BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

සු කී නෝනෝ.. ආයෙමත් මානව හිමිකම් සරණේ යමුද?

මානව හිමිකම් ධජය අතට ගෙන කරලියට පැමිණි සු කී මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදයේ හැතිරියක් බවට පත්වීමට වැඩිකලක් ගත නොවී ය. මියන්මාරය යනු අවතැන්භාවයෙන් තොර බලාපොරොත්තුවෙන් පිරි ජනවාර්ගික විවිධත්වයේ තෝතැන්න බවට පාරම් බාමින් පැමිණි අවුන් සාන් සු කී මාධ්‍යවේදීන්ට පිළිතුරු සැපයීම, ජාත්‍යන්තර සමුළු වලට සහභාගී වීම, ඈ ප්‍රශ්ණ කළ ලෝක නායකයින්ට පිළිතුරු සැපයීම ප්‍රතික්ෂේප කළා ය.

ඊයේ දින විදෙස් පුවත් අතර අසන්නට ලැබුණු අවාසනාවන්තම සිදුවීම වන්නේ මියන්මාරය නැවත වරක් හමුදා පාලනයට නතු වීම පිළිබඳ පුවතයි. මේ වන විට මියන්මාරය තුළ වසරක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට තිබේ.

ඒ අනුව මියන්මාර හමුදාපති හ්ලෙයින්ග් ගේ පාලනයට රට යටත් ව තිබේ.

මියන්මාරයේ නායිකා අවුන් සාන් සූ කී මහත්මිය ප්‍රමුඛ පක්ෂය ඉකුත් මැතිවරණයේදී ලැබූ විශිෂ්ඨ ජය අභියෝගයට ලක්කළ හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර තිබිණි. ඒ මැතිවරණය වංචනික අන්දමින් ජයග්‍රහණය කළ බව පවසමින්.

කෙසේ වෙතත් මෙහි උච්ඡතම අවස්ථාවක් ලෙස ඊයේ දින මියන්මාරයේ පාලන බලය හමුදාව විසින් පවරා ගැනීමත් සු කී මහත්මිය ඇතුළු දේශපාලන නායකයින් හමුදා අත්අඩංගුවට ගැනීමත් සිදුවිය.

‘ප්‍රජාතන්ත්‍රවාදයේ දියණිය’ අවුන් සාන් සු කී

අවුන් සාන් සු කී යනු මියන්මාරයේ නිදහස් සටනේ පුරෝගාමී ගෙන් අවුන් සාන් ගේ දියණියයි. ගෙන් අවුන් සාන් 1947 දී ඝාතනයට ලක්වූයේ මියන්මාරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබ ස්වාධීන රාජ්‍යයක් වන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ය.

අවුන් සාන් සු කී 1989 වර්ෂයේදී හමුදා අත්අඩංගුවට පත්විය. එතැන් පටන් දශක දෙකක කාලයක් මුළුල්ලේ හමුදා භාරයේ සිටි සු කී මහත්මිය නිදහස් වන්නේ 2010 වර්ෂයේදී. මේ මියන්මාරය තුළ පැවති හමදා පාලනය අවම වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ප්‍රවිශ්ට වීමට දොරගුළු විවර වෙමින් පැවති බවට සඳහන් වන කාලයකි.

ඈ 1991 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගය ලබා තිබීම ද විශේෂත්වයක්.

එතැන් පටන් සු කී මහත්මිය හැඳින්වූයේ ප්‍රජාතන්ත්‍රවාදයේ දියණිය ලෙසයි. ඈ මියන්මාරයේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ වීරවරියක් වූවා ය.

මියන්මාරයේ නිදහසින් පසුව 1962 වර්ෂයේ හටගත් හමුදා පාලනය ද සමඟ මිලිටරි ජුන්ටාව දශක 5ක් පුරා දිව ගොස් තිබිණි. එකී මිලිටරිකරණයට විරුද්ධව සටන් වැදුණු චරිතයක් වශයෙන් අවුන් සාන් සු කී මහත්මිය හැඳින්විණි.

2015 වර්ෂයේ පැවති මහමැතිවරණය ජයගැනීමෙන් අනතුරුව සු කී ප්‍රමුඛ රජයක් පිහිටවූ අතර, එය මියන්මාරයේ දශක පහකට පසු පිහිටවූ පළමු සිවිල්, ප්‍රජාතන්ත්‍රවාදී රජයයි.

ඈට සිදුවූයේ කුමක්ද?

කෙසේවෙතත්, ඇතමෙකු ඇගේ වෙනසක් දකින්නට ඇති. ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන්නේ හමුදා අත්අඩංගුවෙන් නිදහස් ව පැමිණි සු කී මහත්මිය මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව බවට පත්වූව ද එරට හමුදාවාදී පාලනයේ කිසිදු වෙනසක් සිදුනොවූ බවයි.

ඇතමෙකු පවසන්නේ නව අදහස් හා යෝජනා වලට කන් දීමට ඈ සූදානම් නොවූ බවයි. ඈ සමඟ හමුවක් ලබා ගැනීම පවා අසීරුව තිබූ බවට බිස්නස් ඉන්සයිඩර් පුවත්පත වාර්තා කරයි.

ඇගේ පාලනය තුළ පැවති හමුදා පාලනයයෙන් මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගැනීම සඳහා කිසිදු නව ප්‍රතිපත්තියක් හඳුන්වා නොදුන් බවට බුරුම ව්‍යාපාරයේ බ්‍රිතාන්‍ය ශාඛාවේ ප්‍රධානී මාර්ක් ෆාර්ම්නර් පවසා තිබේ. ඔහුට අනුව මියන්මාරය එදා තිබුණේ යම් සෙයින් ද එලෙස ම තිබීමට සු කී මහත්මිය ක්‍රියා කර ඇත.

එමෙන්ම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමෙහි ලා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ද, වාර්ගික අර්බුදය අරඹයා හඬක් නැඟීමෙන් වැළකී සිටීම ද ඈට විරුද්ධව ගොනු වූ චෝදනා වේ.

මානව හිමිකම් ස්ලෝගනයෙන් ස්පොට්ලයිටය දිනා ගත් සු කී මහත්මිය මානව හිමිකම් වලට ම පිටුපා කටයුතු කරන්නියක ය යන මතවාදය දිගින් දිගටම ප්‍රවර්ධනය වන්නට විය.

ඈට විරුද්ධව ගොනුවූ තවත් චෝදනාවක් වනුයේ අධ්‍යාපනය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු අමාත්‍යංශ රැසක් තම සන්තකයේ තබා ගැනීමයි. සෑම ගැටළුවක් ම ක්ෂුද්‍ර කළමනාකරණය කිරීම ඇගේ පුරුද්දයි. මියන්මාර පාර්ලිමේන්තුව තුළ හමුදා නියෝජනයක් පැවතීම ඈ කිසිවිටකත් ප්‍රශ්ණ නොකළාය. ස්වදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යංශ හමුදා සහ පොලිසිය යටතේ පැවතීම ඇය ප්‍රශ්ණ නොකළාය.

මෙය උඩු දිව හිනි පෙත්තකට නැඟි අවස්ථාවක් පැමිණියේය.. ඒ රෝහින්ග්‍යා ඛේදවාචකයයි!

ප්‍රජාතන්ත්‍රවාදයේ හැතිරිය අවුන් සාන් සු කී???

දේශප්‍රේමය පපුතුරුලෙන් වෑස්සෙමින් පපුවට ගසා ගෙන අහිංසක මිනිසුන් ගේ ඔලු පලන දේශපාලුවන් පිළිබඳ අපි අසා ඇත්තෙමු. ඉන්ද ඔබ්බට ජිනීවා සිහිපත් කළ විට බෝදිලිමන් මෙන් වර්ණ වෙනස් ව අධිසංවේදී වන මානව හිතවාදීන් ද අපි දැක ඇත්තෙමු. සු කී නෝනා ට සිදුවූයේ ද එයම ද යන්න අපි නොදනිමු.

රෝහින්ග්‍යා ඛේදවචාචකය අප කාටත් මතක ය. ‘ජනවාර්ගික පවිත්‍රතාවයක්‘ සිදුකරනු වස් ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව බංගලිදේශ සීමාවට පළවා හැරීමට මියන්මාර හමුදාව දියත් කළ බිහිසුණු ප්‍රහාරය ඔබට මතක ඇත. අවතැන් වූ අසරණ රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් රැකවරණය පතා කඳවුරු වෙත පිය මැන්න අයුරු ආවර්ජනය කිරීමට 2017 වර්ෂයේ පළවූ සෑම මාධ්‍ය වාර්තාවකම සිරස්තල සාක්ෂි දරනු ලබයි.

මීට එරෙහි ව අවුන් සාන් සු කී කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. අවම මට්ටමින් එම නීච මිලිටරි ක්‍රියාදාමය විවේචනය ද නොකළා ය.

ඈට සිදුවූයේ කුමක් ද?

මානව හිමිකම් ධජය අතට ගෙන කරලියට පැමිණි සු කී මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදයේ හැතිරියක් බවට පත්වීමට වැඩිකලක් ගත නොවී ය. මියන්මාරය යනු අවතැන්භාවයෙන් තොර බලාපොරොත්තුවෙන් පිරි ජනවාර්ගික විවිධත්වයේ තෝතැන්න බවට පාරම් බාමින් පැමිණි අවුන් සාන් සු කී මාධ්‍යවේදීන්ට පිළිතුරු සැපයීම, ජාත්‍යන්තර සමුළු වලට සහභාගී වීම, ඈ ප්‍රශ්ණ කළ ලෝක නායකයින්ට පිළිතුරු සැපයීම ප්‍රතික්ෂේප කළා ය.

ඒ සෑම දේටම වඩා හැඬූ කඳුලින් හිසට සෙවන ඉල්ලූ අසරණ රෝහින්ග්‍යාවරුන්ගේ දරු පැටවුන් දෙස වත් ඈ එක මොහතක් හෝ හැරී බැලුවේ නැත.

සු කී ට ලැබුණු නොබෙල් සාම ත්‍යාගයේ ගෞරවය රැකීමට පවා ඈ අසමත් ව ඇති බවට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය වරක ප්‍රකාශ කර තිබිණි. මියන්මාර්යේ උඩුදුවමින් තිබූ ජනවාර්ගික අර්බුදය අරඹයා ඈ හඬක් නොනැඟුවේ ඇයි?

දශක දෙකක හමුදා සිරකාරියක් ව මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට සටන් බිමට පිවිසි සු කී නෝනාට පීටීඑස්ඩී වැළදුනා ද?

කෙසේ වෙතත්, ඈ හමුවේ යළිත් වරක් මිලිටරි පාලනයක් මතු ව තිබේ. ඇගේ ජීවිතයේ දෙවන වරට ද හමුදාවේ අණසකට යටත් වීමට ඈට සිදුව තිබේ.

නමුත් අපට තිබෙන ගැටළුව මීට දශකයකට පමණ ඉහත හමුදා සිරභාරයෙන් නිදහස් ව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පැමිණි ඈ සැබවින් ම හමුදා හස්තයෙන් ගිලිහුනා ද යන්නයි.

මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ වීරවරියකට කිරුලු පළඳා යුධ අධිකරණයේ පියගැටපෙළ ගනින්නට සිදුවූ ලොව එකම කාන්තාව ඇය ද යන්න අප දන්නේ නැත.

තමා වරක පෙනි සිටි දෑ තමා විසින් ම අමතක කර දැමූ වාතාවරණයක් තුළ අවුන් සාන් සූ කී මහත්මියට අත් වූ ඉරණම අපගේ වහරේ කියන්නේ දිට්ඨදම්මවේදනීය කර්මය පල දුන්නා වැනි ය යනුවෙනි. ඈ යළිත් වරක් හමුදා අණසක ට යටත් ව සිටින්නීය.

සූ කී නෝනා ට දැන් අහිමි වන්නට දෙයක් ඉතිරි ව ඇත් ද යන්න ගැටළුවකි.. දැන් නැවත වරක් මානව හිමිකම් සරණං ගච්ඡාමි යැයි සිහිපත් කරන්නට ඈට සිදුවනු ඇත.

ආරාධිත කතුවරියක් විසිනි


ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාර්කෝසිට වසර 3ක සිර දඬුවමක් නියම වෙ​යි

Attenborough’s Life In Colour: ඩේවිඩ් ඇටෙන්බරෝ දේශගුණික විපර්යාසයේ අඳුරු යථාර්ථය අතහැර පෘථිවියේ සුන්දරත්වය සොයා යයි

දරුවන්ට ශාරීරික දඬුවම් පැනවීම තහනම් කරමින් පනතක් පාකිස්තානයෙන්!

2021 ගොල්ඩන් ග්ලොබ් සම්මාන උළෙල ඔන්ලයින් තාක්ෂණයෙන්!

මියන්මාර හමුදා කුමන්ත්‍රණය: මරණය කලින් දුටු ඉන්ජිනේරුවා

කෂෝගි ඝාතනයේ නොකී කතාව – The Dissident වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කතා කරයි

‘නිහඬ සර්පයා‘: වසර 22 ක් නිදැල්ලේ සිටි ස්ත්‍රී දූෂණ සැකකරුවා

ඇමරිකානු සමානාත්මතා පනතට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය!

error: Content is protected !!
error: Content is protected !!