×

අවසාන සති දෙකේදී ට්‍රම්ප් දෑත්වල ලේ තවරා ගනියි – කාන්තාවක් ඇතුළු 4 දෙනෙක් ප්‍රහාරවලින් මරුට !

ඉලෙක්ට්‍රෝරල් කොලිජියේ ඡන්ද ගණන් කිරීමට බාධා කරමින් කැපිටල් හිල් සභා ගර්භය වෙත ට්‍රම්ප්ගේ ආධාරකරුවන් කඩා වැදීමේ ප්‍රතිඵලය ලෙස, එක් කාන්තාවක් මරණයට පත් වූවාය.


කලහකාරීන් සහ පොලිස් නිලධාරීන් අතර ඇති වූ කෝලාහලවලට සහ වෙඩි තැබීම්වලට මැදිව මාරක තුවාළ ලැබූ එම කාන්තාව, රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වේ. ඇගේ අනන්‍යතාවය පිළිබඳ කරුණු මේ දක්වා හෙළි කර නොමැති නමුත්, කැපිටල් හිල් ගොඩනැගිල්ල තුළ ඇය ලක්වූ ප්‍රහාරය සහ අනතුරුව ඇයට හදිසි ප්‍රතිකාර ලබා දී පොලිස් නිලධාරීන් විසින් ඇයව රෝහල්ගත කරන ආකාරය ඇතුළත් සංවේදී දර්ශන සහිත වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වේ.

මේ අතර මෙයට පැයකට පමණ පෙර වාර්තා වූයේ තවත් තිදෙනෙක් මරණයට පත් ව ඇති බවයි.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල ආරම්භයේ ම ට්‍රම්ප් සිය ප්‍රවුඩ් බෝයිස් ඇතුළු අන්තගාමී ආධාරකරුවන් වෙත කියා සිටියේ ‘Stand back and stand by‘ යනුවෙනි. මැතිවරණයේ පරාජයත් සමග ඔවුන් මෙසේ වියරුවෙන් වීදි බැස සිටින්නේ, හොඳින් හෝ නරකින් මෙසේ ආණ්ඩුබලය අල්ලා ගන්නට උත්සාහ කරන්නේ රටේ නායකයා විසින්ම ඔවුන්ව ‘ස්ටෑන්ඩ් බයි‘ කර තිබූ නිසා නොවේ නම් වෙන කුමක් නිසාද…?

මේ මරණයත් සමග ට්‍රම්ප් හරිනම් ලැජ්ජා විය යුතුය. ජනවාරි 20 වන තෙක් නොසිට ධුරයෙන් දැන්මම ඉල්ලා අස්විය යුතුය. ඉතිහාසයේ කවරදාකවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු මෙසේ ජනතාව ප්‍රකෝප කරමින් කුපිත කරමින් වෛරය අවුස්සමින් කටයුතු කර නැත. නමුත් ඒ වෙනුවට ඔහු මේ සියලු විනාශයන් දෙස බලමින් සිය උන්මත්තක ප්‍රීතියේම ගිලී සිටියි.

 

මේ ඇමරිකාව නොවේ!

කැපිටල් හිල් සභා ගර්භය වෙත මෙසේ කඩා වැදුණේ සැබෑ රිපබ්ලිකානුවන් යැයි නොසිතන්න… සැබෑ රිපබ්ලිකානුවන් ආදර්ශමත් ඉතිහාසයක් හිමි, ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සියවස් ගණනක් මුළුල්ලේ දරා සිටීමට උරදුන් පුරවැසියන් ය. පුරවැසි ආරක්ෂාව මෙසේ තඹයකටවත් මායිම් නොකර හැසිරෙන ට්‍රම්ප් තවමත් රිපබ්ලිකානු ජනපතිවරයා වීමම, රිපබ්ලිකානුවන්ට මෙන්ම ඇමරිකානු නාමයට ද කරන අපහාසයකි.

සිව් වසරක බොරු චෝදනා, කුමන්ත්‍රණ සිද්ධාන්ත, ජනතාව ගොනාට ඇන්දවීම් සහ ඇමරිකානුවන් භේද භින්න කිරීම්වලින් පසු ඇමරිකාව දැන් පුපුරා ගොස් තිබේ. වොෂින්ටනයේ බදාදා දිනයේ හටගත් මේ අප්‍රසන්න සහ බියකරු සිද්ධිය ප්‍රකාරව, මෙසේ ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල ලෙස සැලකෙන ඇමරිකානු ව්‍යවස්ථාදායකය පිහිටා තිබෙන කැපිටල් හිල් වෙත කලහකාරී පිරිස් කඩා වදින්නේ 1814 න් පසුව ප්‍රථම වතාවට ය.

එහි ප්‍රතිඵලය ලෙස ජන වරමෙන් තේරී පත් වූ ව්‍යස්ථාදායක සභිකයෝ සිය මුහුණු වසාගත්හ. ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් මිරිස් කුඩු ගසා ගත් විට ඇති වූ විලි ලැජ්ජාවටම සමාන්තර අපහාසයකට දැන් ඇමරිකානු සෙනෙට් සභාව ද පත් වී සිටියි. වෙනස වන්නේ ප්‍රහාරය සිදු කළේ කවුරුන් විසින් ද යන්නයි. සැබවින්ම එය එතරම් වැදගත් නොවේ. වැදගත් කාරණය, මේ අවස්ථා දෙකේදීම ප්‍රහාරයට ලක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය වීමයි.

කලහකාරීන් අවහිර කළේ මීළඟ ජනපතිවරයා ලෙසට ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සෙනෙට් සභාව විසින් තහවුරු කරන ක්‍රියාදාමයයි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, ඇමරිකාවේ දැනට බලයේ සිටින ජනපතිවරයා (ට්‍රම්ප්)ගේ මැරයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොලට කඩා වැදී, නිදහස් හා සාධාරණ මැතිවරණයක ප්‍රතිඵලය ලබාගැනීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබේ. දැන් මුළු ලෝකයම ඇමරිකාව දෙස බලා සිටින්නේ භීතියෙන් ඇළලී යමිනි.

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර සැබෑ රිපබ්ලිකන්වරු ද වෙති. ඔවුහු කලහකාරී නොවෙති. නමුත් මිලියන ගණන් ඇමරිකානුවෝ ට්‍රම්ප් කියන බොරු විශ්වාස කළහ, කරති. මේ මැතිවරණය වංචනික යැයි ඔහු පුල පුලා කරන ප්‍රකාශ විශ්වාස කරති. එනිසා මේ පුපුරා පසෙන් උඩට මතු වූයේ සිද්ධිය හටගත් දිනයෙන් අවසන් නොවන, දීර්ඝකාලීන දේශපාලන අස්ථාවරභාවයක මූල බීජයකි. ඇමරිකාව මුහුණ දෙන සැබෑ අභියෝගය වනු ඇත්තේ මේතරමට මනස් දූෂිත කරගත් ජනතාවක් සමග රටක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද යන්නයි.

”He’s out of his mind,” ‘‘ඔහුගේ සිහිය විකල් වෙලා..‘‘ එසේ සීඑන්එන් පුවත් සේවය සමග පවසා තිබුණේ ට්‍රම්ප් ජනපතිවරයා සමග කිට්ටු සබඳතාවයක් පවත්වා ගන්නා අයෙකි. මේ අතර ඇතැම් ඩිමොක්‍රටික්වරුන්ගේ ඉල්ලීම වී තිබෙන්නේ මේ සති දෙකේ තවත් ලේ වැගිරීම් සහ කලබල ඇති නොවනු පිණිස අවම වශයෙන් උප ජනපති මයික් පෙන්ස් සති දෙකකට ජනපති බවට පත් කර ට්‍රම්ප්ගේ වාරය වහාම අවසන් කළ යුතු බව ය. ට්‍රම්ප්ගේ කැබිනට්ටුවේම සාමාජිකයන් පවා ‘ධුරය දැරීමට තවදුරටත් සුදුසු නොවන අයෙකු‘ වශයෙන් ට්‍රම්ප් නම් කරමින් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම ගැන සලකා බලමින් සිටිති.

සාපරාධී ක්‍රියාවන්ට උල්පන්දම් දීම ද අපරාධයකි. ට්‍රම්ප්ගේ සාපරාධී හැසිරීම්වලට අනුබල දුන් සියලු දෙනා දැන් එක් ප්‍රශ්නයකට පිළිතුරු දිය යුතුව තිබේ. සිහි විකල් වූ අයෙකු සමග ඔවුන්ට පවා ජීවත් වන්නට ඇමරිකාවක් ඉතිරි වේවිද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි