මෙම ව්‍යාජ පෝස්ටු මුලින්ම සංසරණය වීම ආරම්භ වූයේ ෆේස්බුක් හරහායි.
මේවා මුහුණු පොත ඔස්සේ දස දහස් ගණන් වාරයක් ෂෙයා වී තිබුණා. 2020 මාර්තු 30 වැනිදා මුලින්ම දැකගත හැකි වුණු මේ පුවත මේ වන විට 34,000 ක් ෂෙයා වී තිබෙන බව, ව්‍යාජ පුවත් වලට එරෙහිව හඬ අවදි කරන Boomlive.in වෙබ් අඩවිය පවසනවා.
පහත දැක්වෙන්නේ 2020 සැප්තැම්බර් 22 වැනිදා වන විටත් එම පුවතට පැතිරෙන ලෙස සංසරණය වුණු සමාන ව්‍යාජ පෝස්ටුවක්. එය 33,000 වාරයක් ෂෙයා වී තිබෙනවා.
ෆේස්බුක් වැනි සමාජජාල වෙබ් අඩවිවල තිබෙන ‘ඔටෝ ට්‍රාන්සලේෂන් ටූල් එක‘ නිසා ඒවා ස්වයංක්‍රීයව ඉංග්‍රීසි බසට පරිවර්තනය වීම, මෙවැනි ව්‍යාජ පුවත් පැතිරීමට රුකුලක් වී ඇති බව විශ්ලේෂකයන් පවසනවා.
මේ ඇතැම් පෝස්ට් වල බුලත් විටේ ඇති රසායනික සංයුතිය ඉස්මතු කර තිබෙන්නේ එය බැලූ බැල්මට ව්‍යාජ පුවතක් බවට සැක නොසිතෙන ලෙසයි. පහත දැක්වෙන්නේ එවැන්නක්.
‘‘බුලත් විටේ ඇති හුණුවල තිබෙන ඇල්කලයිල් සංයෝග (Ca(OH)2)කොරෝනා වෛරසයේ තිබෙන මේද ස්ථරය නසා දමනවා. වෛරසය ආවරණය වී තිබෙන්නේ මෙම මේද ස්ථරයෙන්. වෛරසය බුලත්විට හපන අයෙකුගේ මුඛයට ඇතුළත් වුණොත් මේ නිසා එය විනාශ වෙනවා.‘‘
මේ ප්‍රකාශය කළේ කවුද හෝ මේක කාගේ සොයාගැනීමක්ද කියා මේ පෝස්ටු කිසිවක සඳහන් වන්නේ නැහැ.
වුහාන් නගරයේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වුණේ නගරයට හුණු දියර ඉසීමෙන් බවත් තවත් සටහනක දැක්වෙනවා.
බුලත් කොළ, පුවත්ථ හුණු සහ දුම්කොළ මිශ්‍රණයක් වන බුලත් විට මියැන්මාර ජාතිකයන් බොහෝ විට භාවිතා කරන දෙයක්. එය ජනප්‍රිය උත්තේජකයක් බවයි සඳහන් වන්නේ.
මේ පෝස්ටු කොතරම් ලොව පුරා පැතිරුණාද කියනවා නම්, යුරෝපියානු ආහාර ආරක්ෂණ අධිකාරියටත් (European Food Safety Authority) මේ ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්නට සිද්ධ වුණා.
‘‘මේක සම්පූර්ණයෙන්ම ව්‍යාජ පුවතක්. බුලත් විට හුණුවලින් කොරෝනා වෛරසය මැරෙන්නේ නැහැ.‘‘
ඒ වගේම ඔවුන් ඉතා වැදගත් පණිවුඩයකුත් ඒ සමග ලබාදෙනවා. ඒ තමයි, බුලත් විට කෑම නිසා කොවිඩ් අවදානම වැඩි වෙන්නට පුළුවන් බව.
‘‘බුලත් විට පරිභෝජනය කරන්නන්, තැනින් තැන රතු පාටට කෙළ ගැසීම මගින් කොරෝනා අවදානම ඉහළ යා හැකියි..‘‘
කොරෝනා කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ වෛද්‍ය උපදෙස් දෙන විශේෂඥයන් හදිසියේ පහළ වෙනවා. මේ අය මියැන්මාරයේ වගේම ලංකාවේත් නොමදව දැක ගන්නට පුළුවන්. ඉදිරි දිනවලදී ලංකාවේ මුහුණු පොත් පරිශීලකයනුත් මේ වගේ නවසොයාගැනීම් කරන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කල්පනාවෙන්, පිළිගත් සෞඛ්‍ය සහ වෛද්‍ය උපදෙස් විතරක් පිළිපදින්න.