×

අදත් ඉතාලියේ 627 ක් මිය ගිහින් – හමුදා සහායෙන් ලොක්ඩවුන් කරන්නට සැරසෙයි

ඉතාලියේ අද දිනය තුළ ද පුද්ගලයන් 627 දෙනෙකු කොරෝනා/කෝවිඩ්-19 ආසාදනය හේතුවෙන් මරණයට පත් ව තිබේ.


මෙය කොරෝනා හේතුවෙන් පැය 24 ක් ඇතුළත ලෝකයේ වැඩිම මරණ ගණනක් වාර්තා වූ අවස්ථාවයි.

මේ සමගම ඇති වී තිබෙන තත්වය පාලනය කිරීම සඳහා හමුදාව කැඳවීමට තීරණය වී ඇත.

ලොම්බාඩි පළාතේ තත්වය අතිශය කණගාටුදායක අතර, දිනපතා නව රෝගීන් දහස් ගණනක් හමුවෙමින් පවතින බව ද වාර්තා වේ. ඊයේ දිනයේ පමණක් නව ආසාදිතයන් 6,000 ක් වාර්තා වූයේ මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 47,000 සීමාව ඉක්මවා යමිනි.

ලොම්බාඩි පළාතේ කෝවිඩ්-19 මර්දනය සඳහා චීන සෞඛ්‍ය සේවකයන් ද කැඳවා තිබෙන අතර, ඔවුන් පවසා තිබෙන්නේ පළාත් සෞඛ්‍ය බලධාරීන් විසින් රෝගය පාලනය සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ය.

මේ වන විට උතුරු ඉතාලියේ ලොම්බාඩි පළාත ලොක්ඩවුන් කිරීම සඳහා හමුදා බලඇණි කැඳවා ඇති ආකාරය ද දැකගත හැකිය.

ලෝකයේ කොරෝනා මරණ 11,000 අතරින් 4000ක්ම ඉතාලියෙන්

මේ වන විට ඉතාලි වැසියන් 4000 ක් දෙනා රෝගය හේතුවෙන් මරණයට පත් ව ඇත. රටේ සිවිල් ආරක්ෂණ ඒජන්සියේ නිල සංඛ්‍යාලේඛනය වන මෙය පැහැදිලි කර දෙන්නේ ලෝකයේ වැඩිම කොරෝනා මරණ ගණනක් සිදුවූ රට බවට දැනටමත් ඉතාලිය පත්ව ඇති බවයි.

මිය යන සංඛ්‍යාවන් හරි හැටි ගණන් කිරීමක් පවා නොකරයි

මිලාන් නුවර හෙදියක වන ඩැනියෙලා කොන්ෆාලොයිරි සීඑන්එන් පුවත් සේවය සමග පවසන්නේ තත්වය ඉතා බරපතළ බවත්, මිය යන සංඛ්‍යාවන් හරි හැටි ගණන් කිරීමක් පවා නොකරන බවත් ය.

‘‘අපි වැඩ කරන්නේ අතිශයින්ම ආතතියට පත්වූ තත්වයක් යටතේයි. ලොම්බාඩිවල තත්වය අතිශයින්ම අවාසනාවන්තයි. මරණ අගය ඉතාම ඉහළයි වගේම අපි තවදුරටත් මිය යන සංඛ්‍යාව ගණන් කරන්නේත් නැහැ.. මේ තත්වය ඔබට හිතාගන්නවත් බැහැ“

මේ අතර ලොම්බාඩි හි බර්ගාමෝ නගරයේ වෛද්‍යවරයෙකු පවසා තිබෙන්නේ දැඩි සත්කාර අවශ්‍ය රෝගීන් රටේ සෙසු රෝහල්වලට මාරු කර යවන බව ය.

මරණවලින් 86%ක් වයස 70 ට වැඩි අයයි!

කොරෝනා රෝගය ප්‍රබල ලෙසම පහර දී තිබෙන්නේ ඉතාලියේ වැඩිහිටි ජනගහනය වෙත ය. ඉතාලි සෞඛ්‍ය ආයතනයේ නිල දත්තවලට අනුව මරණයට පත් ව ඇති අයගෙන් 86%ක් දෙනා වයස 70 ඉක්මවූ අය වේ. ඉතිරි 14% අතරින් 10%ක් වයස 60-69 අතර අය වේ.

රොයිටර්ස් පුවත් සේවය විසින් නිකුත් කරන ලද මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ හමුදා ට්‍රක් රථ වලින් ලොම්බාඩි නගරයේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය අයගේ මළ සිරුරු එකතු කරගෙන ඒවා රැගෙන යන ආකාරයයි.

[embedyt] https://www.youtube.com/watch?v=Os1TJHJ_ijc[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි