×

අන්තර්ජාල ප්‍රවේශය මූලික අයිතිවාසිකමකි – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

අන්තර්ජාලයට ප්‍රවේශවීම (Access to Internet) මූලික අයිතිවාසිකමක් බවට ඓතිහාසික තීන්දුවක් අද (10) දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙනු ලැබීය.


ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 19 වන වැනි ව්‍යවස්ථාව යටතේ මෙය මූලික අයිතිවාසිකමක් බවට පත්වන බව ද එහිදී තවදුරටත් ප්‍රකාශ විණි.

පංච පුද්ගල අධිකරණයකින් ලබාදුන් තීන්දුවක්

විනිසුරු එන්.වී. රාමන් ඇතුළු පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් මේ තීන්දුව ලබා දුන්නේ, ජම්මු කාශ්මීරයේ 2019 අගෝස්තු 5 දා සිට බලපවත්න අන්තර්ජාලය අවහිර කිරීම පිළිබඳ ඉදිරිපත් වූ පෙත්සම් ගණනාවක් සලකා බැලීමෙන් පසුව ය.

කාශ්මීර් ටයිම්ස් පුවත්පතේ කර්තෘ අනුරුද්ධ භාසින් විසින් ද එබඳු එක් පෙත්සමක් ගොනු කර තිබිණි.

නියෝගයක් නොවේ

මෙම නව තීන්දුවත් සමග අන්තර්ජාල අවහිරය ඉවත් කරන ලෙසට කිසිදු නියෝගයක් ලබා දී නැතත්, ශ්‍රේෂ්ඨාධිකරණය ජම්මු කාශ්මීර පරිපාලනයට දැනුම් දී තිබෙන්නේ සතියක් ඇතුළත මේ සම්බන්ධව පවතින සියලු විධාන සහ නියෝග සමාලෝචනයට ලක් කරන ලෙසයි.

තවද රෝහල්, අධ්‍යාපන ආයතන වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවලට වහාම අන්තර්ජාල පහසුකම ලබාදෙන ලෙස ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

තවද මේ ආකාරයට අන්තර්ජාලය තහනම් කිරීම ටෙලිකොම් නීතිවලට පටහැණි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.

තහනම් නියෝග Vs. සමානුපාතිකතාවය

ජම්මු කාශ්මීරයේ අන්තර්ජාල අවහිරය ඇති කරනු ලැබුවේ, 370 වගන්තිය මගින් පිරිනමා ඇති විශේෂ තත්වය යටතේ පැනවූ 144 CrPC (තහනම් නියෝග) යටතේ ය.

නමුත් අන්තර්ජාල අවහිරය වැනි තහනම් නියෝග මේ නීතිමය තත්වය යටතේ නිකුත් කළ නොහැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේය.

‘‘144 CrPC යටතේ ඇති බලතල, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නීත්‍යානුකූල ලෙස ප්‍රකාශ කිරීම මැඬලීම සඳහා පාවිච්චි කළ නොහැකිය‘‘ යැයි ද නඩු තීන්දුවේ සඳහන් වේ.

ඒ නිසා තහනම් නියෝග ලබාදීමේදී මහේස්ත්‍රාත්වරුන් විසින් 19(2) අනු ව්‍යවස්ථාවේ සඳහන්‘සමානුපාතිකත්වයේ සිද්ධාන්තය‘ (doctrine of proportionality) අනුගමනය කළ යුතු වන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් සඳහන් කරයි.

‘‘මේ අන්තර්ජාලයට පිවිසීමේ නිදහස සීමා කළ හැක්කේ අදාළ සාධක සලකා බැලීමෙන් පසුව සහ, වෙනත් විකල්පයක් නොමැති නම් පමණයි..‘‘ යනුවෙන් ද විනිසුරු රාමනා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී කියා සිටියේය.

අන්තර්ජාල ප්‍රවේශය ප්‍රකාශනයේ නිදහසේ කොටසකි.

මේ අනුව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමේ අයිතිය සලකනු ලබන්නේ ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ/ ප්‍රකාශනයේ නිදහසේ කොටසක්‘ ලෙස ය.

දේශපාලන අරමුණ අපට වැඩක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

තහනම් නියෝග පිටුපස ඇති දේශපාලන අරමුණ ගැන ගැඹුරින් සලකා බැලීමේ අවශ්‍යතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බව ද විනිසුරු රාමනා අවධාරණය කළේය.

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් හි බලපැවැත්වුණේ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඉතිහාසයේ දැකගත හැකි වූ දීර්ඝතම අන්තර්ජාල බිඳ වැටීමයි. එය මාස 5 ක කාලයක් තිස්සේ සිදුවෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ ‘අදහස් දැරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත ඩේවිඩ් කායි විසින් ද මෙම අන්තර්ජාල තහනම කාශ්මීර වැසියන්ගේ අයිතිවාසිකම්වලට සමානුපාතික නොවන බලපෑමක් සිදුකරන බව මීට පෙර පවසා තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි