×

ආදරය යනු, හිංසනයට සහ ආධිපත්‍යයට ලැබෙන බලපත්‍රයක් නොවේ!

සිය සහකරුවන් විසින් කාන්තාවන් වෙත මුදාහරින හිංසනයේ පළමු මුහුණුවර හැම විටම ප්‍රචණ්ඩකාරී හෝ බලහත්කාරි වේ යැයි බොහෝ දෙනා සිතා සිටිති. නැත! බොහෝ කාන්තාවන් හෝ ගැහැණු දරුවන් මෙය සහකරු විසින් තමාට දක්වන අසීමිත ආදරය යැයි වරදවා වටහා ගනිති.


ගැහැනියකගේ ආදරය පිරිමියෙකුට හිමි වූ පමණින් ඈ අදින පළඳින ඇඳුමේ ස්වරූපය, නිවසින් බැහැරව ගත කරන ඇගේ සමාජ ජීවිතයේ ස්වරූපය, ඈ තෝරා ගන්නා රැකියාවේ ස්වරූපය වැනි මෙකී නොකී බොහෝ දේ තීරණය කිරීමට පුරුෂයාට බලපත්‍රයක් ලැබේ යැයි සිතා සිටීම ගැහැණුන් මුහුණ දෙන දීර්ඝ හිංසන ක්‍රියාවලියක ආරම්භය විය හැකි ය. ඛේදවාචකය නම් එලෙස තම ජීවිතය තීරණය කිරීමට පුරුෂයාට අයිතියක් ලැබෙන බව ගැහැණුන් ද විශ්වාස කිරීමයි. ඔහු විසින් නීති පනවන්නේ ආදරයට බවත් එහි අරමුණ තමන්ව රැක බලා ගැනීම බවත් යන මිත්‍යාව විශ්වාස කිරීමට ඇතැම් විට ඇගේ අවට සමාජය විසින් ද ගැහැණුන්ට බල කරනු ලබයි.

“ඇගේ ජීවිතය ඇගේ ය – ඇගේ ජීවිතයේ ස්වරූපය පිළිබඳ තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඇයට ය ” යන අදහස විශේෂයෙන් ම ආසියානු සමාජ තුළ මිනිසුන් විසින් විශ්වාස කිරීමට පැකිලෙන මෙන් ම කුඩා කල සිට ම ගැහැණු දරුවන්ට විශ්වාස කිරීමට නොසලස්වන දෙයකි. ඒ වෙනුවට කියා දෙන්නේ ‘කීකරු බිරිඳක් හෝ පෙම්වතියක්’ වන ක්‍රියාපිළිවෙළයි. ‘”ස්වාධීන වැඩිහිටි ගැහැනියක් ලෙස පිරිමියෙකුගේ මෙහෙයවීමෙන් තොරව ගැහැණුන්ට පැවතිය හැකි ය – එය සාමාන්‍යය මනුෂ්‍ය අයිතියකි” යන්න සමාජය පිළිනොගන්නේ ඇයි ? “ස්වාධීන කාන්තාවන් යනු පුරුෂ විරෝධීන් නොවේ – ස්වාධීන කාන්තාවන් යනු අනියමයෙන් හෝ සෘජුව තමා වෙත එල්ල වන සමාජ පීඩනය අනුමත නොකරන්නියන්ය” යන්න සමාජයට පිළිගත නොහැක්කේ ඇයි?

ආදරය යනු හිංසනය කිරීම සඳහා ලැබෙන බලපත්‍රයක් නොවේ..!

ගැහැණුන්ද පිරිමින්ගේ ජීවිත තමාට වුවමනා ආකාරයෙන් පාලනය කිරීමට යන විරල අවස්ථා දැක ගත හැකි වුව ද අවසානයේ වෛද්‍යවරුන් සහ උපදේශන සේවාවන් කරා පැමිණෙන මෙන් ම එලෙස නොපැමිණෙමින් තනිව විඳවන “ආදරයේ නාමයෙන් පීඩාවට පත් වෙන” බොහෝ පුද්ගලයින් කාන්තාවන්යැයි පෙනේ. ඒ බොහෝ කාන්තාවන් තමා වෙත පැමිණීමට නියමිත දරුණු ශාරිරික හා මානසික පීඩනය ගැන පෙර අනතුරු ඇඟවීම් ලැබුණ ද එය ආදරය යැයි වරදවා වටහා ගත් තැනැත්තියන් ය.

“නීති දාන්නෙ ආදරේට කියලයි මං හිතුවෙ, ඒ විදියට අඳින්න කියන්නෙ සමාජෙන් එන අනතුරුවලින් මාව බේර ගන්න කියලයි මං හිතුවෙ, ආදරේ කරද්දි සැක කරන එන සාමාන්‍යයයි කියලයි මං හිතුවෙ, ආදරේ ඔප්පු කරන්න නම් අකමැත්තෙන් හරි යටත් වෙන එක හරියි කියලයි මම හිතුවෙ”…….. යන්න බොහෝ පීඩාවට පත්වෙන ගැහැණුන්ගේ පොදු පිළිතුරුයි.

මීට අමතරව සයිබර් අවකාශය තුළ හිංසනයට ලක් වෙන කාන්තාවන්ගේ අත්දැකීම් ද ඛේදනීය ය. එලෙස ඛේදනීය වන්නේ තමාට සිදුවන සයිබර් අපරාධවලට එරෙහිව නීතිමය පියවර ගත හැකි බව ගැන නොදන්නාකම හේතුවෙනි. වරද ඇත්තේ තම කැමැත්තෙන් දෙදෙනෙක් අතර සිදු වන පෞද්ගලික ඡායාරූප හුවමාරුවේ නොවේ. එය වරදක් වන්නේ අවසරයකින් තොරව තවත් පාර්ශවයක් අතර බෙදාහැරීමේදී ය. ලිංගික හෝ පෞද්ගලික ඡායාරූප බලහත්කාරයෙන් හෝ තර්ජනයෙන් ලබා ගැනීමට යාමේදී ය. එමෙන් ම සහකරු පිළිබඳ ඇති විශ්වාසය මත පෙරදී එවන ලද ඡායාරූප සයිබර් අවකාශයට මුදා හරින්නේ යැයි තර්ජනය කරමින් පීඩාවට පත් කිරීමේදී ය.

 

මොන යම් අවස්ථාවකදී හෝ එලෙස තර්ජනය කරන්නේ නම්, ඊට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කළ හැකි බවට ගැහැණු දරුවන් අධ්‍යාපනය ලැබිය යුතුය. එය ලැජ්ජාවට කරුණක් නොවේ. එය ඇගේ අයිතියයි. එමෙන් ම සයිබර් පරිස්සම ගැන ද සැලකිලිමත් විය යුතු ය. එය ඈ සතුව ඇති ස්වයං වගකීමකි.

වැඩිහිටි කාන්තාවක් ලෙස ඇගේ ජීවිතය තුළ කළ යුතු දෑ, නොකළ යුතු දෑ පිළිබඳ තීරණය කිරීමට අයිතිය ඇත්තේ ඇයට ය. තමා ගන්නා තීරණවල කවරාකාර ප්‍රතිඵල වුව ද භුක්ති විඳීමේ අයිතිය ඇත්තේ ඇයට ය. ” හොඳ ගැහැණුන්” සහ “නරක ගැහැණුන්” ලෙස ගැහැණිය ලේබල් කර දැක්වීමට පිරිමින්‍ට හෝ සමස්ත සමාජයට ඇති සදාචාරාත්මක අයිතිය කුමක්ද? ගැහැණියකගේ ආදරය දිනා ගත් පමණින් ගැහැණු ජීවිතය ගැන තීරණ ගැනීමට අයිතියක් පුරුෂයන්ට කවුරුන් විසින් පවරා දී ඇත්ද?

ආදරය යනු සහයෝගය බෙදා ගැනීමයි. ආදරය යනු ගරුත්වය බෙදා ගැනීමයි. ආදරය යනු ලිංගිකත්වය බෙදා ගැනීමයි. ආදරය යනු ආධිපත්‍යය පැතිරවීම සඳහා හිමි වන බලපත්‍රයක් නොවේ!

– Chathuri Perera

‘Stop early and forced marriages in Sri Lanka‘ FB පිටුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි