×

අරීමා නස්රීන් – ඉතින් ඔබ යන්න ගියා..!

එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවිකාව, NHS හෙදිය අරීමා නස්රීන් කොවිඩ්-19 හේතුවෙන් දෙනෙත් පියා ගත්තාය.


රෝගයට ගොදුරු වෙද්දී ඇය 36 හැවිරිදි වූවාය. සුන්දර යුවතියක් වූවාය. වැදගත්ම දෙය, කිසිදු රෝගී තත්වයක් අවසන් මොහොත වන තෙක්ම නොපෙන්වූවාය.

මාර්තු 23 වැනිදා ඈ රෝගයට ගොදුරු වී තිබුණේ රැකියාවෙන් වාර්ෂික නිවාඩු ලබා සිටියදී ය.

අවසානයේ මේ තුරුණු – තුන් දරු මව සති දෙකක් තිස්සේ ගිලන් සයනයේ වැතිර සිටියාය. පුරා 16 වසරක් තමන් සේවය කළ NHS රෝහලේම ශ්වසන ආධාරකයකින් අසීරුවෙන් හුස්ම ගනිමින් සිටියාය.

කොරෝනා හේතුවෙන් ලොවෙන් සමුගත් ප්‍රථම සෞඛ්‍ය සේවිකාව ඇය නොවේ. මීට පෙර, කෙන්ට් හිදි එක් අයෙකු ද එයට පෙර දිනයේ මාර්ගේට්හි ක්වීන් එලිසබෙත් රෝහලේදී තවත් හෙදියක ද කොරෝනාවලට බිලි ව තිබේ. එයිමී ඕ.රූක් නමැති ඇය ද තුන්දරු මවකි. ඇය ද දෙනෙත් පියා ගත්තේ තමන් සේවය කළ රෝහලේදී ම ය. මාධ්‍යයට හෙළි නොවන තවත් මරණ සිය ගණනක් ද සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ රටවල තිබෙනවා වන්නට පුළුවන.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැනොක් මාධ්‍ය අමතා මෙසේ කීවේය. ‘‘රටට සේවය කිරීම නිසාම මරණයට පත් වන මේ NHS සෞඛ්‍ය සේවක සේවිකාවන්ට මගේ ගෞරවය පුද දෙමි..‘‘

කොරෝනා වෛරස් වසංගතය සමග සටන් වැද සිටින සෞඛ්‍ය සේවක සේවිකාවන් වෙනුවෙන් මෙයට දිනකට පෙර එක්සත් රාජධානියේ මිනිසුන්, තමන්ගේ නිවෙස්වලින් පිටතට බැස අත්පොළසන් නාදයක් ලබාදුන්නේ, එනම් “Clap for Carers” උත්තමාචාරයට එක් වුණේද ඒ නිසාම ය.

ඔව්, ඔවුන් නිහඬ විරුවන් ය. මනුෂ්‍යයන්ගේ දිවි බේරාගැනීම වෙනුවෙන්ම, වසංගතය නමැති යුධ පෙරමුණේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් වැද දිවි දුන් නිහඬ වීරයන්ය, වීරවරියන් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි