අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය, පාපන්දු ලීග තරග සහ වෙනත් ප්‍රධාන පෙළේ ජාතික උත්සව, කැෆේ සහ බීච් සංස්කෘතිය අතරතුර සතුට සමරන රටක්ව සිටි ස්පාඤ්ඤය, දකුණු දිග යුරෝපය පිසදාගෙන එන කොරෝනා වසංගතය පිළිබඳ බැරෑරුම් ලෙස නොසිතුවේද?
දින ගණනාවක් රෝග ලක්ෂණ සඟවාගෙන සිට, ඉන්පසු මිනිසා අඩපණ කර දමන කොරෝනා වෛරසය ලෝකය තුළ මේ තරම් බිහිසුණු ලෙස පැතිරුණේ රජයන් විසින් සිදුකළ නොකළ යුතු ක්‍රියාවන් ගණනාවක් නිසා විය හැකිය.
ස්පාඤ්ඤයේ වසංගතය පුපුරා ගියේ මරණ 5000 ක් පමණ වාර්තා කරමිනි. එය මේ වන විට ලෝකයේ කොරෝනා වඩාත්ම බිහිසුණු ලෙස අරක්ගත් රටක් වන අතර මරණ ගණන අද දිනයේ 6528 දක්වා ඉහළ ගොස් තිබේ. මේ මොහොත වන විටත් ස්පාඤ්ඤයේ කොරෝනා ආසාදිතයන් 54,000කට වඩා සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන තහවුරු කරයි.
පෙබරවාරි 19 වැනිදා ස්පාඤ්ඤයේ සිට මිලාන් නගරයට වලෙන්සියා (Valencia) පාපන්දු රසිකයන් 3,000 ක් දෙනා සංචාරය කළේ යුරෝපියානු චැම්පියන් ලීග තරගාවලියේදී සිය කණ්ඩායම ඇට්ලැන්ටා පිලට එරෙහිව තරග වදින හැටි නරඹන්නට ය. ඉතාලි ජාතිකයෝ 4000 ක් පමණ ද එම ප්‍රේක්ෂකාගාරය තුළ සිටිය. ඔවුන් පැමිණ තිබුණේ බර්ගාමෝ සහ තවත් යාබද නගරවලිනි.
ඒ වන විටත් මිලාන් නගරයේදී මේ තරගය පැවැත්විය යුතුද යන්න ගැන කසුකුසුවක් පැවති බව කියන්නේ බර්ගාමෝ හි නගරාධිපති ජියෝජියෝ ගෝරි ය. තරගය සජීවී ව නැරඹීමට ගිය අය හැරුණු විට විශාල පිරිසක් තෝරාගෙන තිබුණේ සිය නිවෙස්වල හෝ අවන්හල්වල සිට කණ්ඩායම් පිටින් තරගය නැරඹීමට ය. ‘‘මේ තරගය, වෛරසය පැතිරයාමට විශාල අවස්ථාවක් ලබාදුන් බව පැහැදිලියි..‘‘ යැයි ජියෝජියෝ පවසයි.
ප්‍රේක්ෂකාගාරය ක්‍රීඩාවේ උද්වේගයෙන් උණුසුම් වී තිබුණේය. රසිකයෝ සිය පිල වෙනුවෙන් එකිනෙකා බදා වැළඳගෙන සුබපතමින් ද, ජය ඝෝෂා නගමින් ද සිටියහ.
එදින් දින දෙකකට පසු බර්ගාමෝවලට කිලෝමීටර 60 ක් දුරින් පිහිටා තිබෙන කොඩොග්නෝ (Codogno) නගරයේ 38 හැවිරිදි තරුණයෙක් ඉතාලියේ පළමු කොරෝනා වෛරස් ආසාදිතයා ලෙස හඳුනා ගැනිණි. ඔහුව මාධ්‍ය විසින් හඳුන්වා දුන්නේ “patient one” ලෙස ය. නමුත් ඒ වන විට ඉතාලි විශේෂඥයන් 20 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් ඉදිරිපත්කර ඇති විශේෂඥ වාර්තාවට අනුව, වෛසරය බොහෝ දුර පැතිරී තිබිණි.
‘‘පළමු රෝගියා හඳුනා ගන්නා විටත් වසංගතය දකුණු දිග ලොම්බාඩියේ බොහෝ නාගරිකවලට පැතිරී තිබුණා..‘‘ යැයි ඔවුහු කියති.
තහවුරු කර ගත් ආසාදන 6000ක් අධ්‍යයනය කිරීමෙන් පසු පර්යේෂකයන් සොයා ගත්තේ පෙබරවාරි 19 වැනිදා වන විටත් ලොම්බාඩි පළාතේ රෝගීන් 388 දෙනෙකු සිට ඇති බව ය. නමුත් ඔවුන් කිසිවෙක් හෙළිදරව් වී තිබුණේ නැත.
‘‘ඉන්පසු සතියේදී කොඩොග්නා ප්‍රදේශයේ වගේම දකුණු දිග ලොම්බාඩිය අසල ප්‍රදේශවලින් ද රෝගීන්ගේ තීව්ර වැඩිවීමක් දක්නට ලැබිණි..‘‘යැයි එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වේ. මෙම පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් නොකිරීම ද විශේෂත්වයකි. නමුත් පසුගිය සිකුරාදා පළ වූ Nature ජර්නලයේ එම වාර්තාව උපුටා දක්වා ඇත.
මේ වන විට වැලෙන්ෂියා බලා පැමිණ සිටි ක්‍රීඩාලෝලී රසිකයන් ආපසු සිය රට වූ ස්පාඤ්ඤය බලා ගොස් තිබිණි. ඒ පිරිස අතරින් එක් අයෙක් වූයේ ක්‍රීඩා මාධ්‍යවේදී කයික් මාටෝ ය. CNN පුවත් සේවය අමතා ඔහු මෙසේ කියයි. ‘‘ගෙදර ඇවිත් දවස් 4කට පස්සෙ මට කැස්සක් සහ හුස්මගන්න අපහසුතාවක් ඇති වුණා. ලොම්බාඩිවල කොරෝනා වසංගතය පුපුරා යමින් තිබූ නිසා මම රෝහලට යන්නට තීරණය කළා..‘‘
පෙබරවාරි 27 දා වන විට වැලෙන්ෂියා නගරයෙන් තහවුරු කර ගත් කොවිඩ්-19 ආසාදිතයන් 6 දෙනෙකු අලුතෙන් හඳුනා ගැනිණි. එයින් දින 3කට පසුව, වැලෙන්ෂියා බලා පැමිණ සිටි පෘතුගීසි ජාතිකයෙක් සිය රට බලා යාමෙන් පසු ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනිණි. මාටෝ විසින් වෛරසය ඔහු සමග එකට වැඩ කරන සිව් දෙනෙකුට ද ඒ වන විට ව්‍යාප්ත කර තිබිණි. මේ අතර වැලෙන්ෂියා පාපන්දු සමාජය පසුව වාර්තා කළේ තමන්ගේ ක්‍රීඩකයන් සහ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංචිතයෙන් 1/3කට වඩා පොසිටිව් වී ඇති බවයි.
මාර්තු මුල සතියේ ස්පාඤ්ඤ සෞඛ්‍ය අමාත්‍යාංශය, සියලු විශාල ක්‍රීඩා තරග ‘සංවෘත‘ ලෙස පවත්වන්නට නියෝග කළේය. වැලෙන්ෂියා-ඇට්ලැන්ටා පිළිමළුන් හමුවීමේ තරගය ද එයට ඇතුළත් විය.
නමුත් තවමත්, ස්පාඤ්ඤයේ ජන ජීවිතයට කොරෝනා බිය දැනී තිබුණේ නැත. තැබෑරුම්, අවන්හල් සහ කැෆේ තවදුරටත් විවෘතව පැවතියේය. අසාමාන්‍ය ලෙස උණුසුම් කාලගුණය විසින් ස්පාඤ්ඤ වැසියන් එළිමහනට ගෙන ආවේය. මාර්තු 8 වැනිදා පැවති අන්තර්ජාතික කාන්තා දින සැමරුම් සඳහා දස දහස් ගණන් දෙනා ස්පාඤ්ඤයේ වීදිවලට බටහ. මැඩ්රිඩ් නුවරින් පමණක් මාර්තු 8 වැනිදා වාර්තා වූ ජනකාය 120,000 කි. මෙම උත්සවයට සහභාගි වූ මැඩ්රිඩ් හි කැබිනට් අමාත්යවරියෝ දෙදෙනෙක් පසුව කොවිඩ්-19 පොසිටිව් වූ බව වාර්තා විණි. මෙවැනි උත්සව පැවැත්වුණේ, විපක්ෂය විසින් ඒවා පිළිබඳ දැඩි විවේචනයක් සිදුකරමින් තිබියදී ය.
අනතුරුව එළඹි සති කිහිපයේදී ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමති සැල්වදෝර් ඉලා විසින් “reinforced containment ” ලෙස හැඳින්වූ, වහාම ක්‍රියාත්මක වීමේ අදියරට පිය තැබීමට ස්පාඤ්ඤ ආණ්ඩුව තීරණය කළේය. එහිදී ගත් ප්‍රධානතම පියවර වූයේ පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමයි. මැඩ්රිඩ් සඳහා පමණක් මෙය, මාර්තු 11 දා පටන් ක්‍රියාවට නැංවීමට තීරණය විය. නමුත් මෙයින් සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නට සමත් වීද යන්න ප්‍රශ්නාර්ථයකි.
මෙයින් සැබවින්ම සිදුවූයේ ස්පාඤ්ඤ සිසුන් දස දහස් ගණනක් හදිසියේ ලැබුණු මේ අනපේක්ෂිත ‘නිවාඩුව‘ සැමරීමට යොමු වීමයි. බොහෝ මැඩ්රිඩ් නුවරුන් නගරයෙන් පිටතට ගියේ කොවිඩ්-19 නිසා පනවන්නට යන සීමාකිරීම්වලින් වැළකීමට සහ නිවාඩු සමය විනෝදයෙන් ගත කිරීම පිණිස ය. මාවත් ජනයාගෙන් පිරී ගියේය. ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්රෝ සැන්චැස් (Pedro Sanchez) මාර්තු 13 වැනිදා ‘සැලකිලිමත් විය යුතු තත්වයක්‘ රටේ උද්ගත ව ඇති බව ප්‍රකාශයට පත් කළේය. නමුත් එහි වැඩිදුර විස්තර හෝ පැහැදිලි කිරීම් පසුදින පැවති කැබිනට් රැස්වීම දක්වා කල් දමා තිබිණි.
ස්පාඤ්ඤය ලොක්ඩවුන් කිරීම ඇතුළු මෙකී ‘වැඩිදුර විස්තර‘ ප්‍රකාශයට පත්වීමට පෙර මුර්ෂියා සහ වැලෙන්ෂියා වැනි ප්‍රාදේශිකවල බලධාරීන් විසින් වෙරළ තීර වසා දමන්නටත් වෙරළාසන්න ගම්බිම් බලා නොපැමිණෙන ලෙස මැඩ්රිඩ් නුවරුන්ට අනතුරු අඟවන්නටත් පටන් ගෙන තිබිණි.
එම සති අන්තයේදී ස්පාඤ්ඤයේ ජාතික පොලිස් බලකාය වන ‘ගාඩියා සිවිල්‘ නිල වශයෙන් මෙසේ ට්වීට් කරයි. ‘‘වෙරළබදව, කඳුකරයේ හෝ නගරයේ පිහිටා තිබෙන ඔබේ දෙවැනි නිවස්නවලට සංචාරය කිරීමෙන් වළකින්න.‘‘
මේ සඳහා ලැබුණු සමස්ත ප්‍රතිචාරය, සුපුරුදු පරිදි මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩු අතර, විශේෂයෙන්ම මධ්‍යම ආණ්ඩුව සහ කැටලෝනියාව අතර කඹ ඇදීම්වලින් ගහණ විය.
ස්පාඤ්ඤය පැහැදිලි ලෙසම සිටියේ කොරෝනා වෛරසයේ බලපෑමෙන් රට ගළවා ගත හැකිව තිබූ කාලරාමුවට බොහෝ ඔබ්බෙනි. අගමැති සැන්චැස් ම වරක් පිළිගත් පරිදි, ‘‘අපට තේරුම් ගන්න පුළුවන්, මේ වෙද්දි හැම පියවරක්ම අප්රමාණවත් බව.., නමුත් සතියකට කලින් මේ පියවර ගත්තා නම් එය අතිශයෝක්තියක් ලෙස සලකන්නටත් ඉඩ තිබුණා..‘‘
‘‘නිදහස සීමා කිරීම ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවකට, එසේ කිරීම පරම වශයෙන් අත්‍යාවශ්‍ය වූ විට පමණක් කළ හැක්කකි‘‘ යැයි ඔහු පාර්ලිමේන්තුවේ සැසියකදී පැවසුවේය. ස්පාඤ්ඤයේ තවමත් ෆ්රැන්කෝ යුගය සහ ඔහුගේ යකඩ හස්තය ගැන බලපෑම්වලින් සම්පූර්ණයෙන්ම මිදී නැත.
ස්පාඤ්ඤ වැසියෝ ස්වකීය සෞඛ්‍ය සේවය ගැන ආඩම්බර වෙති. නමුත් මේ වන විට දහස් ගණනක් වූ සෞඛ්‍ය සේවකයෝ ද වෛරස් ආසාදනයට ලක්ව සිටියහ.
ස්පාඤ්ඤය සම්බන්ධයෙන් සිදුවිය හැකි නරකම දේවල් නියමිතව තිබෙන්නේ ඉදිරියට ය. ආර්ථිකයට වන හානිය ද ඒ අතරින් එකකි. ආර්ථික වශයෙන් යථා තත්වයට පත්වීම පිණිස ස්පාඤ්ඤය විසින් වඩාත් බලපෑම් සහගත ලෙස මේ වන විටත් යුරෝපා සංගමයෙන් ඉල්ලීම් කර තිබේ.
මේ වන විට මැඩ්රිඩ් හි නීතීඥවරයෙකු විසින්, මාර්තු 8 වැනිදා කාන්තා රැළි පැවැත්වීමට ඉඩ දීමට එරෙහිව ස්පාඤ්ඤ ආණ්ඩුවට එරෙහිව නඩු පවරා තිබේ. වැලෙන්ෂියා ගිය, සුවපත් වෙමින් සිටින මාධ්‍යවේදියා කයික් මටෝ, කෝපයෙන් පසුවන දහස් ගණනක් වූ ස්පාඤ්ඤ ජාතිකයන් අතරින් එක් අයෙක් පමණි. ‘‘මිනිසුන් හුදෙකලා කරනු වෙනුවට ආණ්ඩුව ඔවුන්ට වීදි බසින්නට ඇරයුම් කළා.. මේක අති දැවැන්ත වගකීම් විරහිතභාවයක්…“