×

රිපබ්ලිකන්වරු 35 දෙනෙක් ට්‍රම්ප්ට පිටුපා කැපිටල් හිල් පරීක්ෂණයට සහාය දක්වති

ඇමරිකාවේ ජනවාරි 6 වැනිදා කොංග්‍රස් සභා ගොඩනැගිල්ල හෙවත් කැපිටල් හිල් වෙත එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේදී රිපබ්ලිකන් නියෝජිතයන් 35 දෙනෙක් ට්‍රම්ප්ට එරෙහිව පෙළ ගැසුණහ.


මෙය අති විශේෂ සිදුවීමක් වන්නේ තවමත් රිපබ්ලිකන් බල කඳවුරේ විශාල බලයක් ට්‍රම්ප් හිටපු රිපබ්ලිකන් ජනාධිපතිවරයාට තිබෙන බවට පැවති විශ්වාසය මේ අනුව බිඳ වැටෙන නිසා ය.

මෙම ‘නිදහස් මතධාරී රිපබ්ලිකන් නියෝජිත කණ්ඩායමේ‘ නායකත්වය උසුළනු ලබන්නේ නිව්යෝක් රිපබ්ලිකන් සභික ජෝන් කැට්කෝ විසිනි. පසුගිය වසර කිහිපය පුරාම ට්‍රම්ප්ගේ බල උමතුවට එරෙහිව ඔහු දෙපසට වැනෙමින් සිටි බව නොරහසකි. ඔහු මෙහිදී විශේෂ ප්‍රකාශයක් ද සිදු කරයි.

“රිපබ්ලිකන්, ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම නියෝජිතවරුන්ගෙන් මම විශේෂ ඉල්ලීමක් කරනවා. එක වතාවකට කඩුව බිමින් තියලා මෙයට සහයෝගය ලබාදෙන්න..“

ඔහුගේ නායකත්වයෙන් යුත් මෙම රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 35 දෙනා මධ්‍යස්ථ මතධාරීන් ලෙස සැලකේ.

ජනවාරි මාසයේ පැවති කොංග්‍රස් පරීක්ෂණයේදී රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ට්‍රම්ප් විසින් මෙම ප්‍රහාරය උසි ගැන්වූ බව ට එකඟ වෙද්දී 175 දෙනෙක් ට්‍රම්ප් මෙයින් ගළවා ගැනීමට සහාය පළ කළහ. ඒ අනුව ජනවාරියේ පැවති පරීක්ෂණයෙන් ට්‍රම්ප් ජයගත් බව කිව හැක. නමුත් දැන් මේ 35 දෙනා පැමිණෙන්නේ එදා ට්‍රම්ප්ට සහාය දැක්වූ කණ්ඩායමෙනි. ඒ අනුව මෙය ට්‍රම්ප්වාදී රිපබ්ලිකන්වරුන්ගේ ප්‍රබල පරාජයක් ලෙස සැලකේ. මෙම සහයෝගය තුළ කැපිටල් හිල් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අලුත් ද්වීපාර්ශවික කොමිසමක් පත් කිරීමට නියමිත අතර, එහි ප්‍රධාන පක්ෂ දෙකේම නියෝජිතයන්ගේ සම නියෝජනයක් පවතිනු ඇත.

“ජනවාරි 6 වැනිදා සිදුවූ දේ තවත් දීර්ඝ කාලයකට හොල්මන් කරාවි. කැපිටල් හිල් පොලිසිය සිද්ධිය මෙපමණකින් වළක්වාගැනීමට අසමත් වුණා නම්, අපේ ඔළු ගෙඩිත් පෝරකවල එල්ලෙන්න ඉඩ තිබුණා..“

යැයි ට්‍රප්ම් දෝෂාභියෝගයට ලක් කළ යුතු බව මුල පටන්ම විශ්වාස කළ තවත් රිපබ්ලිකන් නියෝජිතයෙක් පැවසීය.

ජනවාරි 6 වැනිදා එල්ල වූ කැපිටල් හිල් ප්‍රහාරය සැලකෙන්නේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මාරකම ප්‍රහාරය වශයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි