×

ඇමරිකානු මැතිවරණය 2020 : ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් කාලය අවශ්‍යයි

නොවැම්බර් 3 වැනිදා පැවැත්වූ ඇමරිකානු මැතිවරණයේ ප්‍රතිඵල වගුගත කිරීමට සහ නිල වශයෙන් නිකුත් කිරීමට අවශ්‍ය කාලය මැතිවරණ ක්‍රියාදාමයට බාධා නොකර ලබාදිය යුතු බව හියුමන් රයිට්ස් වොච් ආයතනය පවසයි.


අද දිනයේ ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ, අදාළ කාලය නීත්‍යානුකූල ලෙස මැතිවරණ නිලධාරීන්ට ලබාදීමේ යුතුකමක් පවතින බවත්, එතෙක් සම්ප්‍රදායික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය සාවද්‍ය තොරතුරු පැතිරීමෙන් වැළකී සිටිය යුතු බවත් ය.

Human Rights Watch සම්පූර්ණ නිවේදනය
US: Electoral Process Needs Time

දැන් දින 2 ක් මුළුල්ලේ ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි බයිඩන් හා ට්‍රම්ප් විසින් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 264-214 වශයෙන් නොවෙනස් ව පවතියි.

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට අවශ්‍ය වන්නේ ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි 270 ක අවම ඡන්දයක් බැවින්, බයිඩන් විසින් ඉතිරි ඡන්ද 6 ලබාගන්නේ කුමන අවස්ථාවේ ද යන්න ගැන බොහෝ අය විමසිල්ලෙන් සහ කුතුහලයෙන් පසුවෙති.

කෙසේ නමුත් ඡන්දය ගණන් කෙරෙමින් පවතින ජනපද පහෙන් එකකවත් තවමත් අවසන් ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර නැත. ඒ අතරින් ජනපද 3 ක බයිඩන් ඉදිරියෙන් සිටින බව, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට සජීවී මාධ්‍ය ආවරණ ලබාදෙන ඇමරිකානු මාධ්‍ය ප්‍රකාශ කරයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් 4 වැනිදා සිදුකළ ‘‘මමයි ජයග්‍රාහකයා‘‘ නමැති සාවද්‍ය ප්‍රකාශයට ද විශාල ප්‍රතිචාරයක් සමාජ ජාල ඔස්සේ ලැබෙමින් තිබේ.

මීට පෙර පැවති ඇමරිකානු ජනාධිපතිවරණවලට වඩා මෙවර ප්‍රතිඵල ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව, තැපැල් ඡන්ද ප්‍රමුඛ ‘අර්ලි වෝටිං‘ ක්‍රමය මගින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ කිරීමයි. මෙම ප්‍රමාණය මෙවර මිලියන 91 ද ඉක්මවා ගොස් තිබිණි.

‘‘ජයගන්නේ කවුද කියා තීරණය කරන්නේ දේශපාලකයන් නොවේ. ජනතාවගේ තීරණය විනිවිදභාවයෙන් සහ අපක්ෂපාතී ලෙස සොයාගැනීමට මැතිවරණ නිලධාරීන්ට සහාය දෙන්න‘‘ යැයි හියුමන් රයිට්ස් වොච් ආයතනය තවදුරටත් ප්‍රකාශ කරයි.

ප්‍රධාන ඡායාරූපය – පෙන්සිල්වේනියාවේ නාගරික නිලධාරියෙක් ඡන්ද ගණන් කිරීමේ යෙදෙමින්
© AP Photo/Mary Altaffer

2020 ඇමරිකානු මැතිවරණය ගැන සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න

#uselction2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි