×

ආසාදිතයන්ට වෙන් කෙරුණු ඇමෙරිකාවේ අපූරු පාවෙන රෝහල

මේ වනවිට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වන රට ඇමෙරිකා එක්සත් ජනපදයයි.


කොරෝනා වෛරසය නිසා දැනට ඇමෙරිකාවේ 12,850ක් මියගොස් 400,000 කට එහා ගිය ආසාදිතයන් සංඛ්‍යාවක් හදුනාගෙන තිබේ. මෙතෙක් සුව වී ඇත්තේ 21,700ක් පමණි.

තාමත් ඇමෙරිකාවේ දිනකට හදුනාගැනෙන ආසාදිතයන්ගේ ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැත. එම ප්‍රමාණය 500 -1500ත් අතර සංඛ්‍යාවකි. දිගින් දිගටම මෙසේ රෝගීන් හඳුනා ගැනීම මත රට මුහුණපා සිටින්නේ දැඩි අර්බුදයකටය.

රෝගීන්ගේ ප්‍රතිකාර සදහා රටේ පවතින සෞඛ්‍ය සේවා හා පහසුකම්, විශේෂයෙන්ම නේවාසික පහසුකම් මේ වනවිට ප්‍රමාණවත් නොවන මට්ටමට පැමිණ තිබේ. ඖෂධවල පවතින්නේද හිඟයකි. පහුගියදා ඇමෙරිකානු රජය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ ඖෂධවලින් ඔවුන්ට උපකාර කරනා ලෙස ය.

සියලු රෝහල් කොවිඩ්-19 රෝගීන් නිසා පිරී ඉතිරී ගොස් පවතින මොහොතක අලුතින් හදුනාගැනෙන රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න මේ අවස්ථාවේ ඇමෙරිකාව මුහුණ පා සිටින දැවැන්තම ගැටළුවයි.

එවන් තත්වයකදී මාර්තු 30 වනදා නිව්යෝක් නුවරට අපූරු ගැළවුම්කරුවෙක් සේන්දු විය. ඒ නමින් USNS COMFORT ය. එනම් යුධමය හෝ වෙනත් මෙහෙයුම්වල යොදවමින් සිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් නෞකාවකි.

මෙම නෞකාවේ කාර්යභාරය වන්නේ යුද්ධයන් හෝ යුධ නොවන මෙහෙයුම්වල එනම් මානුෂික සහන සේවා හෝ ප්‍රජා සත්කාර ආදියෙහි නිරතව සිටින සෙබල කණ්ඩායම්වලට විටෙක ආරක්ෂිත ස්ථානයක් වෙමින් විටෙක හදිසි සේවා පහසුකම් සපයමින් හා විටෙක ජංගම ශල්‍ය රෝහලක් වීමයි.

මෙම නෞකාව වේගවත් මෙන්ම නම්‍යශීලීබවින් යුත් ශල්‍යාගාර 12 ක් හා ඇඳන් 1000 කින් සමන්විතය. නමුත් නිව්යෝක් නුවරට මෙම නෞකාව පැමිණියේ කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොවේ.

නිව්යෝක් නගරයේ සියලූම රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ පිරී ඇති නිසා වෙනත් රෝගවලට ප්‍රතිකාර ගැනීමට කිසිදු රෝහලක් නොවීය. එම අවශ්‍යතාව සපුරාලීම සදහා පැමිණි USNS නෞකාව පැමිණි අතර කොවිඩ් නොවන රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියේය.

නමුත් අප්‍රේල් 05 වනදා වනවිට නිව්යෝක් නගරයේ කොරෝනා වෛරසය නිසා මරණ 3485 ක් සිදුවී 72,180 ක් ආසාදිතයන් සිටියහ. රෝහල්වල ඉඩකඩ නොමැතිකම මත හමුදා නෞකාවේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර පටන්ගන්නා ලෙස නිව්යෝක් නුවර ආණ්ඩුකාර ඇන්ඩ්‍රීව් කියෝමෝ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉල්ලීමක් කළේය.

“නෞකාව වෛරස් රෝගීන් වෙනුවෙන් යෙදවීම නුසුදුසු නමුත් මෙවන් ආපදා තත්වයකදී එය භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැනනැගී ඇති බව පෙනේ. ඉතින් අපි නෞකාව දීමට අප ලබාදීමට සූදානම්..”

ජනපති ට්‍රම්ප් ඊයේ එලෙස ප්‍රකාශයක් කර තිබුණි. නමුත් නිවේදනය ලැබීමටත් පෙරම කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර පටන්ගෙන තිබූ බව නාවුක හමුදාවේ ඉහළම වෛද්‍ය නිලධාරියා වන ජෙනරාල් පෝල් ෆෙඩ්‍රික් විසින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

– චතුර රුවන් වීරක්කොඩි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි