×

අයින්ස්ටයින් ඡායාරූප ශිල්පීන්ට දිව දික් කළ හැටි

සළරුවක සැඟවුණු සත්‍ය කතාව - 1


ඇල්බට් අයින්ස්ටයින් ගැන නොයෙක් ආකාරයෙන් කියන්නට පුළුවන්. සාපේක්ෂතාවාදයේ පියා ඔහුයි. භෞතික විද්‍යාවේ වඩාත්ම ජනප්‍රිය සමීකරණය වන ශක්ති සමීකරණය, E=mc2 සොයාගත් පුද්ගලයාත් ඔහුයි. (ශක්තිය = ස්කන්ධය * ආලෝකයේ වේගය මෙන් දෙගුණයක්) එතැනින් ගියාම, ප්‍රකාශ විද්‍යුත් ආචරණය සොයාගැනීම සඳහා ඔහු නොබෙල් සම්මානයත් දිනා ගත්තා. මේ සියල්ල අතරේ, මේ ලිපිය සමග දැක්වෙන ඡායාරූපයත් ලෝක ප්‍රසිද්ධ වුණා. මේ තරම් බරපතළ බුද්ධිමතෙක් උන්මත්තක විලාසයෙන් දිව දික්කරගෙන සිටින මේ ඡායාරූපයේ රසවත් ඉතිහාස කතාවක් තිබෙනවා.

මේ විසුළු මුහුණ සහිත අයින්ස්ටයින් ඡායාරූපය, අහම්බෙන් ගත් එකක් නොවෙයි. ඔහු නොදැනුවත්ව කැමරා ශිල්පියෙක් විසින් අනපේක්ෂිත මොහොතක කැමරා ඇසට හසුකරගත් ඡායාරූපයකුත් නෙවෙයි. අයින්ස්ටයින් මේ ඉරියව්ව ලබාදෙන්නේ හිතා මතාමයි. ඡායාරූප ශිල්පීන් සඳහාමයි!

Wacky Einstein Tongue Photo, A Timeless Tongue යනාදී නම් ගණනාවකින් හැඳින්වෙන මේ ඡායාරූපය ගනු ලැබුවේ 1951 වසරේ මාර්තු 14 වැනිදා යි. ‘කිසිදු විවාදකින් තොරව, 20 වන සියවසේ පුද්ගලයෙකු පිළිබඳව ගනු ලැබූ හොඳම පුවත්පත් ඡායාරූපවලින් එකක්‘ ලෙස (one of the best known press photographs of any 20th century personality) මෙය සැලකෙනවා.

එදා මහා විද්‍යාඥයා තමන්ගේ 72 වැනි උපන් දිනය සමරන සාදයකට සහභාගි වී ප්‍රින්සෙන්ටන් සරසවියෙන් බැහැරව යමින් සිටියා. සුපුරුදු පරිදි මී මැසි පොදියක් වගේ ඔහුව වට කරගත්තේ ඡායාරූප ශිල්පීන් විසින්. ඇත්තෙන්ම අයින්ස්ටයින්, එදා තමන්ගේ උපන් දින සාදය දා නොකඩවා මද සිනා පාමින් අමුත්තන් සමග කතා බස් කිරීමට සිදුවී තිබූ නිසා සිටියේ වෙහෙසෙන්. ඔහු වාහනයට නැග පිටිපස අසුනේ සිටි, ප්‍රින්සෙන්ටන් සරසවියේ උසස් අධ්‍යයනයන් පිළිබඳ අංශයේ හිටපු ප්‍රධානියා වුණු ආචාර්ය ෆ්‍රෑන්ක් අඩිලොට් සහ ඔහුගේ භාර්යාව වන මරී ජීනෙට් අතරින් අසුන් ගත්තා. අයින්ස්ටයින් මේ අවස්ථාවේ සිටියේ පිටත රැස් කන ඡායාරූප ශිල්පීන්ට හෝ මාධ්‍යවේදීන් සමග සිනාසෙමින් කතා කළ හැකි මනෝභාවයක නොවෙයි. ‘‘දැන් ඇති!‘‘ යැයි ඔහු ඔවුන් වෙත හැරී පැවසූ බවට වාර්තා තිබෙනවා. නමුත් ඔවුන් එයට ඇහුම්කන් දුන්නේ නැහැ….

මේ නිසා මදක් කෝප වූ ආකාරයෙන් අයින්ස්ටයින් හැසිරුණු බව වාර්තා වෙනවා. එකවරම ඔහු කළේ ඡායාරූප ශිල්පීන් දෙස බලා දිව දිගු කර, එසැණින් ඉවත හැරීමයි!

UPI පුවත් සේවයේ ආතර් සාසේ (Arthur Sasse) එසැණින් ඒ නිමේෂය තමන්ගේ කැමරාවේ සටහන් කර ගැනීමට සමත් වුණා.

පසුදින තමන්ගේ විසුළු ඡායාරූපය පුවත්පත්වල පළ වී තිබෙනු දැක අයින්ස්ටයින් කෝපයට පත් වුණේ නැහැ. ඔහු එය හොඳ විහිළුවකට හරවා ගත්තා. ඔහු යූපීඅියි පුවත්සේවයට කතා කර, එම ඡායාරූපයෙන් පිටපත් 9 ක් ඉල්ලා සිටියා. ඒ, සුබපැතුම් පත් වශයෙන් තමන්ගේ මිතුරන්ට තැපෑලෙන් යවන්නටයි!

එදා පටන් අඩ සියවසක් ඉක්ම ගියත් මේ ඡායාරූපයේ ජනප්‍රියත්වය අඩු වී නැහැ. එයට අද වන විට ඉතා විශාල මිලක් නියම වී තිබෙනවා. 2017 වසරේ මේ එක් ඡායාරූපයක් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ විසිපන් දහසකට වෙන්දේසි වුණා!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි