BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

සමාජ දුරස්ථකරණය : ‘රැඩිකල් දුරස් බවක් පවත්වා ගෙන යන්න, තනියම ආතල් එකක් ගන්න’

මේ දවස්වල පවතින කොරෝනා තත්වය නිසා වසංගත රෝග විශේෂඥයින් දෙන ප්‍රධාන සමාජ උපදෙසක් තමයි සමාජ දුරස්ථකරණය (social distancing) කියන්නේ.

ඒ කියන්නේ එක භෞතික ශරීරයක් තවත් ශරීරයකින් මීටර් දෙක තුනක් ඈතින් තියාගන්න එක තමයි මේ උපදෙස. ඒක විද්‍යාත්මක එකක් සහ හැමෝම එක පිළිපදින්න කියල තමයි කියන්නේ.

මේ ආපතික මොහොතේ අනෙකාව කිස් කරන්න උනත් ලංවෙන්න එපා සහ ලව් කරන්න කිට්ටු වෙනවා වෙනුවට ‘තනියම ආතල් එකක් ගන්න’ කියල තමයි දැන් ඔක්කොම කියන්නේ. ඒ කියන්නේ මරණයෙන් තමන් සහ අනෙකා දෙන්නම බේරෙන්න ඕනි නම් යම් රැඩිකල් දුරස් බවක් පවත්වා ගෙන යන්න කියන එක තමයි මෙයින් අර්ථවත් වෙන්නේ.

දුරස්තභාවය කියන සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්. ඒ නාට්‍ය සම්බන්දයෙන්. ඔහු ඒ සංකල්පය උකහා ගන්නේ චීන ජන නාට්‍යයෙන්. ඒ කියන්නේ යම් ප්‍රපංචයක් එක්ක මානසික ලෙස අධි අනන්‍ය උනොත් ඒ ගැන අපිට බුද්ධිමත් සහ තාර්කික ලෙස හිතන්න බැරි වෙන්න පුළුවන් කියල ඔහු හිතුවා.

ඒ නිසා ඔහු කිව්වා නාට්‍යයේ චරිත සහ සිද්ධි එක්ක ගොඩක් අනන්‍ය වෙන්න එපා ඒ වෙනුවට දෘෂ්ටිමය දුරක් පවත්වා ගෙන යන්න කියල (maintain an ideological distance). හොටු පෙරාගෙන අඬ අඬා සංවේදී වෙනවට වඩා යම් ප්‍රපංචයක් ගැන තාර්කික වෙන්න තමයි එයාට උසස් නූතන බව (higher modernity) ඇතුලේ උවමනා උනේ.

යම් දෙයක් ගැන තාර්කික වෙනකොට දෘෂ්ටිමය තිරපට ඉරාගෙන ගිහිල්ලා දේවල් හොඳින් දර්ශනය වෙයි කියන එක තමයි දුරස්තකරන රීතිය. මම හිතන හැටියට මේ ගැන සංස්කෘත නාට්‍ය රීතියේ පවා කියවෙනවා. ශෛලිගත නාට්‍යය වැදගත් වෙන්නේ මෙතැනදී.

පොදුවේ මට මෙතන පෙන්වා දෙන්න ඕනි දේ තමයි මේ මානසික දුරස්තකරණය කියන එක වැඩියෙන් හිතල තිබ්බේ පෙරදිග ශිෂ්ටාචාරය කියන එක.

‘උදය වලාකුළු’ (Morning Clouds)

මම ඒ ගැන වැඩියෙන්ම දැන ගත්තේ නොබෙල් සාහිත්‍ය ලාභී ජපන් සාහිත්‍ය කරුවෙක් වෙච්ච යසුනරි කවබතා හරහා. එයිනුත් මම වැඩියෙන් ම ආස එයාගේ ‘උදය වලාකුළු’, ‘කුඩා ඉශු නළඟන’, ‘ජලයෙහි ගිලුණ සඳ මඬල’ වගේ කතා වලට. මේ සියලු කතාවල තියනවා ප්‍රධාන චරිතය අනෙක් චරිත එක්ක නඩත්තු කරන එක්කෝ මානසික දුරස්ථ බවක්. නැත්නම් කායික දුරස්ථ බවක්.

යසුනරි කවබතා (1968)

‘උදය වලාකුළු’ (Morning Clouds) කතාවේ කතා නායිකාව වෙච්ච කිකුයි ගුරුතුමිය ගොඩක් ලස්සනයි. ඒ නිසා මියකෝ කියන ශිෂ්‍යාව එයාට ගොඩක් බැඳෙනවා. නැවත හරවන්න බැරි විදියට බැඳෙනවා. කොච්චර පෙම් හසුන් ලිව්වත් කිකුයි මිස් නෙවෙයි කිසිම දවසක මියකෝ ට උත්තරයක් එව්වේ. ප්‍රේමයෙන් එයා රෝගාතුර වෙනවා. ඒත් උත්තරයක් නැහැ. නිකම් හැරිලා ආදරෙන් බලන්නේ වත් නැහැ. මියකෝ ගේ ආදරේ නිකම් වන් වේ ට්‍රැෆික් එකක්. දැවැන්ත දුරස්ථ බවක්. මියකෝ පෙරළා ආදරය ලබන්න කොච්චර ආස ද…ඒත් කිසිම උත්තරයක් නැහැ. කිසිවක් නැහැ. සියල්ල ශුන්‍යයි. කිකුයි මිස් ගේ ලස්සන ශරීරය. ඒ ලස්සන විඳින්න ඇය සිහින මවනවා. ඒ ලස්සනෙන් ක්ලාන්ත වෙනවා. ඒත් ප්‍රතිචාරයක් නැහැ.

අන්තිමට ඒ ‘නොලැබුන දෙය’ විසින් ගෙනත් දුන්න ගැඹුරු ආත්ම අවබෝධය තමයි ඒ දුරස්ථකරණයේ තෑග්ග. ශිෂ්‍යයාවට ම තමන්ගේ ෆැන්ටසි එකේ තියන ආචාර ධාර්මික ප්‍රශ්නය දැනෙනකම් එයා ඒ දුර නඩත්තු කරනවා. ඒ ආශාව විසින් ඇතිකරපු හිස්බවේ කොරිඩෝව කඳුළු ගංගාවක් ඔස්සේ පසුකරන කම් ම එයා කිසිවක් කියන්නේ නැහැ. දුරස්.

ඒ නිශ්ශබ්ද බවෙන් පස්සේ මේ ශිෂ්‍යාව අන්තිමට සන්සුන් වෙනවා. වැඩිහිටියෙක් වෙනවා. එයාගේ සිහිනය එයාටම අත්විඳින්න දෙනවා. සිහිනයේ ප්‍රශ්නය එයාම තේරුම් ගන්නකම් ඉන්නවා. එහෙම කාලය දෙන්නේ ඒ සිහිනයෙන් පස්සේ එන ‘අවබෝධය’ නම් ගමනේ අවසානය වෙත එයා පා තබන කල්. මේ කතාව අධ්‍යත්මික පැත්තෙන් ඉතාම ගැඹුරු පෙරදිග කතාවක්.

‘ජලයෙහි ගිලුණ සඳ මඬල’

ඒ වගේම තමයි ‘ජලයෙහි ගිලුණ සඳ මඬල’. අසනීප වෙලා ලෙඩ ඇඳේ ම ඉන්න මුල් සැමියා ගැන මතකයක් ඔස්සේ තමයි කතාව දිග හැරෙන්නේ. ඒ සැමියා ආසයි මැරෙන්න කලින් ස්වභාව සෞන්දර්යය විඳින්න. නමුත් ඇවිදින්න බැරි නිසා එයා ලෝකයේ, ස්වභාවධර්මයේ ලස්සන බලන්නේ එයාගේ බිරිඳ එයාට දුන්න කණ්නාඩියකින්. වත්තේ වැඩකරන බිරිඳ දිහා උනත් බලන්නේ ඒ විදියට ම තමයි.

එයා ඇත්ත ලෝකයේ ලස්සනට වඩා කන්නාඩිය ඔස්සේ එන ලස්සනට ආශා කරනවා. ඒක දුරස්ථ ලස්සනක්. කෘතීම දෙයක්. එක දවසක් වර්ෂාවෙන් පස්සේ ගෙවත්තේ රැඳුන ජලය මතට සඳේ චායාව වැටිලා. ඉතින් මේ සැමියා සඳ දෙස බලන්නේ කණ්ණාඩියේ පරාවර්තන එක්ක නිසා එයාට සඳ පෙනෙන්නේ පෙරහන් (filters) දෙකක් අතරින්. එකක් ජලයේ තියෙන රූපය. අනෙක ජලයේ තියන රූපයේ කණ්නාඩි පරාවර්තනය.

ඇත්ත සඳ දකින්න එළියට යන්න වෙහෙසෙනවා වෙනුවට එයා පෙරහන් දෙකක් අතරින් එන කෘතීම ලස්සනට ආශා කරනවා. ඇත්ත ලෝකයෙන් ගොඩක් දුරස් වෙනවා. ඇත්ත වෙනුවට කැඩපතට ආශා කරනවා. ඒ තුන්වැනි පරාවර්තනය එයා තුල අර්ථවත් කර ගන්නවා.

මේ දුරස් බව නිසා එයාට පැවැත්මේ පරතරයන් අතර පවතින වෙනස ගැන අවබෝධයක් එනවා කියල කවබතා කියනවා.

බටහිර කරන්නේ යතුරු හිලේ තාක්‍ෂණය වැඩි දියුණු කරන එක!

 නමුත් පෙරදිග තියන මේ දුරස්ථ බව ඔස්සේ පැවැත්මේ ගැඹුර තුලට යනවා වෙනුවට සාපේක්ෂව ගත්තම බටහිර තියෙන්නේ අනෙකා තුළට පුර්ණ ලෙස ඇඳ වැටීම කියන එක. කවදාවත් කරන්න බැරි මේ දේ එයාල කරන්න ට්‍රයි කරනවා. එහෙම ඇඳ වැටෙන්න ඕනි නිසාම අපිට හම්බ වෙන්නේ යතුරු හිලෙන් බලාන ඉන්න නෝමන් බෙට්ස් ල.

මොකද යතුරු හිලෙන් බලන කොට ඇතුලේ අනෙකා පුර්ණ ලෙස එළිදරව් කරගන්න දඟලන ජේමිස් ජොයිස් බෙට්ස් ව හම්බ වෙන්න මඟ බලාන ඉන්න නිසා.

මිනිසා ගේ අභ්‍යන්තර අධ්‍යාත්මය පොහොසත් කරන්න එච්චර දඟලන්නේ නැති බටහිර කරන්නේ යතුරු හිලේ තාක්‍ෂණය වැඩි දියුණු කරන එක. ‘අද ගැන හිතපන් ..හෙට යකාට ගියදෙන්… දිවි තිබෙන තුරා ජොලි කරපල්ලා’ කියන ‘සුපිරි අහමේ නියෝගය’ (injunction of super-ego enjoyment) දෙන ගමන් එයාලට සිද්ද වෙනවා නිරීක්ෂණ කැමරා අරන් එන්න.

ගේස් පොයින්ට් (gaze point) එකක් එක්ක තමයි මිනිස්සු ශික්ෂණය කරන්න එයාල දන්නේ. ඒක එයාලට එන්නේ දෙවියන් පිළිබද ඉතිහාසය නිසා. එයාලගේ හරි වැරැද්ද ගැන දෙවියන් බලාන ඉන්නවා. සටහන් කර ගන්නවා. දෙවියන් මැරුණට පස්සේ ඒ තැනට කැමරාව ඇවිල්ලා තියනවා (කැමරාව ඉස්සරහ නම් දෙවියන්ට ශාප කරනවා).

ජිජැක් ට වඩා අද එයාලට වැදගත් ෆූකෝ!

ඒ නිසා මේ දවස්වල එයාලගේ සමාජය නැවත සකස් කර ගන්නා තැනේදී ජිජැක් ට වඩා එයාලට වැදගත් ෆූකෝ.

නමුත් බෞද්ධ අර්ථයෙන් ගත්තම අපි දිහා බලාගෙන ඉන්න දෙවියෙක් නැහැ. අපිට ඉන්නේ අපිමයි. තමන් ම තමයි තමන්ගේ විමුක්තිය හොයා ගන්න ඕනි. ඒ දෙවියෙක් කොහේ හරි ඉඳන් බලා සිටින නිසා නෙවෙයි.

දෙවියන් මිය ගියා කියල බටහිර ලෝකයේ උදෙක්ම උදම් අනන්නේ ශ්‍රේෂ්ට ජර්මන් දාර්ශනිකයෙක් වෙච්ච නීට්ෂේ. ඊට පස්සේ එයාට හම්බ වෙන්නේ දරා ගන්න බැරි හිස්බව. ඊටත් පස්සේ එයා පෙරදිග දර්ශනය වෙත හැරෙනවා. සමස්ත සාන්දෘස්ටික දර්ශනය පටන් ගන්නේ එතැනින්.

නීට්ෂේ කියවන්න

බටහිර ශිෂ්ටාචාරයේ තෙරක් පරක් නැති ශුන්‍යබව ගැන දැනගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් නීට්ෂේ කියවන්න. ඉතින් යුරෝපීය චින්තන ව්‍යාපෘතියට පටහැණිව චින්තනය මෙහෙයවපු සමකාලීන ජපන් දාර්ශනිකයන් ගේ වීරයා වෙන්නෙත් නීට්ෂේ ම තමයි.

ඉතිං නීට්ෂේ වගේම හෛඩගර් විතරක් නෙවෙයි සියලුම කියෝතෝ ගුරු කුලයේ දාර්ශනිකයෝ පෙරදිග උරුමයක් වෙනුවෙන් සටන් කරපු නාසි ව්‍යාපෘතියේ කොටස් කරුවන් වෙන්නේ නිකම්ම නෙවෙයි. ලොකු ඉතිහාසයක් ඇතුලේ වගේම දැවැන්ත ව්‍යාපෘතියක් ඇතුලේ.

ඒක බෝම්බ දෙකකට ඉවර කරන්න පුළුවන් උණා කියල මම හිතන්නේ නැහැ. තාවකාලික නතර වීමක් තමයි වෙලා තියන්නේ.

මේක මම මේ විදියට ලිව්වේ නාසි ව්‍යාපෘතිය උත්කෘෂ්ට කරන්න නම් නෙවෙයි. ඒ වෙනුවට පෙරදිග බර අවි බිම තියල කොන්දේසි විරහිතව බටහිරට යටත් වෙන්න කැමති නැහැ කියල පෙන්නන්න.”

(මහේෂ් හපුගොඩගේ ගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)


ඩොනල්ඩ් ට්‍රම්ප් අතිශය ප්‍රීතියෙන්…. – මෝඩයාගේ දවසේ විශේෂාංගය

වෙඩි උණ්ඩයෙන් නිසල කළ මෙක්සිකෝවේ සදාදරණීය පොප් තරුව සෙලීනා..

මහා වසංගතයක පීඩනය දරා ගැනීම

කොරෝනා මඬින්නට දින 90 ක් ගෙදර ඉන්න නිව්යෝක් වැසියන්ගෙන් ලංකාවට කදිම පාඩමක්

කොරෝනාවට අමෝරන අවි නේපාලයේ කෝ?

සැමන් සහ පරිප්පු වෙනුවට ඇමරිකානුවන්ගේ අතටම කෑෂ් චෙක්! – ඩොලර් බිලියන 250 ක් රටවැසියන් අතර බෙදා දෙයි.

චීනයට තවත් කොරෝනා සුළි කුණාටුවක්?

‘‘ගෙවල් කුලී ගැන – ආහාර පානවලට යන මුදල් ගැන වදවෙන්න එපා.. අපි ඔබව බලා ගන්නවා..!‘‘ – ලංකාවේ නෙවෙයි – කැනඩාවේ, කැනඩාවේ!!

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!