×

අනේ මේ රෝස මල බේරාගන්න තිබුණා..!

ඇගේ නමත් සෆී-රෝස්. රෝස මලකි. වයස 8 කි.


ඊට වඩා ඇය ජීවත් නොවුණේ මීට තුන් වසරකට පෙර, 2017 මැයි 22 වැනිදා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර සංගීත ප්‍රසංගයට (මැන්චෙස්ටර් ඇරීනා) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙනි. ඊටත් වඩා, නවතම වාර්තාවලට අනුව, එම ප්‍රහාරයෙන් පසුව ඇයට නිසි වේලාවට ප්‍රථමාධාර නොලැබීම නිසා ය.

පුංචි සෆී රෝස් මිය යන්නේ ප්‍රහාරයෙන් මාරක තුවාළ ලැබීම නිසා බව එකල සඳහන් විය. නමුත් සත්‍ය වශයෙන්ම ඇය අකාලයේ මිලින වන්නේ පාදවල සිදුවූ අධික රුධිර වහනය හේතුවෙනි. ඇගේ පාදවලින් රුධිර වහනය අඩු කිරීම සඳහා කිසිවෙකු උත්සාහ කර තිබුණේ නැත.

සල්මන් අබෙදි නමැති ත්‍රස්තවාදියෙකු විසින් එල්ල කළ මෙම ප්‍රහාරයේදී කුඩා දරුවන් ද ඇතුළු 22 දෙනෙකු මිය ගියහ. මිය ගිය ළාබාලතමයා සෆී රෝස් ය.

ප්‍රහාරයෙන් මිය ගිය අය

මේ අතර ජෝන් ඇට්කින්සන් නමැති 28 තරුණයාට ප්‍රතිකාර ලැබී තිබුණේ රැස්ව සිටි අය විසින් ඔහුව තාවකාලික වෛද්‍ය කූඩාරමක් වෙත ඔසවාගෙන ගිය පසුව ය. පිපිරීමෙන් පැයකුත් විනාඩි 17කටත් පසුව ඔහු හෘදයාබාධයකට ගොදුරු විය.

මැන්චෙස්ටර් ඇරීනා හි සිදුවූ සංහාරය ගැන මුලින්ම කළ පරීක්ෂණවලින් කියැවුණේ මේ අය කිසිවෙක් දිවි බේරාගත හැකි මට්ටමක නොසිටි බව ය. නමුත් සියල්ල දැන් උඩු යටිකුරු වෙමින් තිබේ.

රෝස්ගේ පවුලේ නීතීඥවරුන් Manchester Arena Inquiry යනුවෙන් මේ දිනවල පැවැත්වෙන විශේෂ පරීක්ෂණයක් සඳහා පුරෝගාමී වන්නේ ඇයට සිදුවූ දේ සවිස්තරාත්මක ව සොයාගැනීමේ අරමුණිනි. එහිදී විවිධ විශේෂඥයන් ලවා ඇගේ මරණ පරීක්ෂණය නැවත නැවතත් සිදු කෙරිණි.

අවසානයේ කියැවුණේ ඇගේ ජීවිතය, නිසි වේලාවට ප්‍රථමාධාර ලැබිණි නම් බේරාගත හැකිව තිබූ බවයි.

පිපිරීමෙන් විනාඩි 40ක් යන තෙක් ගිලන් රථයක් පැමිණ නැහැ!

මුළු මහත් මහා බ්‍රිතාන්‍යයම හැඬවූ මැන්චෙස්ටර් ඇරීනා සිද්ධිය පිළිබඳ තවත් ඉතා වැදගත් තොරතුරු රැසක් මේ සමග කරළියට එමින් තිබේ. ඒ අනුව පිපිරීම සිදුවී විනාඩි 40 ක් යන තෙක් ගිලන් රථ පැමිණ තිබුණේ නැත. එසේ විනාඩි 40කට පසුවත් පැමිණ සිටියේ එක් ගිලන් රථ සේවකයෙකු පමණි. ගිනි නිවන භටයන් පැමිණෙන්නට පැය 2කට ද අධික කාලයක් ගත විය. මැන්චැස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරිපාලකයන් සහ පාලකයන් දැක්වූ ‘හදිසි ප්‍රතිචාරය‘ එනම් emergency response කොතරම් පහළ තත්වයක තිබුණේදැයි මෙම පරීක්ෂණයෙන් හෙළිදරව් වේ. CCTV දර්ශන මෙන්ම ක්‍රීඩාංගනයේ රැස්ව සිටි ඇතැමුන්ගේ ළඟ තිබූ කැමරාවල වීඩියෝ ද ඒ සඳහා සාක්ෂි ලබාගැනීමට යොදා ගැනේ.

මේ පරීක්ෂණයේ අරමුණ මෙම ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබිණිද, emergency response ප්‍රමාණවත් වීද, ප්‍රසංගයේ ආරක්ෂක විධිවිධාන කෙසේ පැවතිණිද යනාදී කරුණු හෙළිකර ගැනීමයි. පුංචි සෆීරෝස්ගේ කතාව කරළියට පැමිණෙන්නේ එහි අතුරු කතාවක් ලෙස ය.

සියල්ල නැවත වරක් සාක්ෂි ඇසුරෙන් ප්‍රතිනිර්මාණය වෙමින් පවතින විට එයින් හෙළිවන ඒ සත්‍යය, ඒ ප්‍රමාදය සහ ඒ නොසැලකිල්ල බ්‍රිතාන්‍ය ජාතිකයන් ව කම්පනයෙන් සොළවා දමමින් තිබෙන්නේ පුංචි රෝස්ගේ අවසන් හෝරාව ගැන සවිස්තරාත්මක තොරතුරු හෙළිවීමත් සමග ය.

ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ අති බහුතරය, පිපිරීමෙන් මාරක තුවාළ ලබා තිබූ බව ද මෙම පරීක්ෂණයේදී සනාථ වූ නමුත්, අවම වශයෙන් මේ රෝස මල සිටියේ දිවි ගළවා ගත හැකි ඉරණමක ය.

‘අම්ම කෝ?‘

ඇගේ දෙමාපියන් මෙතෙක් කල් සිත සනසාගෙන සිටියේ, ඇය ක්ෂණිකව මරණයට පත් වන්නට ඇතැයි සිතා ය. අඩුම ගණනේ ඇය විඳවන්නේ නැතිව මියෙන්නට ඇති බව සිතා ය. නමුත් පුරා තුන් වසරක් ඔවුන් රැවටී තිබේ. දැන්, ලේ ගලන දෙපා සහිතව විලාප නගමින් ඔවුන්ගේ රෝස මල පැයකටත් වඩා විඳවූ බව ඔවුන්ට දැනගන්නට සිදුව තිබේ. ‘‘මම මැරෙයිද?‘ කියා තමන්ව ගිලන් රථයෙන් රෝහල කරා ගෙන ගිය පැරාමෙඩික් නිලධාරියෙකුගෙන් පුංචි රෝස් ඇසූ බව ද ඔවුහු දැන් දනිති. අවම වශයෙන් පුංචි රෝස මල ප්‍රහාරය හේතුවෙන් සිහි විසඥ තත්වයට පවා පත්ව සිටියේ නැත. පිපිරීමෙන් සුළු වේලාවකට පසුව හිස ඔසවා බැලූ රෝස්, අත් දෙකෙන් වාරු ගනිමින් නැගිටින්නට ද උත්සාහ කර තිබේ. ඇයට අයෙක් වතුර ටිකක් ද දී තිබූ අතර, ඇය අනතුරුව අසා තිබුණේ ‘අම්ම කෝ?‘ කියා ය. ත්‍රස්ත ප්‍රහාරය සිදුවූ ස්ථානයෙන් මුලින්ම පිටතට ගෙන තිබුණේ ද ඇයව ය. ඒ වන විට ගිලන් රිය පැමිණ නොතිබුණු නිසා ඇයට මරණය දැක දැක රස්තියාදු වන්නට සිදුව තිබිණි. අනතුරුව පැමිණි ගිලන් රියේද අවශ්‍ය කරන පහසුකම් තිබී නැත. අවසානයේ ප්‍රහාරයෙන් පැයකටත් වඩා වැඩි කාලකට පසුව, රාත්‍රී 11.30 ට පමණ ඇය රෝහලේදී අවසන් හුස්ව හෙළුවාය.

පුංචි දැරිය ඒ දෛවෝපගත දිනයේදී මව, පියා සහ සොයුරිය මැන්චෙස්ටර් ඇරීනා බලා පැමිණ තිබුණේ ඇගේ ප්‍රියතම ගායිකාව අරියානා ග්‍රාන්දේ වූ නිසා ය.

රෝස්ගේ මව සහ පියා වන ලීසා සහ ඇන්ඩෘ මේ තුන් අවුරුද්ද ගත කළේ ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල්වල අය වෙනුවෙන් පුණ්‍ය ආයතනයක් ආරම්භ කරමිනි. නමුත් මේ මැන්චෙස්ටර් ඇරීනා පරීක්ෂණයත් සමග, සත්‍යය දැන ගැනීමේ අයිතිය පසෙක තිබියදී ඔවුහු සදාකාලික වේදනාවකට ද පත්ව සිටිති.

දැරියගේ මව සහ පියා

පියා වන ඇන්ඩෘෘ රූසස් අපට මෙසේ කියයි – අපෙන් මෙසේ අසයි.

‘‘මේ වාර්තාව කියෙව්වට පස්සෙ මට මගෙ දූගෙ ෆොටෝ එක දිහා බලන්න බැහැ.. මට ඇය දිහා බලන්න බැහැ.. අපි මේ තොරතුරත් එක්ක ජීවත් වෙන්නෙ කොහොමද?…

‘‘අපි දැන් හුස්ම ගන්නෙ කොහොමද…?‘‘

මූලාශ්‍ර –

Sky News : Manchester bombing: Youngest victim in attack could have survived if treated faster, inquiry hears

BBC : Manchester attack: Saffie-Rose Roussos ‘could have survived with better first aid.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි