×

අම්මාට 29 යි – දූට 27 යි ! ලෝකයේ වැඩිම කාලයක් අධිශීත තත්වයේ සිට මව්කුසට ගිය සිඟිත්තියගේ කතාව

පුංචි රෝස පාට දැරිය මොලී ගිබ්සන්ගේ වයස දැන් මාස 2 ක් යැයි හැමෝම කියති.


නමුත් ජීවියෙකුගේ වයස කියන්නේ ඉපදුණු දා සිට නොව මව් කුස පිළිසිඳ ගත් දා සිට නම්, මේ වන විට පුංචි මොලීගේ වයස අවුරුදු 27 යි මාස 2 ක් විය යුතුය. එයට හේතුව, ඈ උපන්නේ අවුරුදු 27 ක් වයසැති කළලයකින් වූ නිසා ය.

ඇගේ කළලය අධි ශීත තත්වයට පත් කර තිබෙන්නේ 1992 ඔක්තෝබරයේ ය. 2020 පෙබරවාරි 20 වන තෙක් ඈ අධිශීත තත්වයෙන්ම සිටියාය. අවසානයේ ටීනා සහ බෙන් ගිබ්සන් යුවළ ඇයව මේ ලෝකයට ගෙන එන්නට තීරණය කළෝය.

සාර්ථක දරු උපතක් බවට පත් වූ, ලෝකයේ දීර්ඝතම කාලයක් ශීත කළ කළලයක් ලෙස සිටි දැරිය ලෙස ඇය දැන් වාර්තා පොත්වලට එක් වීමට නියමිත ය. මේ වාර්තාව මීට පෙර තබා තිබුණේ වසර 24 ක් එසේ සිටි ඇගේ සහෝදරිය එමා විසිනි.

‘‘අපිට කියන්න බැරි තරම් සතුටක්..‘‘ යැයි 29 හැවිරිදි මව ටීනා කියයි. පුරා වසර 5 ක් දරුවන් නැති සොවින් ඔවුන් ගත කළ අපා කාලය නිම කර දැමුවේ තාක්ෂණය විසිනි. අලුත උපන් බිළිඳියගේ වැඩිමල් සොයුරිය ද ඔවුන් ළඟ ය. 2017 වසරේදී එමා ට ඔවුන් උපත ලබාදුන්නේ ද ඒ අනුව ය. එමා ඉපදුණත් ඇගේ පුංචි අක්කා තවමත් ශීත කළ කළලයක් පමණක් බව ඔවුන් දැන සිටි අතර, නැවත වරක් මව්පියන් බවට පත්වන්නට ඔවුන් තීරණය කළේ ඒ අනුව ය.

අනාගතයේදී එමා සහ අලුත උපන් රෝස බිළිඳිය තමන් සැබවින්ම ජීව විද්‍යාත්මක වශයෙන් ද අක්ක-නගෝ බවත්, ආදරය සහ උණුසුම පිරුණු නිවසක තමන් ජීවත් වන බවත් දැනගනු ඇත.

දරු ඵල අහිමි දුක

embryo adoption හෙවත් කළල හදාවඩා ගැනීම ලෝකයේ එතරම් ජනප්‍රිය ක්‍රමයක් නොවේ. බීජ තැන්පත් කිරීමට වඩා මෙය බෙහෙවින් වෙනස් වන්නේ, ඒ වන විටත් සංසේචනය සම්පූර්ණ කළ කළලයක් මවගේ ගර්භාෂයේ තැන්පත් කරන හෙයිනි. මෙම කළල බිහි වී තිබෙන්නේ නළ දරු තාක්ෂණය ( in vitro fertilisation) ඔස්සේ ය. නමුත් ඒ නළ දරුවන්ගේ මව්වරුන් ඔවුන්ව කුමන හෝ හේතු නිසා මෙලොවට බිහි කර නැත. unused embryos හෙවත් භාවිතා නොකළ කළල ලෙස ඒවා අධිශීත කර තබාගන්නේ අනාගතයේ කෙදිනක හෝ එ් කළලය මවක ගේ ගර්භයේ තැන්පත් කළ හැකි නිසා ය.

ඒ අනුව නොදන්නා මවක සහ පියෙකු විසින් ජීවය දුන් දරු පැටියෙක් මේ ලෝකයේ දයාබරම මවකගේ ගැබෙහි තැන්පත් වේ. ඇමරිකාවේ නොක්ස්විල් හි පිහිටා තිබෙන National Embryo Donation Center (NEDC) වෙතින් ටීනා සහ ගිබ්සන් වෙත ලබාදුන්නේ ඔවුන් වඩාත්ම පැතූ ජීවිතයේ සතුට මිස අන් දෙයක් නොවේ.

NEDC ට අනුව මේ වන විට ඇමරිකානුවන්ගෙන් 95%ක් කිසියම් ආකාරයක සාඵල්‍යතා ගැටළුවකට මුහුණ දී සිටිති. මෙයට වසර 17කට පෙර පිහිටවූ මෙම ආයතනය මේ වන විට කළල සහ දරුවන් හදා ගැනීම් 1000කට වඩා දායක වී තිබේ. මෙම දරුවන්ගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් සම්බන්ධ කරදීම පවා, අලුත් දෙමාපියන්ගේ ඉල්ලීම අනුව සිදුකිරීමට ඔවුහු කටයුතු කරති.

මොලී සහ එමා

අපේ රෝස සිඟිත්තියට නම තබා තිබෙන්නේ මොලී යනුවෙනි. පෙර කී ආකාරයට ඔවුන් ජීව විද්‍යාත්මක වශයෙන්, එනම් ජානමය වශයෙන් ද සහෝදරියන් ය. මෙම කළල දෙකම NEDC වෙත ලබා දී තිබෙන්නේ 1992 වසරේදී එක වර ය. ඒ වන විට ටීනා එනම් වත්මන් මවගේ වයස අවුරුදු 1 කට වඩා වැඩිවූයේ යන්තමිනි. එමාගේ කළලයට වයස අවුරුදු 24 ක් වන විට ඇය ටීනාගේ මව්කුස තැන්පත් කළ අතර, මේ දක්වා ලෝකයේ වැඩිම කලක් කළලයක් ලෙස සිට උපත ලැබූ දරුවා ලෙස වාර්තාව උසුළන්නේ ඇය ය. දැන් ඇගේ සහෝදරිය විසින් එම වාර්තාව ම බිඳ දමනු ඇත.

පුංචි එමා දැන් අක්කා කෙනෙකි.

‘‘මේ මගෙ පුංචි නංගි මොලී‘‘ එසේ සිය සහෝදරිය ව නිවසට පැමිණෙන කොයි කාටත් හඳුන්වා දෙන්නේ එමා ය. මේ දෙන්නාගේම ඇහිබැම අතර නළල, කිසියම් මානසික තැවුලක් තිබෙන විට එකම විදිහට රැළි වන බව කියන්නේ ආදරය පිරුණු මව ටීනා ය.

NEDC පවසන ආකාරයට ඇමරිකාව තුළ මේ ආකාරයේ අධිශීත කළ මිනිස් කළල මිලියනයක්වත් ටීනා- ගිබ්සන් වැනි ආදරණීය දෙමාපියන් හමුවන තෙක් මග බලා සිටියි.

ශීත කළ කළලයකින් මුල්ම වරට ලෝකයේ දරුවෙකු උපත ලැබුවේ 1984 වසරේ ඔස්ට්‍රේලියාවේදී ය. දැනට තිබෙන තාක්ෂණය මගින් වසර 30 ක් වුවත් කළලයක් තබාගත හැකි බව NEDC ආයතනය කියයි. ඒ අනුව අනාගතයේදී මවට වඩා වියපත් දරුවන් වුවත් ඉපදීමට අවස්ථාවක් තිබේ.

නමුත් මෙවිට ‘‘ලෝකය විපරිත වී ඇති තරමක්‘‘ යැයි ඔබ කලබල නොවිය යුතුය.

තමන්ගේම ලෙයින් මසින්, ඊටත් වඩා තමන්ගේම ජානවලින් පමණක් දරුවන් පතන මව්පියන්ගේ එම කැමැත්ත සහ තෝරාගැනීම ගැන විවේචනයක් කිරීමට අපට කිසිම අදහසක් නැත. අපේ අරමුණ වන්නේ ටීනා-ගිබ්සන් යුවළ විසින් උගන්වා තබන මනුෂ්‍යත්වයේ සොඳුරු පාඩම ඔබ සමග බෙදා ගැනීමයි.

ප්‍රධාන ඡායාරූපය NATIONAL EMBRYO DONATION CENTER

මුල් ලිපිය – BBC – Baby girl born from record-setting 27-year-old embryo



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි