×

රිදවීම් මිහිදන් කරන්න !

ජීවත්වන්නන් හා මළවුන් නිසා කාර්යබහුල රෝහලක, උඩුවියන් නොබැඳි සයනයක් මත උඩුකුරු ව මා සිරුර හොවා තිබෙන දිනය නිසැකව ම පැමිණේවි.


එවිට යම් මොහොතක මාගේ මොළය නතර වී තිබෙන බවත් හෘදය වස්තුව සදහට ම ගල්ගැසී තිබෙන බවත් වෛද්‍යවරයා හිස සළමින් පවසාවි….

එය එසේ වී නම් මගේ ශරීරය කිසි දිනෙක යන්ත්‍රයකටට සම්බන්ධ නොකරන්න. එබඳු ජීවිතයක් මට ඇවැසි නැත. එසේම මෙය මාගේ මළගම යැයි ද නොකියන්න. වැතිර සිටින්නේ සෙසු ජීවිතවලට පණ පෙවීම පිණිස ජීවයේ යහන මත යැයි කියන්න. කිසිදා හිරුකිරණක්, ළදරු මුහුණක කිරි සිනහවක් සහ ආදරබර දෙනෙතක දීප්තියක් නොදුටු අයෙකුට මගේ දෑස් ලබාදෙන්න….

කකියන රෝගී හදවත් ඇත්තෙකුට මගේ හදවත දන් දෙන්න. රිය අනතුරකින් පසු මරණය අබියස වැතිරී හති හළන ජවය පිරි තරුණයෙකු ට මගේ ලේ දන්දෙන්න. එවිට ඔහු සිය මුණුබුරන් රේසිං මෝටර්රථ පදවන අයුරු දකින්නට තව කල් ජීවත් වනු ඇත. සතියෙන් සතිය ලේ මාරු කරන වකුගඩු රෝගියෙකු හට මගේ නිරෝගී වකුගඩු දන් දෙන්න….

මාගේ සෑම අස්ථියක් ම මස් පිඬුවක් ම සෑම ස්නායුවක් ම ගළවා ගෙන කොරගසන ළදරුවෙකු ඇවිද්දවන්න. මාගේ මොළය පෙති ගසමින් සෑම අස්සක් මුල්ලක් ම පිරික්සා බලන්න. මස්තිෂ්ක සෛල වෙන්කර ගන්න. ඇවැසි නම් ඒවා පෙට්‍රි දීසිවල දමා කටහඬ අහිමි කොලු පැටවෙකු බෙරිහන් දෙමින් කෑ ගසන දඟකාරයෙකු බව ට පත් කරන්න. බිහිරි දැරියකට ඇගේ කාමරයට එපිටින් රාත්‍රියේදී වැසි වසින හඬ ඇසෙන්නට සලස්වන්න….

මා සතු යම් දෙයක් මිහිදන් කළ යුතු ම නම් මාගේ වැරදි, මාගේ දුර්වලතා සහ සගයන් ට කළ සිත් රිදවීම් පමණක්ම මිහිදන් කරන්න. කෝපයක් වී නම් ඒවා මිහිදන් නොකර දවා අළුකර ඒ අළු සුළඟේ පා කරන්න. එක මලක් හෝ ඒ මත පිපේවි….



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි