×

ප්‍රේක්ෂක හුස්ම පොද දුක හා නොසතුට අතර මැදි කරමින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් වෙයි!

අවුරුදු 9ක්! පරිච්ඡේද 8ක්!! දෑසට කඳුලු එක් කරමින් මැයි මස 19 වන දින ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීරීස් ෆිනාලය එළිදැක්විණි.


ලොව පුරා බිලියන ගණනක ප්‍රේක්ෂක ප්‍රසාදය දිනා ගත් සුප්‍රකට “ගේම් ඔෆ් ත්‍රෝන්ස්” කතා මාලාවේ අවසාන එපිසෝඩය මැයි 19 වන දින විකාශනය විය. ලොව පුරා ප්‍රේක්ෂක හුස්ම පොද දුක සහ නොසතුට අතර සිර කරමින් වසර 10කට ආසන්න කාලයක් පුරා තිර ගත වූ කිරුළු සංග්‍රාමය අවසන් වන්නේ කිසිවකුත් නොසිතූ නොපැතූ අවසානයකිනි.

සිදුවූයේ කුමක්ද? මකරුන්, ඉන්ද්‍රජාලිකයන්, විශ්මකර්ම මවා පාන මිනිසුන්, දෙවිවරුන්, වනචාරීන්, මිනිසුන් නොවන මිනිසුන්.. විසූ පොළොවක සප්ත රාජ්‍යයකටම කිරුළ හිමි කර ගැනීමට මනුසත් බව පසෙක තබා ඕනෑම පහත් අන්දමේ වැඩක් කළ හැකි දේශපාලනයක් රූප ගත කළ, යුධ භට සේනා ලේ වැගිරුණ සංග්‍රාම වල නිරත වන දසුන් ඇතුලත් වූ, මානව ලිංගිකත්වයේ විවිධත්වය මොනවට පෙන්වූ ගේම් ඔෆ් ත්‍රෝන්ස්, නවීන ලෝකය තුළ බල පැවැත්වෙන ජඩ දේශපාලනය, බලලෝභය, ධනලෝබය, පන්ති පරතරය, ඒකාධිපතිත්වය, පුරුෂාධිපත්‍යය, ලිංගිකත්වවාදය පිළිබඳ පාඩම් කියා දුන්නේ සංත්‍රාසය, හාස්‍යය හා ව්‍යංගය මුසුකරමිනි. සීරීස් ෆිනාලය දුටු ලොව පුරා ප්‍රේක්ෂකයන් පැවසූ එක් කරුණක් විය, එනම් කතාමාලාවේ අවසානය දුක්මුසු බවත්, ඒ පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බවත් ය. විටක අත්සන් ලක්ෂ ගණනක පෙත්සමක් දියත් කර තිබුණේද 8 වන පරිච්ඡේදය නැවත සංස්කරණය කොට විකාශනය කරන ලෙසයි.

එහෙත්.. ලොව පතළ බිලියන ගණනක් වූ ප්‍රේක්ෂකයන් තේරුම් ගත යුතු කරුණක් ඇත. එනම්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියා දුන්නේ මහපොළව හිමි මනුසත්බව අගයන මිනිසුන්ට මිස ඒකාධිපතියන් හට නොවන බවය. එවන් සන්දර්භයක බිලියන ගණනක් බලාපොරොත්තු වූ ප්‍රේක්ෂක සුරතාන්තය ළඟා කර නොදුන්නේ යැයි මැසිවිලි නැඟීම තුළ ගම්‍ය වන්නේ කතාමාලාවේ හරය ඔබ තවමත් තේරුම් ගෙන නොමැති බවය.

ජේ.ආර්.ආර්. මාර්ටින් නම් නූතන ලෝකයේ රචකයා විසින් රචිත “අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆයර්” නම් කෘතිමාලාව ඇසුරෙන් නිර්මාණය වූ ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපවාහිනී කතා මාලාව ඩේවිඩ් බීනියොෆ් හා ඩී.බී. වයිස් වෙතින් පළමු වරට 2011 අප්‍රේල් 17 වන දින ඉදිරිපත් කරන ලද්දේ ඇමරිකාවේ එච්.බී.ඕ රූපවාහිනී නාලිකාව ඔස්සේය. ඒ සිට 2019 මැයි 20 වන දින දක්වා අඛණ්ඩ ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් පරිච්ඡේද 8කින් සමන්විත කතාමාලාවක් ලෙස විකාශනය කෙරිණි.

මෙම කෙටි ලිපිය තුළින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසාන එපිසෝඩය මෙතෙක් නොරුඹූ වන්ට හෝ සමස්ත කතාමාලාව පිළිබඳ අවබෝධයක් නොමැති වූවන් හට ‘ස්පොයිලර්ස්’ නිකුත් කිරීමට බලපොරොත්තු නොවන්නෙමු. එහෙත් මෙම කතා මාලාව මුළු මහත් ලොවක් තුළ ආන්දෝලනයක් ඇතිකළ, ලොව පුරා රාජ්‍ය නායකයන්ගේ අවදානයට පවා යොමු වූ කතා මාලාවක් බව පැවසිය යුතුය. වසර 10 ක කාලයක් පුරා මෙම කතා මාලාව සමඟ උස් මහත් වූ නව යෞවන පරම්පාරවක් වෙනමම මෙලොව වසයි. වැඩිහිටියකුට එය ඇතැම් විට විහිළුවක් මෙන් වූවද, ඔවුනට මෙම කතා මාලාවේ පැමිණෙන ඇතැම් චරිත වන ජෝන් ස්නෝ, මකර මාතාව ඩැනේරියස් ටාගේරියන්, ආර්යා ස්ටාර්ක්, සන්සා ස්ටාර්ක්, ටිරියන් ලැනිස්ටර්, ටාර්ත් රාජ්‍යයේ බ්‍රියෙන් යනු සැබෑ වීරයන් ය. මෙම තරුණ පරපුර එක් වතාවට දහස් වතාවක් සමස්ත ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෙගසියම ඔබ ඉදිරියේ බයිබලයක් මෙන් ගෙන හැර පානු නොඅනුමානය. සැබෑ මිනිසෙකුගේ කතාව, ලස්සන වසිලීස්සා, පෙරළු නැවුම් පස හෝ නොදත් ඒ නව පරම්පරාව තම ජීවිතයේ වීරයා කවුරුන් දැයි විමසුවහොත් නිසැකවම පවසන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් චරිතයක් විය හැකිය.    

මෙම කතාමාලාව මෙතෙක් නරඹා නොමැති නම් එය නැරඹිය යුතුම කතාමාලාවක් බව පැවසීමට අපි කැමැත්තෙමු. මන්ද එය හුදෙක් ෆැන්ටසිකරණය වූ ලොවක් තුළ මකරුන්, ඉන්ද්‍රජාලිකයන් පියෑඹීම අභිබවා ගිය දාර්ශනික පැතිකඩක් හොවා පාන කතාමාලාවක් වන බැවිනි. ඒ තුළ ජීවිතයේ අඳුරු පැතිකඩ, අභියෝග ජය ගැනීම, මනුෂ්‍යත්වය හා පොළවේ පය ගසා ජීවත් වීමේ වැදගත්කම ලොවට කියා පායි.   

වලාර් මෝර්ගුලිස්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි