ඒ අනුව ජාතික හදිසි තත්වයක් සමග අද දිනයේ සිට රාත්‍රිය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක ය.
පොදු සහ පුද්ගලික ස්ථානවල රැස්විය හැකි උපරිම පිරිස 6 දෙනෙකුට ද මේ සමග සීමා කෙරේ.
අගමැති පෙද්රෝ සෑන්චෙස් පැවසුවේ මෙම ඇඳිරිනීතිය රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා බලපැවැත්වෙන බව ය. පළාත් අතර ගමනාගමනය ද වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. තවද දින 15 ක් දක්වා මේ වන විට පනවා තිබෙන නව රීතිය, මාස 6 ක් දක්වා පැනවීමට අවශ්‍ය විධිවිධාන පාර්ලිමේන්තුව හරහා සකසා ගැනීමට ද අගමැතිවරයා අපේක්ෂා කරයි.
මේ වසර මුලදී පළමු කෝවිඩ්-19 රැල්ලට නතු වූ ස්පාඤ්ඤය, ලෝකයේ දැඩිම ලොක්ඩවුන් තත්වයක් ක්‍රියාත්මක කළ රටකි. නමුත් යුරෝපයේ බොහෝ රටවල් මෙන් එය ද මේ වන විට දෙවැනි රැල්ලට මුහුණ දී සිටියි.
ස්පාඤ්ඤය තුළ මේ දක්වා කෝවිඩ්-19 මරණ 35,000 ක් වාර්තා වී ඇති අතර, ආසාදිතයන් රට තුළ ලක්ෂයක් පමණ ඇතැයි සැලකේ.
‘‘මේ, ගතවූ අඩසියවසේ අප මුහුණ දුන් දරුණුතම තත්වයයි‘‘ යැයි අගමැති සෑන්චෙස් රූපවාහිනිය හරහා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ මරණ 34,000 කට ආසන්න වූ පළමු කෝවිඩ් රැල්ලේ ඛේදවාචකය නැවත අත්විඳීමට තමන්ට අවශ්‍ය නැති බවයි.