×

බෙලරුස් හි මිත්තණියන් පවා ජනපතිට එරෙහිව මහ පාරේ

බෙලරුස්හි දීර්ඝකාලීන ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකාශෙන්කෝට ඉල්ලා අස්වීමට බල කරමින් මහමගට ආ සිය ගණනක් කාන්තාවන් එහි පොලිසිය විසින් මින්ස්ක් අගනුවරෙහි රදවා ගෙන තිබේ.


කොළ පැහැති නිල ඇදුමෙන් සහ කළු මුහුණු වැස්මෙන් සැරැසී ගත් පිරිමි, “ගැහැණුන්ට ගසන්නේ බයගුල්ලන්” යැයි කෑ ගසා සිටි උද්ඝෝෂණයට එක්ව සිටි කාන්තාවන් වට කර ගනිමින් ඔවුන්ට ආරක්ෂාව සැපයීමට උත්සාහ ගත් බව වාර්තා වේ.

රදවා ගත් කාන්තාවන් අතර, විරෝධතා ව්‍යාපාරයේ අයිකනයක් ලෙස සැලැකෙන හැත්තෑ තුන් හැවිරිදි මීමිත්තණියක වන නීනා බහින්ස්කායා ද වෙයි. දැඩි ආන්දෝලනයක් මේ නිසා හටගත් අතර, ඇයව ප්‍රශ්න කිරීමෙන් පසුව මුදා හැරීමට පොලිසිය කටයුතු කළේය.

73 හැවිරිදි බහින්ස්කයා අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර මාධ්‍යවල විශේෂ කතාබහට ලක්විය

වංචනික ව පවත්වන ලදැයි කියන බෙලරුස් හි ජනාධිපතිවරණයට එරෙහි ව දිගින් දිගටම මේ විරෝධතා ව්‍යාපාරය සිදුවෙතැයි වාර්තා අනාවැකි පළ කරයි.

බෙලරුස් රාජ්‍යය අඛණ්ඩ ව වසර 26 ක් පාලනය කළ ජනාධිපති ලූකාශෙන්කෝ පසුගිය අගෝස්තු නව වැනි දින පැවැති ඡන්දයෙන් විශාල ජයග්‍රහණයක් ප්‍රකාශ කළ ද, ඊට විරුද්ධ ව නැගී ආ විරෝධතා ව්‍යාපාර දැඩි ව මර්දනය කිරීම ජනතාව ගේ කෝපයට තුඩු දී තිබේ.

වැඩි වශයෙන් ම ගැහැණුන් ගෙන් සැදුම්ලත් 2000ක පමණ පිරිසක් සෙනසුරාදා විරෝධතාවට එක් ව ඇත. මේ, ඡන්දයෙන් පසු සෑම ඉරිදාවක ම පැවැත්වෙන දැවැන්ත විරෝධතාවට ඌණ පූර්ණයකි. මුල දී, පොලිසිය සමග සුළු විරසකයක් ලෙස ඇරැඹි පොලිස් – විරෝධතාකරුවන් ගේ ගැටුම පසුව, පොලිසිය විසින් ඔවුන් ගේ මග හරස් කිරීමත් ඉන්පසු එකින් එක පුද්ගලයන් රදවා ගැනීමත් දක්වා දුර දිග ගියේ ය.

පොලිසිය කෙතරම් පුද්ගලයන් රදවා ගත්තේ ද යත් ඔවුන් ගේ වෑන් රථවල ඉඩක් නොමැති ව සමහර කාන්තාවන් නිදහස් කිරීමට ඔවුන් පෙළඹුණු බව වාර්තා පෙන්වා දෙයි.

ස්වාධීන වෙබ් අඩවියක් වන Tut.by පළ කළ වීඩියෝවක දැක්වෙන්නේ, මුහුණු ආවරණයක් පැළදි පොලිස් නිලධාරියකු විසින් ඇය අත වූ කොඩිය ද මල් ද දැඩි ව උදුරා ගෙන ඇයව වෑන් රථයට තල්ලු කර දමන අන්දම යි.

සමස්තයක් ලෙස, කාන්තාවන් 300ක් පමණ රදවා ගෙන ඇති බව ද බෙලරුස් හි ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරති.

 

බෙලරුස් අර්බුදය පිළිබඳ පෙර ලිපි-

ලැජ්ජයි‘- ‘පලයන්‘ ලුකෂෙන්කෝ ! – 26 වසරක් පුටුවේ සිටින ජනපතිට එරෙහිව බෙලරුස් වැසියන් මහ පාරේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි