×

අනතුරු ඇඟවීම් නොතකා සුකී වෙනුවෙන් මියන්මාර වැසියන් දහස් ගණනින් වීථි බසියි

මියන්මාරයේ බලහත්කාරී හමුදා පාලනයට එරෙහිව ලක්ෂ ගණනක් ජනයා විරෝධතා සඳහා එක්ව සිටින බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. 


හමුදා පාලකයින් විසින් එල්ල කර තිබෙන ජීවිත අහිමි කිරීමේ බලපෑම් පවා නොතකා වෙළෙඳසැල් පවා වසා දමා විරෝධතා සඳහා ජනතාව එක්ව සිටියි.

මෙම හමුදා විරෝධී විරෝධතා හේතුවෙන් මේ වන විට ජීවිත දෙකක්ද අහිමි වී තිබෙන පසුබිමක තවදුරටත් එම විරෝධතාවලට සහය දීම සඳහා ජනතාව එක්රැස් වීම විශේෂත්වයක් සහ ඔවුන්ගේ දැඩි හමුදා විරෝධිභාවය පෙන්නුම්කරන්නක් ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ.

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ජල ප්‍රහාරක යන්ත්‍ර ද ස්ථානගත කර තිබෙන බව සඳහන්.

කෙසේවෙතත් එම සියලු මර්දන හමුවේ පසුගිය පෙබරවාරි 01 වැනිදා සිටම සිය ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව නිදහස් කරගැනීම වෙනුවෙන් ජනතාව පෙරට යමින් සිටියි.

මේ වන විට අවුන් සාන් සුකී නිවාස අඩස්සියට යොමුකර තිබෙන අතර ඇයට එල්ල කර තිබෙන චෝදනා වන්නේ නීති විරෝධී සන්නිවේදන උපකරණ භාවිතා කිරීම සහ ස්වාභාවික ආපදා නීතිය කඩ කිරීමය.

මියන්මාර හමුදාවේ ඡ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා වන “මින් අන්ග් හලින්ග්” පසුගිය (01) හමුදා කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලාගත් අතර එරට  නිල නොලත් පාලකයා ලෙස සැලකුණු අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වන විට එරට දේශපාලන නියෝජිතයින් සියයක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි