×

“සොයුරියනි අප එය කළා”! – ගබ්සාව නීතිගත කළ ආර්ජන්ටිනාවේ ‘හරිත ලේන්සු‘ ව්‍යාපාරය සහ ලංකාවේ අපි

ගබ්සාව නීති ගත කරන්නට ආජන්ටිනාවේ සෙනෙට් සභාව ඡන්දය දුන්නේ, ගබ්සාව නීතිගත කළ ප්‍රථම සහ ප්‍රධාන ලතින් ඇමරිකානු රාජ්‍යය බවට ආජන්ටිනාව පත් වෙමිනි.


ගර්භණී තත්ත්වයේ සිට 14 වැනි සතිය තෙක් ගබ්සාව නීතිගත කරන්නට බදාදා එරට සෙනෙට් සභාව, බලපෑම්කාරී කතෝලික පල්ලියේ විරෝධතාව මධ්‍යයේ ඡන්දය ප්‍රකාශ කළේ ය.

සියවස් ගණනක් මුළුල්ලේ කතෝලික පල්ලිය තම බලාධිකාරය සංස්කෘතික හා දේශපාලනික වශයෙන් පවත්වා ගෙන ගිය රාජ්‍යයක් වන එම කලාපයේ ගබ්සාව ඉතා දුලබව සාකච්ඡා කෙරෙන මාතෘකාවකි. පෙරදී මෙය කිරීමට හැකියාව තිබුණේ කියුබාවේ, උරුගුවේ හි සහ මෙක්සිකෝවේ ඇතැම් කොටස්වල පමණකි. රාත්‍රිය පුරා පැවැති විවාද මැරතනයකින් පසුව අතිශය විවාදශීලී වූ මෙම ඡන්දය පැවැත්වූයේ උදෑසන 4ට ය. ඡන්දය 38ට 29ක් ලෙස සහ අයකු ඡන්දය දීමෙන් වැළැකී සිටිමෙන් අවසන් වූ යේ ය.

“සොයුරියනි අප එය කළා. අප ඉතිහාසය වෙනස් කළා. අප එක්වයි එය කළේ. මේ මොහොත විස්තර කරන්නට වදන් නැහැ. එය සිරුර සහ ආත්මය විනිවිද යනවා” යැයි නීතී සම්පාදිකාවක් වන මොනිකා මචා ට්විටර් පණිවිඩයක් ඔස්සේ කියා සිටියේ එයයි.

දිගු අඳුරු වසර අග මතු වූ රිදී රේඛාව

ඒ අනුව 2020 වර්ෂයේ නිමාව සනිටුහන් වද්දී, දිගු අඳුරු වසරක අග රිදී රේඛාවක් සටහන් විය. ආජන්ටිනාව තම ස්ත්‍රී අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසය නැවත ලියුවේ ය.

වත්මන් නීතියේ එක් වැදගත් ලිබරල් ලක්ෂණයක් වන්නේ ගැබිණිය ගේ සෞඛ්‍යය අනතුරක වීම සහ ස්ත්‍රී දූෂණයකින් ගැබ් ගැනීම යන ව්‍යතිරේක අවස්ථාවන්හි හැර ගබ්සාවට අනුමැතිය නොලැබෙන වත්මන් නීතිය එයින් ප්‍රතිසංස්කරණයට ලක් වන නිසා ය.

ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් මේ පනත් කෙටුම්පත නීතියක් බවට පත් කරන්නට ප්‍රතිඥා දී ඇති එසේ කළ පසු,  තම ගැබිණි බව ඉදිරියට ම පවත්වාගෙන යනවා ද නැති ද යන තීරණය කාන්තාවන්ට ගත හැකි කලාපයේ රටවල් ස්වල්පයෙන් එකක් බවට ද පත් කරයි.

ආජන්ටීනියානු ස්ත්‍රිවාදිනියක සහ International Planned Parenthood Federation ආයතනයේ බටහිර කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කලාප අධ්‍යක්ෂිකාව වන ගිසෙල් කැරිනෝට අනුව නම්, මෙය නීත්‍යානුකූල ගබ්සාව සම්බන්ධයෙන් පමණක් නො වේ. “එය කාන්තාවන් පරිපුර්ණ ය යන අදහස සම්බන්ධ ව යි,” ඇය කියයි. “එය මහජන සෞඛ්‍යය සහ යමකු ගේ ජීවිතය ආරක්ෂා කිරීම පිළිබද ව යි. එහෙත් මෙහිදී එය යමකුට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ කොටසක් විය හැක්කේ කෙසේ ද යන්නත් පිළිබඳ ව යි – එය රටක පුරවැසිභාවය පිළිබඳ ව යි.”

2018 සිට ආජන්ටිනියානු කතුන් වීදිවල උද්ඝෝෂණය කරමින් සිටියේ මෙයයි. එනම් කාන්තාවන්ට සම්පූර්ණ පරමාධිපත්‍ය ලද පුරවැසියන් සහ සමාජයේ සමාන කොටස්කරුවන් වන්නට නම් ඔවුන්ට ඔවුන් ගේ සිරුරේ සම්පූර්ණ අධිපතීත්වය අවශ්‍ය බව යි.

මේ ජයග්‍රහණය ඔවුන් ලබා ගන්නේ දශක ගණනක ස්ත්‍රීවාදී ක්‍රියාකාරීත්වයේ සහ කාන්තා ව්‍යාපාරයේ, තම ගැටලු එකිනෙක සම්බන්ධ සහ එකමත එක යන ගැටලු දෙස හදුනා ගැනීමට කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. ආජන්ටීනියානු ස්ත්‍රීවාදින් ගේ පණිවුඩය මෙයයි: කාන්තාවකට තම ප්‍රජනන ප්‍රද්ධතියට සිදුවන දෙය ඇගේ සිරුරේ සහ ජීවිතයේ ඉතිරියට සිදු වන දෙයින් වෙන් කළ නො හැකියි — එනම් ගබ්සා අයිතීන්වල සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව ජීවත්වීමේ අයිතිය, පාසලකට යාමේ අයිතිය, සාධාරණව ගෙවීමක් ලබන්නට ඇති අයිතිය, දේශපාලන නියෝජනයට ඇති අයිතිය සහ තමන්, තමන් ගේ ජීවිතය සමග කුමක් කරන්නේ ද යන්න තීරණය කරන්නට ඇති අයිතියෙහි ඇති අවියෝජනීයත්වය යි.

මේ ස්ත්‍රීවාදීහු මෙසේ අසති: කාන්තාවකට තමා දරුවකු ලබන අවස්ථාව පිළිබද තීරණයක් ගැනීමට නොහැකි නම්, තමාගේ අනාගතය සැලැසුම් කර ඇගේ සිහින ලුහුබැඳ යන්නේ කෙසේ ද? රාජ්‍යය කාන්තාවන් ගේ ප්‍රජනන ජීවිතය පාලනය කර, ඔවුන්ට ගැබිණි තත්ත්ව පවත්වාගෙන යන්නට බල කර, ඔවුන් ගේ සෞඛ්‍යය සහ ජීවිතය අනතුරේ හෙළා තම කැමැත්තට එරෙහිව දරුවන් වදන්නට බල කරන්නේ නම්, අප කාන්තාවන්ට පුරුෂාධිපත්‍යයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර දිවියක් ගත කරන්නට අයිතිය ඇත්තේ යැයි කියන්නේ කෙසේ ද?

කැරිනෝ පවසන ආකාරයට ආජන්ටිනාවේ ගබ්සා අයිතීන් ව්‍යාපාරය එරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට සහ වෙනස් කොට සැලැකීමට විරුද්ධ ව්‍යාපාරය හා සම සමව යන්නේ කාන්තාවන් ගේ ජීවිත දේශපාලනීකරණය නොවිය යුතු බැවිනි.

හරිත ලේන්සුව

මේ ව්‍යාපාරයේ සංකේතය ලෙස සැලැකෙන්නේ ‘හරිත ලේන්සුව‘ යි. එය ලතින් ඇමරිකාව පුරා ම කාන්තා අයිතින් පිළිබද සංකේතයක් ලෙස පැතිර ගොස් තිබේ. “ආජන්ටිනාවේ වීදීවල ඇවිද යන ඔබට, කොළ පැහැ ලේන්සුවක් තම බෑගයේ ගැටගසා ගෙන පාසල් යන සිසුවියන් දකින්නට පුළුවනි,” කැරිනෝ කියයි. “එය නිදහසේ සහ පුරවැසිභාවයේ සංකේතයක් බවට පත්ව තිබෙනවා.”

ගබ්සාව සම්බන්ධයෙන් ආජන්ටිනාවේ යථාර්ථය ඒ සම්බන්ධ නීතී රීති යල්පැනගොස් ඇති අනෙක් රටවලට සමාන ය: හැකියාවක් ඇති ඇතැම් ගැහැණුන් යම් තරමක් හෝ ආරක්ෂිත එහෙත් අනීතික ක්‍රම ඔස්සේ තම අනවශ්‍ය ගැබිණිබව ඉවත් කර ගන්නා අතර එතරම් හැකියාවක් නොමැති ගැහැණුන් – බොහෝ විට ගම්බද, ආදිවාසි සහ දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන් වෙත ඇත්තේ විකල්ප ඉතා අවම සංඛ්‍යාවකි. ඔවුන් අනීතික සහ ආරක්ෂාකාරි නොවන ගබ්සාවන් වෙත යොමුවන අතර එසේ නොවේ නම් තමන්ට අවශ්‍ය නොවන ගැබිණි බවක් දරති.

මේ සෑම කාන්තාවක් ම, බොහෝ විට දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන් මේ අනාරක්ෂිත ගබ්සා නිසා අනතුරකට පත්වන්නට හෝ මිය යන්නට ඇති අවදානම සේ ම, ඔවුන් පොලීසිය විසින් හසුකරගතහොත් සිරගත වීමට ඇති අවදානමට ද මුහුණ පාති. ඔවුන් සියලු දෙනා ම අපකීර්තියට පත් කරන ලද වෙති — ලජ්ජාවට පත් විය යුතු අපරාධකරුවන් ලෙස හංවඩු ගසනු ලැබෙති. මේ ලොව අන්තැනක ගැහැණුන් මිලියන ගණනින් තම සිරුර වෙනුවෙන් ගන්නා තීරණයක් වෙනුවෙනි.

ආජන්ටිනාවේ ගබ්සාවට අවසර ඇති අවස්ථාවන් හි දී පවා — උදාහරණයක් වශයෙන් ස්ත්‍රී දූෂණයක දී — නිසි වෛද්‍ය සහ නීති පහසුකම් නොමැති ගම්බද ප්‍රදේශවල ගැහැණුන් සහ ගැහැණු දරුවන් බොහෝ විට කිසිදු හව්හරණක් නොමැති තත්ත්වයට පත් වෙති. එසේ ම දැඩි මතධාරී නිලධාරියකුට ගබ්සා විරෝධී පණිවුඩයක් යවන්නට අවශ්‍ය වන්නේ නම් මේ කාන්තාවන්ට හා වෛද්‍යවරුන්ට නීතියට අනුගත වුවත් ඔවුන්ට සලකනු ලැබෙන්නේ අපරාධකරුවන්ට මෙනි.

සීමාකාරී ගබ්සා නීතිවලින් සිදුවන අනර්ථ බොහෝ ය: ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අනාරක්ෂිත ගබ්සා ලොව පුරා මාතෘ මරණ ඉහළ යාමට ප්‍රධාන සාධකයකි. ගබ්සාව නීත්‍යානුකූල නොවන සහ ඊට අඩු පහසුකම් ඇති රටවල කාන්තාවන් වැඩි වශයෙන් ම මේ හේතුව නිසා මිය යති. අනාරක්ෂ්ත ගබ්සාවකින් මිය යන සෑම කාන්තාවකට ම කාන්තාවන් දහස් ගණනින් ගබ්සා නිසා අනතුරට පත් වෙති. දියුණුවෙමින් පවතින රටවල කාන්තාවන් මිලියන් 7කට ආසන්න සංඛ්‍යාවක් අනාරක්ෂිත ගබ්සා නිසා රෝහල් ගත කෙරෙති. ගෝලීය වශයෙන් ඩොලර් බිලියන අර්ධයකට වඩා අනාරක්ෂිත සහ සාමාන්‍යයෙන් අනීතික ක්‍රියාමාර්ග නිසා ඇතිවන සංකූලතාවලට ප්‍රතිකාර කිරීමට වැය වේ. ලතින් ඇමරිකාවේ Guttmacher ආයතනයේ පර්‍යේෂණ පෙන්වා දෙන පර්දි බොහෝ ගබ්සා අනාරක්ෂිත ඒවා වේ.
ආජන්ටිනාව ඉහළ මධ්‍යම ආදායමක් සහිත කලාපීය බලවතෙකි. ගබ්සාව නීතිගත කිරීමේ බලපෑම බ්‍රසීලය සිට චිලී රාජ්‍යය සිට කොලොම්බියාවටත් ඉන් ඔබ්බටත් පැතිර යනු ඇතැයි කියැවේ. මේ කලාපය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මව්බිම වුවත්, ආජන්ටිනියානු ස්ත්‍රීවාදීන් පෙන්වා දෙන අන්දමට විශේෂයෙන් ම තරුණ පරපුර අතර මේ සම්බන්ධයෙන් ප්‍රගතිශීලි අදහස් වර්ධනය වී තිබේ.

“අපට තිබුණේ ඉතාම නරක අවුරුද්දක්,” කැරිනෝ කියයි. එහෙත් මෙය “ඉතාම නරක කාලවකවානුවලදී පවා අපට ඒවා මැඩ පවත්වාගෙන, දිගින් දිගට ම අරගල කර සාර්ථක විය හැකි බව” පෙන්වා දෙතැයි ඇය කියා සිටියි.

ලංකාවේ අපි?

ඉතා දැඩි කතෝලික බලපෑමක් සහිත ලතින් ඇමරිකානු රටක් වන ආර්ජන්ටිනාව පවා, මේ අන්දමින් ස්ත්‍රියට සිය සිරුර ගැන තීරණ ගැනීමේ අයිතිය දෙන තත්වයට යොමු වද්දී ලංකාවේ අප සිටින්නේ කොතැනකද?

ලංකාවේ ගබ්සාව නීතිගත කළ යුතු බවට සමාජ ව්‍යාපාර විසින් හඬ නගමින් පෙන්වා දෙන සෑම අවස්ථාවක්ම, කතෝලික පල්ලිය ඇතුළු ආගමික බලපෑම විසින් නිහඬ කරන ආකාරය දැකගත හැකිය.

නමුත් එසේ නිහඬ කර ඇති රටක කාන්තාවන් ගබ්සාවන්ට ලක් වීමේ හෝ කිරීමේ සංඛ්‍යා ලේඛන මොනවාද?

2014 වර්ෂයේ ප‍්‍රකාශයට පත් කළ ‘කාන්තාව සහ ගැහැනු දරු ආරක්ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා නීති නාමාවලිය (පිටුව 142) සඳහන් කරන ආකාරයට ලංකාවේ දිනකට ගබ්සාවන් 800 ක් සිදුවේ. රටේ සජීව දරු උපත් සංඛ්‍යාව වසරකට 380,000 ක් වන විට ගබ්සා කිරීම් සංඛ්‍යාව 290,000 කි.

එසේ වන්නේ ඇයි දැයි ගබ්සාව අමානුෂික යැයි කියන අය මානුෂිකව සිතා බැලුවාද?

ලංකාවේ ගබ්සාවන් සිදුකර ගන්නා අය අතරින් 90%ක්ම විවාහක කාන්තාවන් වීමේ ඛේදවාචකය ගැන ගබ්සාවට එරෙහිව හඬ නගන අය කතා කරනවාද? එපමණක් නොව, ලංකාවේ ස්ත්‍රී දූෂණයට ලක් වන මවකට පවා, ගබ්සාවට අවසර නැත. ආර්ජන්ටිනාවේ මෙතෙක් පැවතියේ ද මේ හා සමාන තත්වයකි.

ලංකාවේ තිබෙන වික්ටෝරියානු යුගයේ යල්පැන ගිය දණ්ඩ නීති සංග්‍රහය අනුව, නීතිය ගබ්සාව අපරාධ වරදක් බව ය. ව්‍යාතිරේඛය ‘මවගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය විට පමණක් එය අපරාධ වරදක් නොවන බව ය. දණ්ඩ නීති සංග්‍රහයේ 303, 304 සහ 305 වැනි වගන්තිවලින් පැහැදිලිවම දක්වා ඇති ආකාරයට ගබ්සාව අපරාධ වරදකි. එවිට දඩයකට හා සිර දඬුවමකට ඇය යටත් වනු ඇත.

‘මවගේ ජීවිතය බේරාගැනීම‘ යන්නෙන් අදහස් කරන්නේ ඇයට මරණයෙන් බේරාගැනීම බව ය. නමුත් තමන් අකමැති, තමන්ට දරාගැනීමට හැකියාවක් නැති දරු ගැබක් දැරීම, ‘මැරි මැරී ජීවත් වීමක්‘ බව නීති සාදන අය හෝ නීති ක්‍රියාත්මක කරන අය සිතන්නේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි