×

අවුන් සාන් සුකීගේ ජීවිතය නැවතත් හමුදාව අතේ…!

මියැන්මාරයේ නායිකාව ලෙස කටයුතු කළ අවුන් සාන් සුකී, අද අළුයම හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය මේ වන විට රඳවා තබාගෙන සිටිනවා.


මේ වන විට මියැන්මාරයේ පාලකයා ලෙස කටයුතු කරන්නේ හමුදාපතිවරයා බව ද සඳහන්.

අද අළුයම සිදුකළ හමුදා වැටලීමකින් අවුන් සාන් සුකී මෙන්ම ඇගේ ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව හමුදාව විසින් පාලනය කරන රූපවාහිනී සේවයක් ඔස්සේ පෙනී සිටිමින් මියැන්මාර හමුදාව නිල වශයෙන් ප්‍රකාශ කළේ මැතිවරණ වංචාවකට ප්‍රතිචාරයක් ලෙසට තමන් විසින් රටේ දේශපාලන නායකයන් රඳවා තබාගෙන ඇති බවයි.

ඒ සමගම මියැන්මාරය තුළ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

සන්නද්ධ හමුදාවේ ප්‍රධානියා වන මින් අයුන්ග් හ්ලැයින්ග් මේ වන විට රටේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටින බවට රොයිටර්ස් පුවත් සේවය ද ප්‍රකාශ කරනවා.

සුකීගේ පාලක පක්ෂය වන ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු ජාතික ලීගය‘ (NLD) හි ප්‍රකාශක ම්යෝ න්යුන්ත් ද මෙම රඳවා තබාගැනීම් පිළිබඳ පුවත සත්‍යයක් බව සනාථ කළා. ඔහුට අනුව මියැන්මාර අගනුවර මේ වන විට සම්පූර්ණයෙන්ම හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙනවා.

දින කිහිපයක් මුළුල්ලේ මියැන්මාරයෙන් ලැබුණු පුවත්වලින් කියැවුණේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බවයි.

මියැන්මාරයේ ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී නායිකාය ලෙස සැලකෙන අවුන් සාන් සුකී, 2020 නොවැම්බරයේ පැවති මහමැතිවරණය වංචනික ලෙස ජයගත් බවට හමුදාව විසින් චෝදනා නගා තිබුනා. ඡන්ද මිලියන 10.5 ක් පමණ වංචනික ලෙස ප්‍රකාශ කර තිබූ බවත් එහිදී පැවසුණා.

කෙසේ වෙතත් එම මැතිවරණයේදී සුකීගේ පක්ෂය දෙවැනි වතාවටත් සිවිල් ආණ්ඩුවක් පිහිටුවීමට සමත් වුණා.  මියැන්මාරයේ පළමු සිවිල් ආණ්ඩුව, දීර්ඝ කාලීන හමුදා පාලනය අවසන් කරමින් ඔවුන් පිහිටුවන්නේ 83%ක බලයක් ලබාගනිමින්.

මියැන්මාරයේ මිලිටරිය ප්‍රධාන දේශපාලන පක්ෂ 2කට සහාය ලබාදෙමින් සිටිනවා. ඒ, Union Solidarity සහ Development Party. ඔවුන්ට පසුගිය මහමැතිවරණයෙන් දිනාගත හැකි වූයේ ආසන 476 අතරින් ආසන 33 ක් පමණයි. මැතිවරණය දූෂිත බවට ඔවුන් සෘජුවම චෝදනා නගන්නට පටන් ගත් අතර, අනතුරුව එයට හමුදාව සෘජුව මැදිහත් වුණා.

මේ සම්බන්ධයෙන් මෙයට දින 3 කට පෙර පසුගිය සිකුරාදා ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරේස් ද අදහස් දක්වා තිබුණා. ඔහු එහිදී පවසා තිබුණේ ‘‘සිදුවෙමින් පවතින දේවල් ගැන දැඩි සැලකිල්ලකින් පසුවන බව‘ යි. සියලු දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී රාමු ඇතුළත කටයුතු කරන ලෙසටත් ඔහු ඉල්ලීමක් ද කර තිබුණා.

දශක දෙකක් හමුදා පාලනය විසින් නිවාස අඩස්සියේ තබා පසුව නායකත්වයට පත් වූ අවුන් සාන් සුකී, ප්‍රජාතන්ත්‍රවාදයේ දියණිය ලෙස ද කලක් හැදින්වුණා. 2015 වසරේ මහමැතිවරණය ජයගැනීමෙන් පසුව ඇය පිහිටවූයේ වසර 50 කට පසු මියැන්මාරයේ පළමු සිවිල්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවයි. නමුත් රොහින්ග්යා සුළුතරය හමුදා ප්‍රහාර මගින් සමූල ඝාතනයට ලක් කිරීම සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකිරීම වැනි චෝදනා රැසක් එල්ල වීමත් සමග ඇගේ එම ප්‍රතිරූපය සහමුලින්ම බිඳ වැටුණා.

නැවත ඇය හමුදා අත්අඩංගුවට පත් වීම සහ රට හමුදා පාලනයට නැවත නතුවීම මගින් අපට සිත්නනට බොහෝ දේ ඉතිරි කරනවා. අවුන් සාන් සුකී, මියැන්මාරය පාලනය කළේ හමුදා බලපෑම් යටතේ විය නොහැකිද? පසුකලෙක ඇය ප්‍රජාතන්ත්‍රවිරෝධී අදහස් පළ කළේ මිලිටරියේ තර්ජන සහ බලපෑම් නිසා විය නොහැකිද? කෙසේ නමුත් ඇගේ ජීවිතය දැන් නැවතත් පවතින්නේ මියැන්මාර මිලිටරිය අතේ…



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි