×

බිල් කොස්බි ට 83 යි – නඩු බිල මිලියන 3 යි!

අද (ජූලි 12) 83 වියට පා තබන, ‘ද කොස්බි ෂෝ‘ රූපවාහිනී තිර නාටක මාලාවෙන් ලොවක් වසඟ කළ සුප්‍රසිද්ධ ප්‍රහසන නළු බිල් කොස්බි, මේ වන විට සිටින්නේ දස අවුරුදු සිර දඬුවමක් විඳිමිනි.


මේ අතර, අද දිනයේදී ඔහු ශීර්ෂපාඨ මවන්නේ, ලිංගික අපචාර සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා සමුදාය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට සහ නීතීඥ සමාගම්වලට ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් ණය හෙයිනි.

බිල් කොස්බි වත්මන් දස අවුරුදු සිර දඬුවම විඳිමින් සිටින්නේ, 2004 වසරේදී ටෙම්පල් සරසවියේ සේවිකාවක මත්කර ඇයව ලිංගිකව අපයෝජනය කළ චෝදනාව සම්බන්ධයෙනි. මෙම නඩුවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ලොස්ඇන්ජලීස් නීති සමාගමට (Quinn Emanuel Urquhart & Sullivan) ඇ.ඩො. මිලියන 2.75 ක් ගෙවිය යුතුව තිබෙන්නේ පොලිය ද සමග ය.

මෙම නඩුව 2017 වසරේ පටන් විභාගයට ගැණිනි. ඔහු නඩුවෙන් පරාජය වූ අතර, ඩොලර් විසි පන්දහසක වන්දියක් ද ගෙවන්නට නියම විය.

නීතීඥ ගාස්තු ගෙවිය යුත්තේ නඩු දිනුවොත් පමණක්ය කියා මේ ලෝකයේ කිසිම තැනක සඳහන් වන්නේ නැත. නඩු දිනූ පසු (නඩුව ජයග්‍රහණය කළහොත්) මුදල් ගෙවීමේ පදනම මත නඩුවලට පෙනී සිටීම ද නීතීඥවරුන්ට වෘත්තීය ආචාර ධර්මවලින් තහනම් කර තිබේ.

එකඟතා ගිවිසුමක් මත කොස්බි වෙනුවෙන් පෙනී සිටි මෙම සමාගම අවසානයේ බිල් කොස්බිට එරෙහිව නීතීඥ ගාස්තු ඉල්ලා අධිකරණයේ පිහිට පැතුවේ පසුගිය සැප්තැම්බර් මාසයේ ය. එවිට බිල් කොස්බි, තමන්ට එය ගෙවන්නට ක්‍රමයක් නොමැති බව පැවසූ නමුත්, කිසිදු සහනයක් ඔහුට ලබාදීම විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, පොලිය ද සමග ඔහු විසින් ඇ.ඩො. මිලියන 2.98 ක් මේ වන විට ගෙවිය යුතුව තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් තමන්ව ඉක්මනින් නිදහස් කරන ලෙස බිල් කොස්බි අප්‍රේල් මාසයේදී අභියාචනයක් කළ නමුත් එය ද ප්‍රතික්ෂේප විය. ඒ අනුව තවත් රැඳවියන් 1000 ක් දෙනා සමග පෙන්සිල්වේනියානු බන්ධනාගාරයේම රැඳී සිටීමට ඔහුට සිදුව තිබේ. මේ වන විට ඔහු අධිකරණයෙන් වරදකරුවෙකු බවට පත් කළ ‘ලිංගික වරදකරුවෙක්‘ (සෙක්ස් ඔෆෙන්ඩර්) වේ.

අද බිල් කොස්බි ගෙවන්නේ මෙවැනි ජීවිතයකි… Bill Cosby (Jacqueline Larma-AP-Shutterstock)

ලොවක් වසඟ කළ බිල් කොස්බි, මේ නඩුබිල් සමග සිය ‘කොස්බි‘ සන්නාමය අහිමි කරගනිමින් ‘බිල්‘ බවට පමණක් පත්වෙමින් සිටින්නේද..?

1984 සිට 1992 දක්වා නොකඩවා සීසන්ස් 8 ක් ඔස්සේ විකාශය වූ ‘ද කොස්බි ෂෝ‘ හිදී සිටි වෛද්‍ය ක්‍ලිෆ් හක්ස්ටබල් නොහොත් ‘ ටෙලිවිෂනයේ එදා මෙදාතුර ලෝක ජනතාව දුටු ආදරණීයම තාත්තා (“Greatest Television Dad”) සහ සැබෑ ජීවිතයේ සිටි බිල් කොස්බි අතර පරස්පරය අපට කියා දෙන්නේ කුමක්ද?

 

[embedyt] https://www.youtube.com/watch?v=pro9ZMmZCXE[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි