×

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙන්ම ජීවිත රඟ මඬලෙන් ද සමුගත් ‘නොටෝරියස්‘ විනිසුරුවරිය – රූත් ගින්ස්බර්ග්

ඇමරිකානු ජාතික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන රූත් බේඩර් ගින්ස්බර්ග් අග්න්‍යාශයේ හටගත් පිළිකාවක සංකූලතා හේතුවෙන් පසුගිය දහඅට වැනි දින මිය ගියා ය. ඒ වන විට ඈ 87 වැනි වියේ පසු වූවා ය.


ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් 1993 දී පත් කරන ලද ගින්ස්බර්ග් අභාවය සිදුවන විට ඇමරිකානු අධිකරණයේ ජ්‍යේශ්ඨතම විනිසුරුවරිය ලෙස කටයුතු කළා ය. එහි ලිබරල් මතධාරී පාර්ශවයේ සිට සමාජයේ කතා බහට තුඩු දුන් ගබ්සා කිරීමට අදාළ අයිතින්, සමරිසි විවාහ‍ය, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, සංක්‍රමණය යනා දී විවිධ විෂයයන් අරබයා තම ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඇය එක්සත් ජනපද සමාජයේ කතා බහට ලක් වූ චරිතයක් වූවා ය.

ඡන්දය පැවැත්වෙන දිනට දවස් හතක් පමණක් තබා සිදුවන ඇය ගේ අභාවය ඇමරිකාවේ අධිකරණයේ අනාගතය පිළිබද දේශපාලන කතිකාවතක් ඇති කරන්නට හේතු වී තිබේ. විනිසුරුවරිය ගේ මරණය පිළිබද ප්‍රකාශයක් නිකුත් කරමින්, සෙනේට් බහුතරයේ නායක මිච් මැක්කොනෙල්, ජනාධිපති ට්‍රම්ප් නම් කරනු ලබන තැනැත්තාට එක්සත් ජනපදයේ සෙනේට්ටුවේ මනාපයක් හිමිවනු ඇතැයි කියා සිටියේ ය.

NPR වාර්තාවකට අනුව, තමා වෙනුවට පත් කළ යුතු තැනැත්තා මීළග ජනාධිපති විසින් පත් කළ යුතු යැයි ගින්ස්බර්ග් ඇගේ මිනිබිරියට කියා ඇත. “මා මහත් උනන්දුවෙන් පතන්නේ මා වෙනුවට පත් කරන තැනැත්තා මීළග ජනාධිපතිවරයා ගේ පත්වීමෙන් අනතුරුව සිදුවන බවට” යැයි මරණයට දින කිහිපයකට පෙර ඇය ඇගේ මිනිබිරිය වන ක්ලාරා ස්පේරා ලවා ලියවා තිබේ.

ජනපති බිල් ක්ලින්ටන් සමග

“ඇය විස්මය දනවන ජීවිතයක් ගත කළා.” ජනාධිපති ට්‍රම්ප් ඇගේ මරණය පිළිබද පුවත අසා කියා සිටියේ ය. “ඔබ එකග වුවත් නැතත් ඇය විස්මය දනවනාකාරයේ ජීවිතයක් ගත කළ කාන්තාවක්.”

ප්‍රජාතන්ත්‍රවාදී පක්ශයේ ජනාධිපති අපේක්ශක ජෝ බයිඩන් “නීති වෘත්තියේ පතාක යෝධයකු” සහ “ආදරයට පාත්‍ර වූ චරිතයක්” ලෙස ගින්ස්බර්ග් හැදින්වී ය. ජනතාව ඇගේ අභාවය සහ ඇය ඉතිරි කර ගිය මතකය පිළිබද සිහි තබා ගත යුතු බව හේ තවදුරටත් කියා සිටියේ ය.

“පැහැදිලිව ම, ජනතාව නව ජනාධිපතිවරයකු පත් කර යුතු යි, ඒ ජනාධිපතිවරයා විසින් ඇය වෙනුවට අයකු පත් කළ යුතු යි” යැයි ද බයිඩන් කීවේ ය. එසේ පත් කර ගැනීම 2016 දී ජනාධිපති ඔබාමා නම් කළ තැනැත්තා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රතික්ශේප කළ රිපබ්ලිකන් පක්ශය විසින් ම ඇති කළ සම්ප්‍රදාය බව ද ඔහු කීවේ ය.

ගින්ස්බර්ග් ගේ අභාවය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක, හිටපු ජනාධිපති බරාක් ඔබාමා ද 2016 දී රිපබ්ලිකන් පාක්ශිකයන් විසින් ම ඇති කළ සම්ප්‍රදාය පවත්වාගෙන යා යුතු බව කියා සිටියේ ය.

“විනිශ්චයාසනයේ දෙපැත්තේ සිට ම, නිර්දය නීතීඥවරියක සහ තියුණු ජූරි සභිකයකු ලෙස ලිංගිකත්වය මත පදනම් වූ වෙනස් කොට සැලැකීම, සමානාත්මතාව හා සම්බන්ධ කාල්පනික ආදර්ශයක් නොවන බව, එය කාන්තාවන්ට පමණක් බලපාන්නක් නොවන බව මෙන් ම එහි අනිසි ප්‍රතිඵල අප සියල්ලන්ට ම විදින්නට සිදුවන බවත් ඇය අපට පෙන්වා දුන්නා. ඒ අප කවුද, අපට විය හැක්කේ කවුරුන්ද යන්න පිළිබදව යි.” යැයි ප්‍රකාශයක් නිකුත් කරමින් ඔබාමා කීවේ ය.

“රූත් බේඩර් ගින්ස්බර්ග් අවසානය තෙක් ම සටන් කළා. ඇය ගේ පිළිකාව තිබිය දී පවා ප්‍රජාතන්ත්‍රවාදයේ සහ එහි ආදර්ශ පිළිබද විශ්වාසයෙන් ඇය කටයුතු කළා. අප ඇය සිහිපත් කරන්නේ එ ලෙස යි. එහෙත් ඈ අප ඇය ගේ මතකයට ගරු කළ යුතු ආකාරය පිළිබද උපදෙස් තබා ගොස් තිබෙනවා. වසර හතර හමාරකට පෙර, මෙරික් ගාලන්ඩ් සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලැකී සිටීමෙන් රිපබ්ලිකන්වරු සෙනේට් සභාව, නව ජනාධිපතිවරයකු පත්වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හිස් ආසනයක් පුරවන්නේ නොමැති බවට නව සම්ප්‍රදායක් නිර්මාණය කළා.

‘‘නීතියේ මූලධර්මයක් වශයෙන් සහ සාධාරණත්වය ප්‍රකාශ කිරීමක් ලෙස අප වෙනස් වීමකින් තොරව නීති ක්‍රියාත්මක කළ යුතු යි. එය මේ මොහොතේ වාසිදායක කුමක් ද යන්න සම්බන්ධයෙන් විය යුතු නැහැ.”

ඔබාමා තවදුරටත් ප්‍රකාශ කළේ ය.

ගින්ස්බර්ග් ඇමරිකාව පුරා රොක් තරුවක තත්ත්වයක් ඇති කර ගෙන සිටි අතර කුප්‍රකට R. B. G. (notorious R. B. G.) යන නාමයෙන් ද හැදින් විණ. එක්සත් ජනපදයේ විවිධ අවස්ථාවල දී තම මතය නිරවුල් ලෙසත් නිර්දය ලෙසත් ප්‍රකාශ කිරීම නිසා ලිබරල් මතධාරීන් අතර මහත් කීර්තියට පත් ව සිටියා ය.

“අපේ ජාතියට අහිමි වූයේ ඓතිහාසික අගයකින් යුතු පෞරුෂයක් සහිත තැනැත්තියක්” අග විනිසුරු ජෝන් රොබර්ට්ස් කියා සිටියේ ය.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ අප ඉතා ගෞරවාදරයෙන් සැලැකූ අයකු අපට අහිමි වුණා. අද දින අප ශෝකයට පත්ව සිටියත් අනාගත පරපුර ඇය නොනැවතී ක්‍රියා කළ, නීතිය සම්බන්ධ විද්වතකු ලෙස සිහිපත් කරනු ඇති.”

යුදෙව් අලුත් අවුරුද්දට පෙර සවස්‍ යාමයේ අවසන් හුස්ම හෙලන විට ගින්ස්බර්ග් වොෂින්ටන් ඩී සී හි පිහිටි ඇගේ නිවසේ ඇගේ පවුලේ සාමාජිකයන් සමග සිටි බව, එක්සත් ජනපද අධිකරණය දන්වයි. අවසන් කටයුතු පෞද්ගලික ලෙස ආර්ලින්ටන් ජාතික සුසානභූමියේ සිදුවනු ඇත.

– ඉසුරිනී මල්ලවආරච්චි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි