ෆ්‍රෙඞ්රික් ඩග්ලස් හට දරුවන් පස් දෙනෙක් විය. සියල්ලන් ම ඔහුගේ පළමු විවායෙන් ලද දරුවන් ය. ඔවුන් නම් රොසෙටා, ලුවිස්, කණිෂ්ට ෆ්‍රෙඞ්රික් ඩග්ලස් සහ ඇනී ය. සෙඩාර් හිල් හෙවත් දේවදාර කඳුමුදුනේ ජීවත්වූ කාලයේදී පවුල ෆ්‍රෙඞ්රික් ඩග්ලස්ගේ ජීවිතයේ විශාල කොටසක් බවට පත් ව තිබිණි.
1890 දශකය වන විට ජීවතුන් අතර සිටි දරුවන් සිව්දෙනා (පස්වැන්නා අකාලයේ මියගිය දියණියයි) ද සමග ඔහු වොෂින්ටනයේ පදිංචියට ගියේය. ඔවුන් විසින් ඩග්ලස් හට මුනුබුරු මිනිබිරියන් විසි එක්දෙනෙක් ලබාදුන්නේ දේවදාර කඳුමුදුනේ වූ මන්දිරය ඝෝෂාවෙන් හා සෙල්ලම්වලින් පුරවා දමමිනි. ලෝකයේ ප්‍රකට වයලීන් වාදකයෙකු වූ මුනුබුරු ජෝසප් සමග ෆ්‍රෙඞ්රික් ඩග්ලස් මෙහි කල් ගත කරන ආකාරය දැකිය හැකි විය.
මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බ්‍රිස්ටල් හි නිව් බෙඞ්ෆෝඞ් හිදී ලුවිස් හෙන්රි ඩග්ලස් උපන්නේය. 1870 දශකයේ මුල් භාගයේදී ෆ්‍රෙඞ්රික් සිය පුතුන් දෙදෙනෙකු සමග ‘නිව් නැෂනල් ඊරා’ නමැති පුවත්පතක් ආරම්භ කළ අතර ඒ එක් පුතෙකු වූයේ ලුවිස් හෙන්රි ඩග්ලස් ය. චාල්ස් හා ලුවිස් යන මේ පුතුන් දෙදෙනාම පුහුණුව ලත් මුද්‍රණකරුවෝ වූහ. 1866 දී යුද්ධයෙන් පසුව මේ දෙදෙනාම කොලොම්බියාව බලා යවන ලද්දේ දේශසීමාවේ රැකියා සොයාගැනීමේ අරමුණිනි. නමුත් කාලයේ වෙනසක් නැතිව, මුදල් හිඟකම සහ අවස්ථාවන් මද කම විසින් ඔවුහු නැවතත් හිස් අතින් ගෙදර ආහ. නිව් ඊරා පුවත්පත පැවතියේ වසර තුනක් පමණි. ලාභයක් පෙන්වීමට අපොහොසත් වීම මේ සඳහා ප්‍රධානතම හේතුව විය. කළු ජාතිකයන් අල්පයක් පමණක් එහි දායකත්වය ලද අතර සුදු ජාතිකයන්ට එහි දායකත්වය ලැබීමට කිසිදු උවමනාවක් නොවීය.
ලුවිස් හෙන්රි ඩග්ලස්, ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ගේ වැඩිමහල් ම සහ වඩාත්ම විශ්වාසනීය පුත්‍රයා විය. ලුවිස් සිට රට වෙනුවෙන් සටන් කළේය. ඔහු පත්තරකාරයෙකු ද විය. වෙහෙස වී වැඩකරන්නෙකු ද විය. එසේම කොළොම්බියා දිස්ත්‍රික්කයේ ව්‍යවස්ථාදායක කවුන්සිලයේ සාමාජිකයෙකු ද විය. වොෂින්ටනයේ ජීවත් වූ සමයේදී ඔහු සිය පියා සමග සමීප ව කටයුතු කළේය. ඔහු 1862 දී අමෙලියා ලූගන් සමග විවාහ විය. ඔවුන් ට දරුවන් නැත. ඔහු ඉපදුණේද මිය ගියේද එකම මාසයේ එකම දිනයේදී ය
චාල්ස් රේමන්ඞ් ඩග්ලස්, ෆ්‍රෙඞ්රික් ඩග්ලස්ගේ ප්‍රියතම දරුවන්ගෙන් අයෙක් විය. එසේම ඔහු අනෙක් පුතු වූ ලුවිස් හෙන්රි ඩග්ලස් මෙන්ම පුහුණු මුද්‍රණකරුවෙක් ද විය. මේ දෙපුතුන් ම කාලතුවක්කු බලඇණියේ සේවය කළ අතර චාල්ස් එයට අමතරව සිවිල් යුධ සමයේ දී අශ්වාරෝහක හමුදාවේද සේවය කළේය. චාල්ස් රේමන්ඞ් ඩග්ලස් ද සිය දරුවන් වියෝවීමේ වේදනාව අත්දුටුවේය. ඔහුගේ වැඩිමහල් දරු දෙදෙනා වූ චාල්ස් එෆ්. සහ ජුලියා ඒ. ඩග්ලස් ටයිෆොයිඞ් උණ වැළඳීම නිසා අකාලයේ මිය ගියහ. පුත්‍රයා සහ දියණිය රෝගයෙන් මිය ගියේ සති දෙකක පරතරයක් ඇතිව ය. ඒ වන විට චාල්ස් පුතු විසි හැවිරිදි වූ අතර දියණිය පහළොස් හැවිරිදි වූවාය. ෆ්‍රෙඞ්රික් ඩග්ලස් විසින් මහත් සේ අගය කළ සහ රස විඳි, ලෝකයේ ජනප්‍රිය වූ ප්‍රථම කලු ඇමරිකානු වයලින් වාද්‍ය ශිල්පියා වූ ජෝසප් ඩග්ලස් යනු චාල්ස් රේමන්ඞ් ඩග්ලස් ගේ ඉතිරි වූ පුත්‍රයා ය.
ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ගේ මුනුපුරෙකු වන ජෝසප් ඩග්ලස්, ලෝකයේ පළමු ජනප්‍රිය කළු ඇමරිකානු වයලීන් වාද්‍ය ශිල්පියා ය. ඇනකොස්ටියා ප්‍රදේශයේ 1869 ජූලි 3 වැනිදා ජෝසප් ඩග්ලස් උපන්නේ චාල්ස් සහ මාරි එලිසබෙත් ඩග්ලස් හට දාව ය. ඔවුන්ගේ දරුවන් දෙදෙනා අතරින් වැඩිහිටි වියට පත්වන තෙක් ජීවත්වූ එකම දරුවා වූයේ ජෝසප් ඩග්ලස් ය. සිය ප්‍රසිද්ධ සීයා සහ පියාගේ අඩිපාරේ යමින් ජෝසප් ළාබාල වියේදී ම වයලීනය අතට ගත්තේ, පස් අවුරුද්දක් මුළුල්ලේ නිව් ඉංග්ලන්ඞ් පාසලෙන් ශාස්ත්‍රීය වයලීන් වාදනය පිළිබඳ පුහුණුව ලබමිනි. පසුව බොස්ටන් හි වයලින් පාසලෙන් ද ඔහු පුහුණුව ලැබීය. කළු ඇමරිකානු සංගීතයේ ඉතිහාසයට අනුව ජෝසප් “අන්තර් මහද්වීපික ප්‍රසංග පැවැත්වූ පළමු කළු ඇමරිකානු වයලීන් වාදකයා වන අතර පසුකාලීන ව වෘත්තිකයන් බවට පත්වූ තරුණ වයලීන් වාද්‍ය ශිල්පීන්ගේ සෘජු උත්තේජකයා විය.” හොවාඞ් සරසවියේ සංගීත අධ්‍යයනාංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් සහ නිව්යෝක් හි සංගීත පාසලේ මුල් ගුරුවරයා වශයෙන් ජෝසප් සිය භූමිකාව තුළින්, තමන්ට පසුපසින් එන්නන්ගේ දළුළන දස්කම් දියුණු කරලීමට ජෝසප් වෙහෙසුණේය. මැක්කින්ලි, රූස්වෙල්ට් සහ ටෆ්ට් යන ඇමරිකානු ජනාධිපතිවරුන් ගේ පාලනයන් යටතේ ඔහුට නිරන්තරයෙන් ධවල මන්දිරයේ පෙනී සිටීමට සිදුවිය. ඒ, ඔහු විසින් ධවල මන්දිරයේ ප්‍රසංග භාර ව කටයුතු කිරීමට පටන්ගැනීමෙන් පසුව ය. ඒවා නැරඹීමට ඔහුගේ සීයා වන ෆ්‍රෙඞ්රික් ඩග්ලස් පමණක් එහි පැමිණියේය.
ජෝසප් ඩග්ලස්, ෆැනී හොවාඞ් ඩග්ලස් සමග අවාහ විය. ෆැනී ද සංගීතඥවරියක වූවාය. ඇය ජෝසප් ගේ සංගීත ප්‍රසංගවලදී පියානෝව වාදනයෙන් සහාය වූවාය. ඔහු සහ ෆැනීට බ්ලාන්ක් සහ තුන්වැනි ෆ්‍රෙඞ්රික් යනුවෙන් දරු දෙදෙනෙකි.
ඇනී ඩග්ලස්, ෆ්‍රෙඞ්රික් ඩග්ලස්ගේ අවසන් දරුවා ය. ඇනී 1860 මාර්තු මස මියගියේ ඇගේ 11 වැනි උපන්දිනයට සති දෙකකටත් අඩු කාලයක් තිබියදී ය. ඒ වන විට ෆ්‍රෙඞ්රික් ඩග්ලස් රටෙන් පළාගොස් සිටි අතර ඔහු ජීවත්වූයේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි ය. නමුත් ඇගේ මරණය කන වැකුණුවිට ෆ්‍රෙඞ්රික් ඩග්ලස් කඳුලු පිරි දෙනෙතින් යුතු ව නැවත ඇමරිකාව බලා ආවේය.
ෆ්‍රෙඞ්රික් ඩග්ලස් නාමය දැරූ පුත්‍රයා වූ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ජූනියර් හෙවත් කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ඔහුගේ මැද පුතු විය. විදෙස් රටවලට පිරිස් යවන්නෙකු ලෙස කටයුතු කළ ඔහු කොළොම්බියා දිස්ත්‍රික්කයේ ඔප්පු පිටපත් කරන්නා ලෙස ද කටයුතු කළේය. අවසන් පස්වසර ඔහු ගතකළේ විශ්‍රාම කටයුතු බියුරෝවේ ලිපිකරුවෙකු වශයෙනි. සිය මව වූ ඇනා මරේ ඩග්ලස්ගේ මරණය සිදුවී දස වසරකට පසු නගරය හරහා තාප තරංගයක් පැතිර ගිය අතර කණිෂ්ඨ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් එයට හසුවී මිය ගියේය. එවකට ඔහු පණස් හැවිරිදි විය. ඔහුගේ මරණය ෆ්‍රෙඞ්රික් ඩග්ලස් හට විශාල කම්පනයක් ඇති කළේය.
රොසෙටා ඩග්ලස්, ෆ්‍රෙඞ්රික් ඩග්ලස් සමග ජීවත්වූ එකම දියණිය සහ ඔහුගේ වැඩිමල් දරුවා වූවාය. වයස අවුරුදු හතේදී රොසෙටා සිය පියා වෙත යවන පළමු ලිපිය ලියූ අතර, අටවැනි උපන්දිනයේදී එංගලන්තයේ සිට එන සිය පියා වෙනුවෙන් කමිසයක් මැසුවාය. මෙතරම් ළමා අවධියේදී පවා වහල්භාවයෙන් ප්‍රතිඵල වන අවසනාවන්ත බව සහ එහි ගමන් මග පිළිබඳ ව වේදනාකාරී ලෙස දැනුවත් ව සිටියාය. බොහෝ වහලුන් ඔවුන්ගේ නිවසේ රැකවරණය සහ නවාතැන් ගත් අතර ඔවුන්ගේ එකී ලැගුම් ගැනීමෙහි දුක්බර මතකයන් ඇගේ ළමා සිතෙහි ගැඹුරින් සනිටුහන් විය.
රොසෙටාගේ සොහොයුරන් පොදු පාසලකට යවන ලද්දේ වුවද ඇයව යවන ලද්දේ ගැහැනු ළමුන් සඳහා මෑතකදී විවෘත කරන ලද පාසලකට ය. මෙයට අතිරේක වශයෙන් කුඩා දැරිය අමතර පන්තිවලට ද යවන ලද නමුත් එම පාසලේ පන්ති කාමරයක අභ්‍යන්තරය ඇය කිසිදා නුදුටු අතර කිසිදු ශිෂ්‍යයෙකු ද ඇයට මුණ ගැසුණේ නැත. අවසානයේ ඇය සහ ඇගේ සහෝදරයන් 1850 වර්ෂයේ සිට පොදු පාසලකට යැවුණි. කලු ජාතික දරුවන් ට තවදුරටත් පොදු පාසල්වලට යාමට අවසර නැති බවට අධ්‍යාපන මණ්ඩලය තීරණය කළේ මේ වර්ෂයේදී ය. එබඳු බෙදාදැක්වීමක් සිදු කළ යුත්තේ මන්ද යන විවාදය, ෆ්‍රෙඞ්රික් ඩග්ලස් සහ ඔහුගේ කලු ජාතික මිතුරන් විසින් ඊළඟ මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කරන ලදී. එම සම්මේලනයේ ප්‍රතිඵලයක් වශයෙන් එම නරගයේ කලු ජාතික දරුවන්ට ද පාසලේ දොරටු ඇරිණි.
රොසෙටා, ඇගේ පන්ති කාමරයේ සිටි එකම කලු ජාතික දැරිය වූවාය. එනිසා ඇය කාලාන්තරයක් මුලුල්ලේ එබඳු අවනම්බුවලට ඇය ලක්වූවාය. ඒවා ග්‍රාම්‍ය සහ අසභ්‍ය ඒවා ද විය. ඇගේ ළබැඳි පියා මේ පැමිණිලිවලින් වේදනාවට පත්විය. නමුත් ඔහුගේ උපදේශය වූයේ මෙයයි. “දුවේ, මා ඔබට පාසල් යවන්නේ ඔබේම යහපත සඳහා යි. ඔබ ප්‍රමාද නොවී පාසල් යන හැටි, බාහිර පෙනුමෙන් සිත් වේදනාවට පත් නොවී උපරිමයෙන් පාඩම් වැඩ කටයුතු කරන හැටි සහ අවසානයේ ප්‍රතිඵල එන තෙක් බලා සිටින හැටි දකින්නයි. දියණිය එයට කීකරු වී මහන්සියෙන් වැඩ කළ අතර ඉක්මනින්ම ඇයට වැටහී ගියේ ඇය ව ඇගේ ගුරුවරුන් විසින් අගය කරනා බවයි. ඔවුන් ඇයව සැලකුවේ තම ශිෂ්‍යයන් අතරින් හොඳම අයෙක් ලෙස ය. ක්‍රමයෙන් ඇගේ සගයෝ වෙනස් වූහ. සිය පාඩම්වලදී ඇගෙන් උදව් පතන්නට වූහ. වයස අවුරුදු එකොළහේදී ඇය සිය පියාගේ පුස්තකාල සහායිකාව බවට පත්වූවාය. ඔහු ෆ්‍රෙඞ්රික් ඩග්ලස් වෙනුවෙන්, සෑම සතියකම “නෝත් ස්ටාර්” පුවත්පතෙහි පිටපත් අටසියයක් සතිපතා පිටපත් කර, ඔතා, ලිපිනයන් ලියා තැපැල් කළාය.
1863 දෙසැම්බර් 24 වැනිදා රොසෙටා ඩග්ලස් විවාහ වූයේ ඇගේ පියා මෙන්ම වහලුන් තබාගැනීමේ බලයේ ගොදුරක් බවට පත්වූ නතාන් ස්ප්‍රැගියු සමග ය.
1900 දී ඇය සිය මවගේ ජීවිත කතාව ලියුවාය. එහි නම “මගේ මව: මා ඇය සිහිපත් කරන පරිදි” (මයි මදර්: ඈස් අයි රිකෝල් හර්) විය.
රොසෙටාගේ දියණිය හෙවත් ඇනා මරේ ඩගල්ස් සහ ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ගේ මිනිපිරිය වූ ෆ්‍රෙඞ්රිකා විසින් එය 1923 දී නැවත ප්‍රකාශනය කරන ලදී.
එම ජීවිත කතාව සඳහා සිය හැඳින්වීමෙහි ෆ්‍රෙඞ්රිකා මෙසේ ලියයි. “ කීර්තිමත් මිනිසුන්ගේ භාර්යාවන් විසින් සිදු කරන ලද ශ්‍රේෂ්ඨ කැපකිරීම් සහ ඔවුන්ගේ වික්‍රමාන්විත පරිශ්‍රමයන්, පුරුෂයන්ගේ ජයග්‍රහණ විසින් මුවාකෙරෙන අතර ඈ විසින් රඟපා තිබෙන කදිම හා සුන්දර කොටස නොපෙනී පවතියි.”
පහන් කන්ද පාමුල අඳුරු යැයි කතාවක් තිබේ. විසල් තුරු යට කුඩා පැළෑටි මිස සමාන මහා වෘක්ෂ නැගී සිටින අයුරු ඔබ දැක තිබේද? එය ෆ්‍රෙඩ්රික් ඩග්ලස්ගේ චරිතාපදානය ගැන විමසීමේදී මනාව පැහැදිලි වේ. කෙසේ නමුත් වහලෙකුව උපන් ෆ්‍රෙඩ්රික් ඩග්ලස්, සිය පරම්පරාවේ කිසිවෙකුට සිතාගත නොහැකි තරම් ඉදිරි ගමනක යෙදුණේය. 1841 වසරේ නන්ටුකට්හිදී පැවැත්වුණු මැසචුසෙට්ස් වහල් විරෝධී සම්මේලනය අමතා ඔහු කළ කථාව අතිශයින් ම ආකර්ෂණීය විය. එය එම වහල් විරෝධී කණ්ඩායම කෙරෙහි කෙතරම් බලපෑමක් ඇති කළේද යත් එවේලේම ඔවුහු ඩග්ලස් ව සිය නියෝජිතයෙකු ලෙස බඳවා ගත්හ. ඔහු කෙතරම් ආකර්ෂණීය කථිකයෙකු වීද යත් ඔහු අතීතයේ යම්දිනෙක වහලෙකු ව සිටියේද යන්න පවා සෙස්සන් ට විශ්වාස කළ නොහැකි තරම් විය.
සිවිල් යුධ සමයේදී කළු ජාතික මිනිසුන් මැසචුසෙට්ස් රෙජිමේන්තු සඳහා බඳවා ගැනීමට ඔහු සිය සහයෝගය ලබාදුන්නේය. වහලුන් ට නිදහස ලබාදිය යුතු යැයි නිරන්තරයෙන් වාද කළේය. යුද්ධයෙන් පසු නිදහස් මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂණය කිරීම හා ඒවා රැක දීම සඳහා ඔහු ක්‍රියාත්මක විය. 1872 දී ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා ලද පළමු අප්‍රිකානු-ඇමරිකානුවා බවට පත්විය. ඔහු ඒ සඳහා නාමයෝජනා කෙරුණේ ඔහු ද නොදැන ය. මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී පවා ඔහු කිසිවිටෙක මේ පිළිබඳ දැන සිටියේ නැත. සිය ජීවිතයේ අසීරු අවසන් කාලයේදී ඔහු සැන්ටො ඩොමින්ගෝ කොමිසමෙහි ලේකම්වරයා වූ අතර කොළොම්බියා දිස්ත්‍රික්කයේ ඔප්පු සටහන් කරන්නා ද විය. එසේම හයිටිය සඳහා වන ඇමරිකා එක්සත් ජනපදයේ අධිකාරිවරයා ලෙස ද ඔහු කටයුතු කළේය. වහල් භාවය අහෝසි කළ යුතු ය යන මතයේ කිසි බුරුලක් නොදක්වා රැඳී සිටියෙකු ලෙසද යුක්තිය හා සමාන අයිතීන් සඳහා ඉතා උත්සාහවත් ලෙස කටයුතු කළ අයෙකු ලෙස ද ඔහු ජාත්‍යන්තරයේ පිළිගැනේ. එසේම ඔහු කාන්තා අයිතිවාසිකම් ද අනම්‍ය ලෙස සුරකින්නෙකු විය. ඒබ්‍රහම් ලින්කන් ගේ විශ්වාසනීය උපදේශකයෙකු බවට ද ඔහු පත්විය. 1895 දී ඔහු මිය ගියේ කාලයේ වැලි තලාවට හසුවී යට නොයන අන්දමේ අති විශිෂ්ට දායාදයක් ලොවට ඉතිරි කර තබමිනි.
ෆ්‍රෙඞ්රික් ඩග්ලස් ගේ කථාන්දරය ජීවිතයේ සාර්ථකත්වය සඳහා ප්‍රධාන සාධක ත්‍රිත්වයක් මූර්තිමත් කරයි.
තමන් ගැන විශ්වාස කරන්න.
සෑම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.
ඔබ කෙරෙහිත් සමාජය කෙරෙහිත් ධනාත්මක වෙනසක් ඇති කිරීම පිණිස කථනයේත් ලේඛනයේත් බලය යොදාගන්න.
“මට කළ හැකි දේ ඔබටත් කරන්නට පුළුවන්” යැයි ෆ්‍රෙඞ්රික් ඩග්ලස් කීවේය. මේ සාධක සැබෑවක් බවට පත්කර ගැනීමෙන් ෆ්‍රෙඞ්රික් ඩග්ලස්, වහල් කොල්ලෙකු ව සිටියදී සිහිනෙන් පවා කිසිදා නුදුටු ගෞරවනීය හා සාර්ථක ජීවිතයක් උදා කර ගත්තේය. මේ අභීත ජීවිතයේ සැබෑ අරුත ෆ්‍රෙඞ්රික් ඩග්ලස් මෙන්ම ඔහුගේ අඹු දරු සුතන්ගේ ජීවිත ඇසුරින් ද විමසා බැලීම අවුට්බවුන්ඩ් ටුඩේ හරහා ගෙන ආ මේ කතාන්දරයෙන් අපි අපේක්ෂා කළෙමු.
පෙර කොටස් සියල්ල මෙතැනින් කියවන්න..