්ස්ගේ අත්දැකීමකි

 

Cover Photo: Deposit Photos


රිදවීම් මිහිදන් කරන්න !

ආදරණීය ඉටිපන්දම්

අම්මෙ මම දන්නවා…

මගේ පුතුගේ ජීවමාන දායාදය

දම් පාට සුරංගනාවිය

තම පෙම්වතිය සොයා රටවල් අටක් ඔස්සේ ස්වීඩනයට පා පැදියෙන් ගිය කුලහීන පෙම්වතා

ප්‍රේමය සියල්ල ය.

පමා වී ආ පවන

error: Content is protected !!
error: Content is protected !!