×

අවසන් මොහොතේ ද ඔබ හැර නොයමි – වියෝවූ ඇමරිකානු ජනපති බුෂ් අසල සුසුම්ලන සලී

නොබෝදා වියෝ වූ ඇමරිකාවේ 41 වැනි ජනපති ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ගේ හමුදා සුනඛයා, ඔහුට සමුදිය නොහැකිව ඔහුගේ දෙණ අසල වැතිරී නිදා සිටියේ මෙසේ ය.


ඒ හිතෛෂී ලැබ්‍රඩෝරයාගේ නම සලී ය. ජ්‍යේෂ්ඨ බුෂ් යනු සලී ගේ ස්වාමියා ය. සලී යනු බුෂ්ගේ පරම හිතෛෂී මිතුරා ය. ඇතැම්විට දේශපාලන ලෝකයේ මතු නොව සැබෑ ජීවිතයේ ද මෙතරම් හිතෛෂීවන්තයෙක් ඔහුට කිසිදා නොසිටින්නට ඇත. සලී තරමට බුෂ්ගේ ජීවිතයේ ඔහු වෙතම දෑස් දල්වාගෙන සිටි තවත් අයෙක් වේ නම්, ඒ, මෙයට සත් මසකට පෙර ජීවිතයෙන් සමුගත්, හැත්තෑ වසරක් ඔහු සමග එක්ව දිවි ගෙවූ ආදරණීය බිරිඳ බාබරා බුෂ් පමණක් විය යුතුය.

මිනිස් ලෝකයේ කිසිම කෙනෙකුට කෘතගුණ දක්වන්නට බැරි ලෙසින් සලී ඉවත හැරී මෙසේ නිදන්නේ ස්වාමියා නැති සොවින් බවට කිසිම සැකයක් නැත.

අවසානයේ මේ සතියේ බුෂ්ගේ දෙණ, ටෙක්සාසයේ සිට වොෂින්ටනය දක්වාත් එතැන් සිට නැවත ටෙක්සාසය දක්වාත් ගෙන යන විට එයට තනි රකින්නේ සලී ය. මෙලොව අවසන් වතාවට ද සිය ස්වාමියාව කැටුව යන්නේ ඔහු ය.

REUTERS

REUTERS

BBC

BBC

මේ සුරතල් පෙනුමැති ලැබ්රඩෝරයා මනා සේ පුහුණු කළ අයෙකි. ඔහු බුෂ්ගේ පරම සේවකයා බවට පත්වන්නේ හමුදා සුනඛයෙකු ලෙස ය. සලී යන නම ඔහුට යෙදුණේ එදා 2009 වසරේදී හඩ්සන් නදිය මතට ගුවන් යානාවක් ප්‍රවේශමෙන් ගොඩබස්වා ජීවිත 155 ක් බේරාගත් ගුවන් නියමු චෙල්සි ‘සලී‘ සලෙන්බර්ගර් සිහිපත් වීම පිණිස ය. සලී දැන් දෙහැවිරිදි ය. ජ්‍යේෂ්ඨ බුෂ් වෙත ඔහුව සේවයේ යොදවා තිබෙන්නේ පසුගිය වසරක කාලය තුළ ය. ඒ කාලය තුළ බුෂ් ස්වාමියා වැඩි වශයෙන්ම සිටියේ රෝද පුටුවේ ය. සලීට අණ ලබාදුන් විට දොරවල් විවෘත කිරීම, හැඬවෙන ජංගම දුරකථනය ළඟට ගෙනැවිත් දීම වැනි වැදගත් රාජකාරි ද මනා සේ ඉටු කිරීමට පුළුවන.

AFP/GETTY

AFP/GETTY

සිය ස්වාමියා වෙත අවසන් යුතුකම ද ඉටු කිරීමෙන් පසුව සලීගේ ඉරණම කුමක් වනු ඇතිද? ඔහුට අලුත් භූමිකාවක් ලබාදීමට නියමිත ය. ඒ අනුව සලී තුවාළ වුණු සොල්දාදුවන්ට උදව් කරන මිතුරෙකු බවට අනාගතයේදී පත්වනු ඇත.

සලීට තමන්ගේම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් ද තිබේ. එහි නම, sullyhwbush ය. එය කොතරම් ආදරණීය නමක් ද යත්, සලී යනු සුනඛයෙකු යැයි නොදන්නා අය, මේ නමින් හැඳින්වෙන්නේ ඇමරිකානු ජනපතිගේ පුතෙකු යැයි සිතන්නට පවා ඉඩ තිබේ.

SullyHWBush

SullyHWBush

සියලු ඇමරිකානු ජනපතිවරුන් සුනඛයන්ට ආදරය කරනවුන් නොවේ. උදාහරණයක් වශයෙන් ජෝන් එෆ් කෙනඩි සුනඛයන්ට ආසාත්මිකතාවයක් දැක්වූ බව ප්‍රකට ය. වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කිසිසේත්ම සුනඛයන්ට ආදරය කරන අයෙක් නොවේ. නමුත් ජෝර්ජ් එච්.ඩබ්.බුෂ්, ඔහුගේ පුතු ජෝර්ජ් බුෂ්, බරාක් ඔබාමා වැනි බොහෝ ඇමරිකානු ජනපතිවරුන්ගේ හදවත්, සලී වැනි දයාබරයන් විසින් උණුසුම් කර තිබේ. මරණින් මතුත් හැර නොයන සැබෑම ආදරය මිනිස් ලෝකයෙන් බොහෝ දුරදැයි මේ ඡායාරූපය දුටු විට අපට සිතෙන්නේ ඒ නිසා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි