එක සිර ගෙදරක ප්‍රේම කුරුල්ලෝ – සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියත් සිරගෙට
සිරකරුවෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත් බන්ධනාගාර නිලධාරිනියකට මාස 12 ක සිර දඬුවමක් ලබාදීමේ සිදුවීමක් වේල්සයෙන් වාර්තා වේ.

වේල්ස් හි ජෝර්ජ් ටවුන් නගරයේ පිහිටා ඇති MP Berwyn බන්ධනාගාරයේ 27 හැවිරිදි අයිෂා ගන් (Ayshea Gunn) නමැති සුරූපී නිලධාරිනිය සේවයේ යෙදී සිටියාය.
ඇය ‘නොමනා ලෙස සමීප‘ වී සිටි බව පැවසුණේ 29 හැවිරිදි කුරාම් රසාක් නමැති කඩවසම් සිරකරුවෙකු වෙත ය.
ඔහු සොරකමට කුමන්ත්‍රණය කිරීමට වරදකරු වී සිර දඬුවම් විඳිමින් සිටියේය.
රැජිනගේ බන්ධනාගාර සහ පරිවාස කුටි තුළ සිදුවන බලය අපහරණයට ලක්කිරීම් සහ දූෂණයන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා එම සිරගෙදර වෙත රහස් පරීක්ෂකයෙකු පැමිණියේ මේ අතරවාරයේ ය.
ඉන්පසු සියල්ල කණ පිට හැරුණේය.

බන්ධනාගාර නිලධාරිනිය | Sky News

සිරකරු කුරාම් | Sky News
2018 නොවැම්බරයේ සිරකරුවෙකු සමග අයථා ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බවට සැක පිට අයේෂාව අත්අඩංගුවට ගැනුණේය. ඇයට එරෙහිව එල්ල වී තිබූ චෝදනාව වූයේ ‘මහජන කාර්යාලයක නොමනා ලෙස හැසිරීම‘ යි.
අවසානයේ පසුගිය සඳුදා දිනයේ ඇයට දඬුවම් නියම කෙරිණි.
ඒ, වසරක සිරදඬුවමකි.
මේ පෙම් පළහිලව්ව නිසා පෙම්වත් කුරාම්ගේ සිර දඬුවමද අතිරේක මාස 8 කින් ඉහළ දැමුණේය.
දැන් ඔහු, සිය ප්‍රේමිය බන්ධනාගාර නිල ඇඳුම වෙනුවට සිරකරු නිල ඇඳුමෙන් සැරසී ඒ සිරගෙදරටම එනතෙක් බලා නොසිටී යැයි කාට නම් කිව හැකිද?
ආදරය සමහරවිට බන්ධනාගාර නිල ඇඳුමක සැඟවී ද පැමිණිය හැක!