×

අහස් භූතයෝ

අද්භූත උල්කාපාතය


ගුවන් නියමුවන්ගේ ‘යුධ කාමරය’ යන අන්වර්ථයෙන් හඳුන්වන හැන්ගාරයෙන් රුධිරය ශීතල කරවන කතාවක්, පළපුරුදු ගුවන් කපිතාන් මාටින් කැයිඩින් මෙසේ විස්තර කරයි.

යළිත් වරක් අඩි තුන්දහසක් ඉහළ අහසේ අපි සිටියෙමු. එදින රාත්‍රී අහස, යාබද චක්‍රාවාටය ද පැහැදිලිව දිස්වන තරමට ප්‍රණීතය. සුපැහැදිලිය. ආකර්ෂණීයය. මම වම් අසුනේ සිට යානය හසුරවමින් සිටියෙමි. පයිපර් ඇස්ටෙක් N5196Y රතු සුදු යානය අපගේ පක්ෂියා විය. දකුණු පස සිටියේ එඩී කීයෙස්ය. සුපුරුදු ආකාරයටම සැක් ස්ට්‍රික්ලන්ඩ් පසුපස අසුනේ සිටි අතර ඉතා කලාතුරකින් පමණක් සිදුවන ආකාරයට හඬ නගමින් ගොරවමින් සිටියේය.
එය 1967 සැප්තැම්බර් 13 දාය. මෙරිට් දූපතේ ස්ට්‍රිප් හි පැවැත්වූ භෝජන සංග්‍රහ මාලාවන් කිහිපයකටම සහභාගි වීමෙන් පසු අපි යානය ෆ්ලොරිඩාවේ සිට නෙවාඩාහි ලාස්වේගාස් දක්වා පදවාගෙන යමින් සිටියෙමු. වේගාස් හි මැක්කැරීන් ගුවන් තොටුපොළ පසුකරන විට දැනුණු උද්‍යෝගයට ද වඩා වැඩි උනන්දුවකින් අප එවෙලේ නිවෙස් බලා පියාසර කරමින් සිටියේය. ඒ වන විට ග්‍රෑන්ඩ් ජන්ක්ෂන් දක්වා පියාසර කර තිබූ අප ඉක්බිති ඩිචිටා බලා යමින් සිටියේ බීච් ගුවන් යානයේ ජිම් ග්‍රීන්වුඩ් හා ජිම් යාර්නෙල් මුණගැසීමේ බලාපොරොත්තුවෙන් ද යුතුවය.
මට මතක ආකාරයට ඒ වන විට රාත්‍රී එකොළහ පසුවූවා පමණක් බව නිසැකය. ඩොජ් නගරයට ඉහලින් අප පියාසර කරමින් සිටි බව මට එයටත් වඩා නිසැකය. ආලෝකයේ ගැලීමට බාධා කරමින් ගස් සහ ආලෝක පහන් කදිමට දිළිසුණේය. හරියට පුළිඟු මෙනි. අංක 50 දරන මාර්ගයේ ගමන් කරමින් තිබෙන ඇතැම් වාහනයක් අපට දිස්වන්නේ ක්ෂුද්‍රමය තිතක් වශයෙනි. අපගේ දෙපසට යටින් පිහිටා ඇති ඩොජ් නගරය, රාත්‍රිය උදෙසා සැරසෙමින් සිටියේය.
එඩී, චිචිටාහි සංඛ්‍යාත තරග කුළුණ පිහිටි ස්ථානය පියාසැරි සිතියමක් දිගහැරගෙන සොයන්නට විය. රතු පැහැයට කැබින් ආලෝකය දැල්වුණු අතර අවශ්‍ය අංකය සොයා ගැනීමේ දී ඔහු ගැටලුවකට මැදිවී ඇති සෙයක් පෙනී ගියේය. “චිචිටා හි කුළුන මොකක්ද?’’ ඔහු ඇසුවේය.
“මම කොහොමද දන්නෙ? මම ජීවත් වෙන්නෙ ෆ්ලොරිඩාවෙ’’
“ජේසුනි, මේ නම් නියම සහායකයෙක්. මගෙ පැත්තට ආලෝකය වැඩි කරන්න’’

මම මදක් පිටුපසට ගොස් ඉහළට එසවී සිවිලිමේ එල්ලෙමින් තිබූ කැබින් ලාම්පුව වෙත සමීප වූයෙමි. එහි ස්විචය දැල්වීමටවත් වේලාවක් මට ලැබුණේ නැත.

“මොකක්ද?’’ එඩී පුදුමයෙන් ඇසුවේය
“ඇයි?’’ මම ද ඇසුවෙමි
“ඔබ මොකක්ද කිව්වෙ?’’
“මම මොකුත් කිව්වෙ නැහැ. ඔබ මට කිව්වා ආලෝකය අවශ්‍යයි කියලා. ඉන්පස්සෙ ඔබ කිව්වා දකුණට හරවන්න කියලා.’’“නෑ මං එහෙම කිව්වෙ නෑ’’
“ඔබ කැබින් ආලෝකයක් ඉල්ලුවා?’’
“ඔව් එච්චරයි. දකුණට හරවන්න කියා කීවේ ඔබයි’’
“මම කිසි දෙයක් කිව්වෙ නෑ’’ මම ඔහුට කීවෙමි.
අපි එකිනෙකා දෙස බැලුවෙමු. ඉන්පසු පිටුපසට හැරී ස්ට්‍රික්ලන්ඩ් දෙස ද බැලීමු. ප්‍රීතිමත් නින්දක සුව විඳිමින් ඔහු ගොරවයි. අපි එකිනෙකා දෙස බැලීමු. එඩි මෙසේ කීවේය. “කිසිම වැදගැම්මකට නෑ’’
සෑම දෙයක්ම යහපත් ආකාරයට සිදුවන බව පෙනී ගියේය. අපි දෙදෙනාම නියම දේ කල්යල් බලා නියම ආකාරයට කළෙමු. දෙදෙනාගෙන් එක් අයෙකු හෝ යානය දකුණට හරවන්නැයි කියා නොතිබුණ ද යම්කිසි කෙනෙක් එසේ කියා ඇත. ඒ ඒ යම්කිසි කෙනා අප දෙදෙනාගෙන් යම් අයෙකු මෙන්ම සැක ද නොවන බව අපට හොඳින්ම විශ්වාසය.

අප දෙදෙනාගේම එකඟතාවයෙන් යානයේ සුක්කානම දකුණු දෙසට හැරවිණි. එය සිදු වූයේ ස්වයංක්‍රීයව මෙනි. මා පැඩලය වැර යොදා පාගත්ම ඇස්ටෙක් යානය විලාප දීමට පටන් ගත්තාය. එය එක සීරුවට දකුණු පැත්තට හැර වුණේ අප සියලු දෙනාගේම සමතුලිතතාවය බිඳ දමමිනි. සැක් තට්ටම් පැත්තෙන් ඉහළට විසි වී ගිය අතරම ඔහුගේ මුහුණ වේගයෙන් ඇදී ගොස් ජනෙල් වීදුරුවක ගැටුණේය. සිරස් තිරස් මාන කවරේදැයි වටහා ගැනීමට ඔහුට තවත් තත්පර කිහිපයක් ගත වන්නට ඇත. ඉන්පසු යානය ඇළවීමට පටන් ගත්තෙන් මම එයට අමතර වේගයක් ලබා දුනිමි. එහෙත් මා ඒ මොහොතේ එසේ කළේ මන්දැයි අදට ද මම නොදනිමි.
කටහඬින් අණ කළ ආකාරයටම අපේ යානය දකුණට හරවා තිබේ. හිටිවනම යානය තුළ දීප්තිමත් ආලෝකයක් පැතිර ගියේය. එම රන්වන් දීප්තිය ජනෙල් කවුළුවලින් ද පිටතට විහිදෙන්නට ඇති බව නිසැකය. අපි සියල්ලෝම එකම රන්වන් අග්නි ජාලාවක වෙලී ගොස් සිටියෙමු. ක්‍රමයෙන් ආලෝකය දකුණු තිරස් දිශාවේ සිට උතුරට පැතිරෙන්නට පටන් ගත්තේය. ගිනි දළුවලින් වැසී ගිය යම් දැවැන්ත වස්තුවක් අපට මදක් ඔබ්බෙන් එක එල්ලේ පොළොව වෙත කඩා වැටෙමින් තිබුණේය.
අප යානය දකුණට නොහැරවූවා නම්….
මීළඟට කුමක් සිදුවේදැයි දැන ගැනීමට එඩීට හෝ මට හෝ උපදෙස් ග්‍රන්ථ උවමනා නොවීය. විදුලි සැපයුම කපා දැමූ අපි වේගය බාල කරනු වස් යානයේ නාසය ඉහළට එසවීමු. ගුවන් යානයක් ට්‍රක් රථයක් සමග ගැටුණාක් මෙන් එය එක්වරම ගැස්සුණේය. ඉන්පසු ශාන්ත ආකාරයට පහළ බසිමින් දියෙන් පිටතට ආ සුනඛයෙකු ඇඟ ගසන ආකාරයට වරින් වර වෙව්ලා ගියේය. අපි පහත බැලුවෙමු. රන්වන් ආලෝකය දැන් නොපෙනෙයි. විදුලි සැපයුම ලබාදී අපි නැවතත් යානය පසෙකට හරහා ගතිමු.
“සිදුවුණු දේ ඔබ හොඳට දැක්කද?’’ එඩී ඇසීය.
“ඔව්’’ මම කීවෙමි.
“මේ මොකක්ද සිද්ධ වෙන්නෙ? අපි යානය දකුණට හැරවූයේ ඇයි? ඒකෙ තේරුම මොකක්ද?’’ අවදි වූ සැක් තොරතෝංචියක් නැතිව ප්‍රශ්න ඇසීමට පටන් ගත්තේය. අපි ඒවා නොතකා සිටීමු.
“මම හිතන්නෙ මොකක් ගැන ද කියා ඔබ දන්නවද?’’ එඩී ඇසුවේය.

“උහ්…. උහ්… ඒක උල්කාපාතයක් නම් නෙවෙයි’’
“ඔබ හරි. උල්කාපාත, කහ තැඹිලි කාබන් දැල්ලක් වගේ ගිනිගෙන දැවෙන්නෙ නැහැ’’ එඩී කීවේය

“ඔබ ඒකෙ ඝන මතුපිට දැක්කාද?’’ මම ඇසීමි.
“ඒක හරියට ගිනි ගත්තු ලෝහ කුට්ටියක් වගෙයි’’
“ඔව්’’ ඔහු කීවේය
යමක් අජටාකාශයේ සිට ඇදීවිත් තිබිණි. බොහෝ විට එය අපම හෝ රුසියානුවන් විසින් කක්ෂගත කළ දැවැන්ත අජටාකාශ වස්තුවක් වීමට පුළුවන.
ඩොජ් නගර රේඩියෝවට දුරකතන ඇමතුමක් දුන් මම, අප හඳුන්වා දෙමින් නියමු වාර්තාව කියවීමි. “දිගටම කියන්න’’, ඩොජ් කීවේය.“මිනින්තු කිහිපයකට කලින් අප එක්තරා දිලිසෙන වස්තුවක් ආසන්නයෙන්ම ගමන් කළා. අප සිටියෙ ඩොජ්වලට නැගෙනහිරින් අඩි තුන්දහසක් ඉහළ අහසේ. එයින් ඇති වූ කම්පනයෙන් අපේ ගමන් මාර්ගය මදක් වෙනස් වුණා.’’

“එහෙම නම් ඔබලා පියාසර කරමින් සිටියෙ කෙළින්ම නගරයට ඉහළින්ද?’’

“එහෙම කියන්න පුළුවන්’’

“ඔබලා සමග කතා කිරීමට ලැබීම, එහෙම නම් අපට විශාල සතුටක්. පෙනුණු හැටියට එය කෙළින්ම ඔබලා වෙතටයි ගමන් කළේ.’’

“ඔව්’’ මම කීවෙමි. “ඔබට වෙනත් ගුවන් නියමුවන්ගෙන් ඒ සම්බන්ධ වාර්තා ලැබුණද?’’

“මිස්ටර්… ඒ වස්තුව කැනඩාවෙ ඉඳන් මෙක්සිකෝවට යන තෙක් ප්‍රාන්ත දහහතරකම වැසියන් දැක තිබෙනවා. ඒක උල්කාපාතයක්.’’

“ස්තුතියි. අපි චිචිටා බලා යනවා. යානය ගොඩ බස්වන්නට.’’

“හොඳ පියාසැරියක් වේවා. ඒ වගේම ගල් කෑලි ගැන ප්‍රවේශමෙන්’’

“උල්කාපාතය යකාට ගියාදෙන්’’ එඩී කීවේය.

“මම දන්නවා’’මම පිළිතුරු දුනිමි.

“ඒක ගැටෙන්න කලින් යානාව හරවන්න කියා කීවෙ මොන යකාද?’’ සැක් අපේ පිටුපස සිට මොර දුන්නේය.

එඩී මෙවැනි අවස්ථාවක් කිසිසේත්ම මග හරින්නේ නැත. “මම හිතන්නෙ දෙවියන් වහන්සේගෙ බිරිඳ’’ ඔහු පිළිතුරු දුනි.

චිචිටාවල ගුවන් යානය නතර කරන විට තම ව්‍යාකූල බව පහ කරගනු වස් සැක් හට ස්කොෂ් මත්පැන් බෝතල් භාගයක්ම හිස් කිරීමට සිදුව තිබිණි. ඒ වන විටද ඔහු සිටියේ කෑ මොර දෙමිනි. එහෙත් ඔහුට දෝෂාරෝපණය කිරීමට අපට හැකියාවක් නැත.

පසු සටහනක් ද ලිවිය යුතු යැයි මම සිතමි.

එම කටහඬ කුමක්ද? එය කොහි සිට පැමිණියාද? දකුණට හරවන්නැයි කීවේ කවුද? ඇස්ටෙක්හි සිටි තිදෙනාගෙන් එක් අයෙකු හෝ එසේ කියා නොතිබිණි. ගුවන් විදුලි යන්ත්‍රය පවා එම මොහොතේ ක්‍රියා විරහිත කර තිබුණේය. “දකුණට හරවන්න’’ යන්න, යමෙකු කියූ දෙයක් නොව අපගේ උපවිඥානයෙන් අපට ලැබුණු හුදු උපදෙසක්ද? එය අපි නොදනිමු.

එහෙත් අපි එක් දෙයක් හොඳාකාරව දනිමු. එම අවස්ථාවේ දකුණට නොහැරවූවා නම් අපේ පියාසැරිය සදහටම නතර වනු ඇත.

දෙවන පසු සටහන

සැක් ස්ට්‍රික්ලන්ඩ් එතැන් සිට ඒ හැටි කාලයක් අප සමග සිටියේ නැත. ඔහු නාසා ආයතනයේ එතෙක් දරමින් සිටි තනතුරෙන්ද ඉවත් වී කැනවරල් තුඩුවේ හුස්ටන් මධ්‍යස්ථානයේ නව රාජකාරි භාර ගත්තේය. ඉක්මනින්ම පිළිකා රෝගයට ගොදුරු වූ ඔහු කායිකව අතිශය දුර්වල තත්ත්වයට පත් විය. කිසිදු මනුෂ්‍යයෙකු ඒ ආකාරයෙන් මිය යා යුතු නොවේ. එඩී සහ මම ඒ පිළිබඳ නිතර කතා බහ කළෙමු.

එඩී කීයෙස්ද වැඩි කලක් මා සමග නොරැඳුණේය. වසර කිහිපයකින් පසු ඔහු තීරණය කළේ තමා නිව්යෝර්ක් ප්‍රාන්තයේ හා එංගලන්තයේ ගොවිපළ කටයුතු ආරම්භ කළ යුතු බවයි. ඔහු තම සිතැඟි අනුව ක්‍රියා කළා නොව නිවසට හා මඩුවට පිටුපසින් තැනූ කුඩා ඉඩක පැරණි ගුවන් යානයක්ද තබා ගත්තේය. ඔබ හෝ මා කාමරය තුළ ඇවිද යන තරම් සැහැල්ලුවෙන් හා පහසුවෙන් ඔහු එහි සිට ගුවන් යානය පැදවීය.

ඉන්පසු මට එඩීගේ බිරිඳගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. “එඩී මිය ගියා’’ ඇය කීවාය. “අනෙක් හැම දෙනාටම කලින් ඔබට ඒ බව දැනුම් දෙන්න කියා ඔහු මට කියා තිබුණා’’

“ඒක කොහොමද ලීල් සිද්ධ වුණේ’’

“ඔහුට හෘදයාබාධයක් වැළඳුණා…. ඔහ්…. ඒත් ඔහු නිතරම සිටින ආකාරයට ඉන්පසුවත් බොහොම ප්‍රීතියෙන් උන්නා. නමුත් වෛද්‍යවරයා කියූ ආකාරයට ඔහුගෙ එක් හෘද පේශියක් තුවාල වෙලා. ඒ වගේම එඩීට තව අවුරුදු 20 ක් වුණත් නිරෝගීව ජීවත් වෙන්නට පුළුවන් බවත් වෛද්‍යවරයා කීවා. නමුත්…’’

ඇය ඊළඟ වදන් පෙළ ගැලපීමට පෙර මම එය දැන සිටියෙමි.

“නමුත් ඔහුට තවදුරටත් පියාසර කරන්නවත්, දුම් බොන්නවත් මත්පැන් පානය කරන්නවත් අවසර තිබුණෙ නැහැ.’’ ඇය වාක්‍යය අවසන් කළාය.

එඩී ඩොක්ටර් දිහා බැලුවා. “ඔබ ඒකට කියන්නෙ ජීවත් වීම කියලද?’’ ඔහු ඇසුවා. ඩොක්ටර් යන්තමින් හිස සොලවා කාමරයෙන් පිටතට ගියා.

අවසන් මොහොතේ එඩී තම බිරිඳ සයනය අබියසට කැඳවා තිබේ. “අන්තිම වතාවට මාව සිපගන්න ලීල්’’ ඔහු ඇයට කීවේය. ඉන්පසු ළය හරහා දෑත කතිරාකාරයට දමා නවාගත් ඔහු දෙනෙත පියාගත්තේය. ඊළඟ මොහොතේ ඔහුගේ හෘදය වස්තුව නතර විය. ඔහු මිය ගියේය. හදිසි අවස්ථා කණ්ඩායම කාමරය තුලට කඩා වැදුණහ. “ඔහුට බාධා කරන්න එපා’’ ලීල් ඔවුන්ට කීවාය. “ ඔහු ගමනක් යනවා.’’ ඇය කතාව නතර කළාය.

එඩී, සැක් පිළිබඳ පැවසූ ආකාරයට කිසිම මිනිසෙකු මේ ආකාරයට මිය යා යුතු නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි