×

ඇමරිකානු ජනාධිපතිවරණ වේදිකාව මත්ද්‍රව්‍යවලින් රත් වෙයි

මෙවර 2020 ඇමරිකානු ජනාධිපති සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත් ව සිටින ජෝ බයිඩන්ගේ පූර්ව මැතිවරණ ක්‍රියාකාරිත්වය උත්තේජනය වී තිබෙන්නේ මත්ද්‍රව්‍යවලින් විය හැකි යැයි ට්‍රම්ප් චෝදනා කරයි.


ඔහු ෆොක්ස් නිව්ස් නාලිකාව සමග පැවැත්වූ සිය සම්මුඛ සාකච්ඡාවද යොදාගත්තේ ජෝ බයිඩන්ට මෙම චෝදනාව එල්ල කිරීම සඳහා ය. ජෝ බයිඩන් පිළිබඳ විමසූ විට ඔහු කීවේ,

‘‘මම හිතන්නෙ.. මත්ද්‍රව්‍ය වෙන්න ඇති..‘‘ යනුවෙනි.

‘‘ඒක තමයි මට අහන්න ලැබුණෙ… මම කියන්නෙ මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මම දන්නෙ නෑ ඔබට කොයි තරම් දුර යන්න පුළුවන්ද කියලා, ඔබට බැරිවෙද්දි එක වාක්‍යයක්වත්…‘‘

“That’s what I hear. I mean, there’s possibly drugs. I don’t know how you can go from being so bad where you can’t even get out a sentence…”

ට්‍රම්ප්ගේ මෙම අසම්පූර්ණ වාක්‍යය උත්ප්‍රාසාත්මක වන්නේ, ඔහු කියන්නට උත්සාහ කළේ ජෝ බයිඩන්ට වාක්‍යයක්වත් හරිහැටි සම්පූර්ණ කර ගැනීමට නොහැකි බව පැවසීමට වූ නමුත්, ට්‍රම්ප්ට තමන්ගේ වැකිය ද සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ නිසා ය.

මෙම සම්මුඛ සාකච්ඡාව පසුගිය සෙනසුරාදා ෆොක්ස් නිව්ස් ඔස්සේ විකාශය විය.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමයෝජනා දිනා සිටින ජෝ බයිඩන් පූර්ව විවාදවලදී පෙන්වූ පසුබා ගිය ස්වභාවය ට්‍රම්ප්ගේ ජනප්‍රියතම මැතිවරණ මාතෘකාව බවට දැන් පත්ව තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාට අනුව ජෝ බයිඩන් නාම යෝජනා දිනාගත්තේ පක්ෂයේ ප්‍රගතිශීලී ඡන්ද, එලිසබෙත් වොරන් සහ බර්නි සැන්ඩර්ස් අතර බෙදී යාම නිසා ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් කොකේන් ගත්තාද?

තවද ට්‍රම්ප් මෙසේ පවසන්නේ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේදී කතාවක් පැවැත්වූයේ කොකේන් ගැනීමෙන් පසුව බවට ඇති වූ මතභේදයෙන් පසුවය. ඔහුගේ දෑස්වල අසාමාන්‍ය තෙත් ගතියක් තිබෙනු දක්නට ලැබීම එයට එක් හේතුවක් විය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් මේ චෝදනාව ප්‍රතික්ෂේප කළ අතර, මත්ද්‍රව්‍ය ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිපුර කතා කරන්නට පටන් ගත්තේ එයින් පසුව ය.

එහිදී දීර්ඝ කාලයක් මුළුල්ලේ මත්ද්‍රව්‍ය ගැටළුවකින් පීඩා විඳින, අතීතයේ පුනරුත්ථාපනයට ද යොමුව ඇති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ව දඩයම් කිරීම පිය-පුතු විසින් ජයටම සිදු කෙරිණි.

කෙසේ වෙතත්, 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප්, 77 හැවිරිදි ජෝ බයිඩන් හට මෙම චෝදනාව එල්ල කර තිබෙන්නේ වරක් දෙවරක් නොවේ.

පසුගිය මාසයේ Washington Examiner සමග ඔහු පැවසුවේ, ‘‘අපි මත්ද්‍රව්‍ය පරීක්ෂණයක් ඉල්ලන්නයි ඉන්නෙ..‘‘ යනුවෙනි.

‘මට ඇහුණු විදිහට‘ සහ ‘මට හිතෙන විදිහට‘

ට්‍රම්ප් සහ ජෝ බයිඩන්, සැප්තැම්බර් 29 දා ක්ලේව්ලන්ඩ් හිදී ද, ඔක්තෝබර් 15 දා මියාමි හිදි ද ඔක්තෝබර් 22 දා නෑෂ්විල් හිදී ද විවාද කිරීමට නියමිත ය.

ජෝ බයිඩන් ට්‍රම්ප්ගේ මේ චෝදනාවලට දෙන පිළිතුර කුමක්දැයි එහිදී දැනගත හැකි වනු ඇත.

කෙසේ වෙතත් මේ වන විට ජන්ක්ෆුඩ් සහ ඩයට් කෝක් සම්බන්ධයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ගේ නම කුප්‍රකට වූ ආකාරයටම මෙවර මත්ද්‍රව්‍ය පිළිබඳ ඔහු කතා කරන්නට පටන් ගෙන තිබේ. සිය අපරිණත කම තවදුරටත් පෙන්වා දෙමින් සිය ප්‍රතිවාදියා සහ මත්ද්‍රව්‍ය අතර ඔහු සම්බන්ධයක් පෙන්වන්නට පටන් ගෙන තිබෙන්නේ ‘‘මට ඇහුණු විදිහට..‘‘ ‘ සහ ‘‘මට හිතෙන විදිහට‘‘ යනාදී වශයෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි