×

‘අහසෙන් මළමිනී වැස්සක් වැටුණා!‘ – පාකිස්ථාන ගුවන් අනතුර ගැන ඇසින් දුටු සාක්ෂි

පාකිස්ථාන අන්තර්ජාතික ගුවන් සේවයට අයත් PK8303 යානය ඊයේ (22) කඩා වැටුණේ ජනාකීර්ණ කරච්චි නුවර මධ්‍යයට ය. මහා පිපුරුමක්, විශාල-ගනකම් කළු දුම් වළාවක් සහ මළමිනී වැස්සකට මුහුණ දෙන්නට කරච්චි නුවර වාසීන්ට සිදුවිය.


පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නුවර සාමාන්‍ය සැඳෑවක් ගත කරමින් සිටි රාජා අහමද් කම්පනයෙන් සලිත වී ගියේ මහා පිපුරුම් ශබ්දයක් සමග කරකුට්ටම් වී ගිය මළ සිරුරක් ඔහුගේ මෝටර් රිය මත පතිත වීමත් සමග ය.

වහා කලබලයට පත් වූ ඔහු මෝටර් රථයෙන් එළියට පැන ගත්තේය. කඩා වැටුණු ගුවන් යානයේ හදිසි (ඉමර්ජන්සි) දොරටුවෙන් මිනිස් සිරුරක් එළියට පැමිණ තිබිණි.

‘‘ඔහු හිටියේ පණ පිටින්. ඔහු උදව් ඉල්ලලා කෑ ගැහුවා. බේරගන්න කියල කිව්වා… මම ඔහුව ඇදල එළියට ගන්න උත්සාහකළා. නමුත් ඔහුගෙ කකුල් ඉමර්ජන්සි දොර ඇතුළෙ හිර වෙලා..‘‘

ගුවන් යානයේ තටු, වහල පසාරුකරගෙන ගොස් තිබුණේ ඉන්ධන ටැංකි කෑලි වලට පත් කරමිනි. මේ අතර, පැතිර යමින් තිබූ ගින්න අසල නිවාස ද ගිනිබත් කරන්නට උත්සාහ කරමින් තිබුණේය.

ගළවා ගැනීමේ සේවකයන් වහාම එම ස්ථානයට පැමිණ, සුන්බුන් අතර දිවි බේරාගත් අය සිටියිදැයි සොයන්නට පටන් ගත්හ. එහි දුම් වළාවන් ය. මහා ගිනි ජාලාවන් ය. නිවසක වහලයක් ද ගින්නෙන් දැවෙන්නට පටන් ගත්තේය.

කඩාවැටුණු ගුවන් යානයේ සුන්බුන් වල මැද හරියට වන්නට තිබුණේ කැබින් කාමරයේ කොටස් සහ, ගුවන් මගීන්ගේ ගමන්මලු ය. ඒවායෙන් විසි වී ගිය කොටස්, නිවාස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථවාහන සහ යතුරුපැදිවල ද වැදී තිබිණි.

ගිනිනිවන භටයෙක් වන සර්ෆාර් අහ්මද් මෙසේ කියයි. ‘‘සමහරුන් සීට් බෙල්ට්ස් පැළඳගෙනම මිය ගොස් තිබුණා. තවත් සමහරුන් ඔක්සිජන් මාස්ක් පැළඳගෙන හිටියා..‘‘

පැය කිහිපයක් එක දිගට වැඩ කිරීමෙන් පසුව රාමසාන් අවසන් කරන වේලාවේදී යම් දෙයක් ආහාරයට ගැනීම සඳහා පිරිස මිනිත්තු කිහිපයකට වැඩ නතර කළහ. රාත්‍රිය උදා වත්ම දොඹකර ගෙන එනු ලැබිණි.

බේරාගත හැකි වූයේ 3 දෙනෙකු පමණි. ඒ අතර පාකිස්ථානයේ බංජාබ් සෆාර් නමැති බැංකුවේ සභාපතිවරයා ද විය. යානය කඩා වැටුණු ස්ථානයෙන් 66 දෙනෙකුගේ මළ සිරුරු හමුවිය. ගුවන් යානයේ ගමන් ගත් මුළු ගණන 107 කි. මළ සිරුරුවල සුන්බුන් සෙවීමේ මෙහෙයුම් තවම අවසන් නැත.

පාකිස්ථානයේ සුපිරි මෝස්තර නිරූපිකාවක වන සාරා අබිද් (Supermodel Zara Abid) ද ගුවන් යානය තුළ වූවාය.

සාරා අබිද්

අනතුර සිදුව තිබුණේ දෛවෝපගත දිනයක ය. සිකුරාදා දිනය පාකිස්තානයට ප්‍රසිද්ධ නිවාඩු දිනයක් වූයේ රාමසාන් සමය නිසා ය. සිය ඥාතීන් බැහැ දැකීම පිණිස Airbus A320 වර්ගයේ මේ ගුවන් යානය ලාහෝරයේ සිට කරච්චි නුවර බලා පියාසර කරමින් තිබිණි. නමුත් කරච්චි නුවර ගුවන් තොටුපොළට ළඟා වීමට එයට කිසිදා හැකි වූයේ නැත. අලි ජින්නා අන්තර්ජාතික ගුවන් තොටුපොළ පෙනෙන දුරින්, ගමනාන්තයට විනාඩි කිහිපයක් තිබියදී එන්ජිම ක්‍රියාවිරහිත වී තිබුණේ දෛවෝපගත ලෙස ය.

”Mayday, Mayday…!” ගුවන් යානයේ නියමුවා අවසන් වරට කෑ ගසා තිබුණේ එසේ ය. මේ අන්තර්ජාතික සංඥා යෙදුමෙන් කියැවෙන්නේ ගුවන් යානයක හෝ නෞකාවක අවසානය ළඟා වී ඇති බව ය. ජීවිත තර්ජනයක් මතුව ඇති බව එයින් අදහස් වේ. මේ ලෝකයේ ගුවන් නියමුවෙකු සිය වෘත්තීය ජීවිතය තුළ පැවසීමට අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරන දෛවෝපගත සංඥා වැකිය එයයි.

‘‘කොවිඩ් වසංගතය නිසා අපට මේ සැරේ රාමසාන් නැහැ. නමුත් මේ විපත නිසා අපේ කණස්සල්ල දෙගුණ තෙගුණ වුණා. මේ රාමසාන් සමය අපට හැමදාම කඳුලින් ලියැවී මතක තියේවි..‘‘ යැයි කරච්චි නුවර වැසියෝ පවසති.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි