2014 වසෙර්දී මෙක්සිකෝවෙහි සිසුන් 43 දෙනෙකු අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙක්සිකෝවෙහි හිටපු නීතිපති ජේසුස් මුරිලෝ කරම් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහුට එරෙහිව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, වධහිංසා පැමිණවීම සහ යුක්තියට බාධා කිරීම යන චෝදනා එල්ල වී තිබේ. සිසුන් මරා දමා ඔවුන්ගේ දේහය පුළුස්සා දැමූ බවට චෝදනා පිළිබඳ මතභේදාත්මක පරීක්ෂණයට ඔහු විසින් නායකත්වය දුන් අතර ඔහු මෙතෙක් සිසුන් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියා වේ.
මෙක්සිකෝ නගරයේ විරෝධතාවයකට බස් රථයකින් යමින් සිටියදී නාගරික පොලිසියේ වෙඩි පහරකට ලක් වීමෙන් පසු මෙම සිසුන් පිරිස අතුරුදහන්ව ඇති බව වාර්තා වන අතර අනතුරුව කුණු කන්දක තිබී සිසුන් තිදෙනෙකුගේ අස්ථි කොටස් ද සොයාගෙන තිබේ. ඔවුන්ගේ අභිරහස් අතුරුදහන් වීම ලොව පුරා බලවත් කම්පනයක් ඇති කළ අතර සංවිධානාත්මක අපරාධවලට දඬුවම් නොලැබීම සහ රාජ්‍ය මැදිහත්වීම සම්බන්ධයෙන් මෙක්සිකෝවේ පුලුල් විරෝධතා ඇති විය.
විමර්ශකයින් විශ්වාස කරන්නේ සිසුන් දූෂිත පොලිස් නිලධාරීන් විසින් රඳවාගෙන පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට භාරදී ඝාතනය කරවා ඇති බවයි.
මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු වත්මන් මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රඩෝර් විසින් පිහිටුවන ලද සත්‍ය කොමිසමක්ට අනුව සමූලඝාතනය සඳහා සොල්දාදුවන් යම් වගකීමක් දරන බවට චෝදනා එල්ල කර තිබේ. මෙම කුරිරු, අමානුෂික තත්වය ප්‍රසිද්ධියට පත් කිරීම සහ ඒ සමඟම වගකිව යුත්තන්ට දඬුවම් කිරීම මෙම කණගාටුදායක සිදුවීම් නැවත කිසි දිනෙක සිදුවීම වැලැක්වීමට උපකාරී වන බව ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
සශිකලා මධුෂාණී_